2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

හෝ ගාලා නැගලා යන නිරුවත

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

ඔන්න සුදෝ මෙදා පාර Y Trend එකෙන් කතා කරන්න යන්නේ ටිකක් ලජ්ජා නැති කතාවක් කිව්වොත් හරි. මේ ගැන මීට ගොඩක් කාලෙකට කලින් අපි ලාවට කතා කළා. මේක Naked Life Style එක ගැන කතාවක්. සුදාලා දන්නවා නිරුවත කියන්නේ ලෝකේ කාලෙක ඉදලා ජනප්‍රිය Trend එකක්. ලිංගිකත්වය කියන කාරණාව පැත්තකට කරලා මේ කතා කරන්නේ මචෝ. ඒ නිසා වරදවා වටහාගන්න නම් එපා. 

නිරුවත කලාවක් විදියට භාවිත වෙන්න ගත්තේ මීට ශතවර්ෂ ගාණකට කලින්. ඒක වගේම නිරුවත විරෝධතා මාධ්‍යයක් විදිහටත් පසුගිය සියවස් දෙක ඇතුළේ ලෝකය පුරා ලොකුවට භාවිත වුණා. පසුගිය කොවිඩ් වසංගතයට පස්සේ නිරුවත් විරෝධී වගේම නිරුවත කලාවක් විදිහට භාවිතවීම වැඩිවෙලා කියලා විදෙස් වෙබ්අඩවි කිහිපයක්ම වාර්තා කරලා තිබුණා. අන්න ඒ නිසා තමා මේ සීන් එක අපි ආයේ ගලපන්න සිතුවේ.

මචාලා දන්න විදියට මේක Foreign සීන් කෝන් එකක්. මේ Trend එක අපේ සිරි ලංකන් එකේ නෑ. හැබැයි පොඩ්ඩක් හරියට කල්පනා කරලා බැලුවොත් සීගිරි බිතුසිතුවම්වල ඉඳලා කොල්ලෝ සෙට් එකක් සීගිරියට පස්ස පෙන්නලා ගත්ත පින්තූර වෙනකල් බැලුවොත් මේක අපේ රටේ තියෙන සහ තිබුණු trend එකක්.

“Nudity and Protest” ඒ කියන්නේ මචෝ නිරුවත් විරෝධතා ගැන. ඒවා නම් ලංකාවේ එච්චර කතා වෙන්නේ නෑ. ඒක මචෝ ටිකක් ලොකු මාතෘකාවක් හරිය. කොවිඩ් වසංගතයෙන් පස්සේ යුරෝපයේ සහ අමෙරිකාවේ මේක සැලකිය යුතු ලෙස වැඩිවෙලා කියලා තමා මාධ්‍ය වර්තා කරන්නේ. අපේ රටේ සුදාලා නම් සීන් එක ගැන එච්චර කතා කරන්නේ නෑ. කතා කරන එක එක අතකට ලජ්ජයි. අනික් අතට අපේ සංස්කෘතියට අනුව මේක අමු පිස්සුවක් මචෝ. ඒ වුණත් අද ලෝකේ මේක පට්ට රැල්ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

මීට කාලෙකට කලින් අපි මේ කතාව කිව්වා. පැංචෝ ලෝකේ පුරා නිරුවත් විරෝධතා පැවැත්වෙන්න විවිධ හේතු තියෙනවා. ගොඩක් වෙලාවට සත්ත්ව හිංසනය, පරිසර විනාශය, පෞද්ගලික නිදහස සීමාකරන නීති වගේ දේවල්වලට විරුද්ධව තමා මේ විරෝධතා සංවිධානය වෙන්නේ. සීන් එකේ ආරම්භය ගැන අපි ටිකක් හොයලා බැලුවා. 1903 දී කැනඩාවේ තමා මුල්ම නිරුවත් විරෝධතාවය වාර්තා වෙන්නේ. පස්සේ වැඩේ Trend වෙන්නේ 1960 දශකයේදී. ඔය කාලේ ලෝකයේ නිදහස පිළිබඳ අමුතු කික් එකක් ඇවිල්ලා තියෙනවා කට්ටියට.

අද වෙනකොට නිරුවත් විරෝධය දක්වන සංවිධාන සෑහෙන ප්‍රමාණයක් ලෝකය පුරා තියෙනවා. යුරෝපය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ මහද්වීපවල මේ සීන් එක අපිට දැකගන්න පුළුවන්. ආසියාවේ නම් මේ වැඩේ සංවිධානාත්මකව කරනවා අඩුයි. ඒත් හිටපු ගමන් එක්කෙනෙක් දෙන්නෙක් තනිවම මේ ආතල් එක ගන්නවා. මොනවා වුණත් අපේ උන්ට මේවා පේන්නේ මෝඩ ජෝක් වගේ බං.

මෑතකාලීනව ලෝකය පුරා මේ සීන් කෝන් එක ව්‍යාප්ත වෙන්න මූලික හේතුවක් තමා සත්ත්ව සම්වලින් ඇඳුම් නිර්මාණය කිරීමට එල්ලවන විරෝධතාව. ඒක පට්ට සීන් කෝන් එකක් ප්‍රෙන්තෝ. PETA (People for the Ethical Treatment of Animals) සංවිධානය විසින් “I’d Rather Go Naked than Wear Fur” ස්ලෝගනය යටතේ තමා මේ විරෝධතා රුල්ල මෙහෙයුවේ. සීන් එක ලෝකේ පුරා පට්ටෙට පැතිරුණා. වැඩේ කොච්චර දරුණු වුණාද කියනවා නම් මචෝ ලෝකේ පුරා ජනප්‍රිය පොරවල් නිරුවත් ඡායාරෑපවලට පෙනී සිටියා මේ විරෝධතාවයට සහාය දක්වන්න. මේ ගැන වැඩි විස්තර Google දෙයියන්ගෙන් අහන්න මචෝ.

හරි කොහොම වුණත් නිරුවත් විරෝධතා මත ගොඩක් තියෙනවා සුන්දරා. නිරුවත් සිරුරු ලිංගික වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම, සභ්‍යත්වයට හානිවීම වගේ සංස්කෘතික ආගමික ප්‍රශ්න ගොඩක් ගැන තියෙනවා. ඒ වුණත් නිරුවත් විරෝධතාවල යෙදෙන අය කියන්නේ වෙනම කතාවක්. විරෝධතාවකදී නිරුවතේ අර්ථය වන්නේ පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම. නිදහස නිරුවතින් සංකේතවත් වෙනවා. ඒ වගේම නිරුවත හරහා ලැබෙන සමාජ අවධානය ඔවුන්ට පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙන්න, අයුක්තියට හා අසමානතