2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

එනු පිණිස - යළි යනෙන ගමනක්ය - ජීවිතය

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 104

අයිතියක් නැති තැනක ආදරයක් රැඳෙන්න පුළුවන්ද? ආදරයක් දැනෙන්න පුළුවන්ද? ආදරයකට ගමනක් තියෙනවද? විරාගය නවකතාව ගැන මීට ඉස්සර ලියන්න හිතුවත් විරාගය චිත්‍රපටය ගැන මීට ඉස්සර ලියලා නෑ. විරාගයේ අරවින්ද ජයසේන කියන්නේ කිසිදා අයිතියක් නොඉල්ලමින් ආදරය කළ මිනිසෙක්... අරවින්ද කියන්නේ ගැහැනියක් බලාපොරොත්තු වෙන, ඉල්ලන විදිහෙ ආදරයක් තියෙන පිරිමියෙක් නෙවෙයි කියලත් වෙලාවකට හිතෙනවා. 

එහෙත් යථාර්ථය තුළ ඒ විදිහෙ අනුරාගයෙන් වියුක්ත ඕනෑම දෙයක් තවත් කෙනෙක් වෙනුවෙන් අත්හැරලා දන්න පුළුවන් විදිහෙ මිනිස්සු ඉන්නවද කියලත් වෙලාවකට හිතෙනවා. අරවින්ද ජයසේන කියන්නේ කොයි විදිහෙ මිනිහෙක්ද කියලා නිර්වචනය කරන්න අමාරු වුණත් වෙලාවකට හිතෙනවා අරවින්ද කියන්නේ ජීවිතය දිහා මහා කම්මැලිකමකින් බලපු මහා උදාසීන මිනිහෙක්ද කියලත්. ජීවිතය මහා සීතල විදිහට නිර්වචනය කරපු ජීවිතය ගැන මහා ආදරයක් නැති මිනිසෙක්ද කියලත්. අරවින්ද කියන්නෙ තමන් තමන් වෙලා ජීවිතය දිහා බලන්න බැරි හුස්ම වැටෙන නිසා ජීවත්වෙන මිනිසෙක්ද කියලත් හිතෙනවා.

අරවින්දට සරෝජිනී ගැන ඔහුටම නිර්වචනය කරගන්න බැරි ප්‍රේමයක් තිබුණා. ඒත් සරෝජිනී තමන්ගේ ලෝකය තුළට ගෙන එන්න නම් තමන් ඇය වෙනුවෙන් තමන්ගේ ජීවිතය සකස් කරගත යුත්තේ කොහොමද කියන එක අරවින්දට කවදාවත් තේරුම් ගන්න බැරි වුණා. වෙලාවකට අරවින්ද ජයසේනගේ ජීවිතය ඉමක් කොණක් නැති අහසක ඔහේ පාවෙන සරුංගලයක් වගේ එහෙට මෙහෙට පා වුණා. සරෝජිනී ඔහුට යෝජනා කරනවා අපි දෙන්නා පැනලා ගිහින් ගෙයක් කුලියට අරගෙන ජීවත් වෙමු කියලා. ඒත් අරවින්ද කියන්නෙ ජීවිතයට, ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න බය මිනිහෙක්ද කියලා හිතෙන්නේ ඒ වගේ තැනකදි තීරණයක් ගන්න ඔහු දැක්වූ කුලෑටි ස්වභාවය නිසා. අවසානයේ සරෝජිනීට අකමැත්තෙන් හෝ ඔහු අත්හැර ඔහුගේම මිතුරකු වූ සිරිදාස සමඟ විවාහයෙන් බැඳෙන්න සිදුවෙනවා.

එහෙත් කිසිම අහිමිවීමක් ළඟ කම්පාවෙන ස්වභාවයක් අරවින්ද තුළින් දකින්න ලැබෙන්නෙ නෑ. ඔහු පුදුමාකාර ඉවසිලිවන්ත බවකින් උපේක්ෂාවකින් ජීවිතය විසින් දෙනු ලබන සියලු තීන්දු තීරණ බාරගන්නවා. ඇත්තටම ඔහු හරිම නිහඬ මිනිහෙක්. ඒ නිහඬත්වය තුළ ඔහු ඔහුගේ සමස්ත ආත්මයම වචන බවට පරිවර්තනය කරනවා කියලත් වෙලාවකට හිතෙනවා. ඔහුට ඔහුගේ සහෝදරිය මහ ගෙදර හැර යන්න කියද්දි ඔහු ඇයට කිසිදු දොසක් නොපවරමින් එම නිවස හැර යනවා. ඔහුට බතී මුණගැසෙන්නේ ඒ යන ගමනේදි. ඔහු බතීට සලකන්නේ තමන්ගේ දරුවකුට වගේ. එහෙත් බතී තරුණියක් බවට පත්වූ පසු බතීට නොතේරෙන මොකක්දෝ හැඟීමකින් නිහඬවම ආදරය කළාද කියලත් හිතෙනවා.

එහෙත් අරවින්ද තුළ වරෙක තියෙන්නේ තමා වෙතම යොමු වූ මනසක්. ඔහු ජීවිතයේ බොහෝ දේවල් ප්‍රකාශයක් බවට පත් නොකර ඒ හැඟීම්වලට තමන් තුළම මියැදී යන්න ඉඩහසර නිර්මාණය කර දෙනවා. අවසානයේ බතී ඔහු විවාහ කර දෙන්නෙ ඇයට දෑවැද්දකුත් පිරිනමමින්. ආදරය පෙන්නන්න බැරි ස්වභාවයක් අරවින්දගේ චරිතය තුළ තිබුණත් අරවින්ද කියන්නේ පුදුමාකාර සෙනෙහසක් සහ පරිත්‍යාගශීලී ගුණයක් හිතේ තියාගෙන ජීවිතය දිහා භාවනාවකින් වැඩූ ඉවසීමක් පාදකව බලපු පිරිමියෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා.

වියපත් වෙන්න පෙර අරවින්ද ජීවිතය අත්හැර යනවා. එහෙත් ඔහු රෝගයකින් පීඩා වින්ඳත් ඔහු ජීවිතයේ කෙනකුගේ ආදරය සැලකිල්ල රුකවරණය උපරිමයෙන් ලැබුවේ ඒ කාලය තුළ කියලා හිතෙනවා. බතී ඔහු හැර යන්නෙ නෑ. පුංචි කාලයේ බතී ඔහුට තාත්තා නමින් ආමන්ත්‍රණය කළත් තරුණියක වූ පසු ඇය ඔහුට ආමන්ත්‍රණය කරන්නේ මහත්තයා නමින්. බතී අරවින්ද ජයසේන තම සැමියාගේ නිවසට රුගෙන ගොස් ඔහුට තම පියාට මෙන් උපස්ථාන කරනවා. ඇත්තටම අරවින්ද ජයසේනව තේරුම්ගත් එකම කෙනා බතී විතරමද කියලත් හිතෙනවා. එහෙත් ඔහුත් නොදන්නා ලොකු පිරිසක් ඔහුට ආදරය කර තියෙනවා. ඔහුගේ මළගමදා මහා සෙනඟක් ඔහුට සමුදෙන්න පැමිණෙන්නේ ඒ නිසා.

සරෝජිනී වගේම බතීත් අරවින්ද වෙනුවෙන් හඬදද්දි ඔහු මහා සැනසිලිදායක විදිහට ජීවිතය හැර ගිහින්. ඔහුගේ චිතකය දවාලන ගිනි දැල් මේ අනන්ත දුක් සහිත සංසාර ගමනේ හිමි - අහිමිවීම් ගැන, අනිත්‍ය බව ගැන මහා දුක්බර කතාවක් කියනවා කියලා මට හිතෙනවා. අරවින්ද ජීවිතය වෙනුවෙන් හම්බකරපු දෙයක් නැතිවුණත් අරවින්ද අනික් අය වෙනුවෙන් පාරමී සිතකින් දිය හැකි සියල්ල දන් දුන් මිනිසෙක් කියලා වෙලාවකට හිතෙනවා.

ලොව ඇත්තේ යාම් - ඊම් පමණි. 

ඔව්.. 

ලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි.

 සංජු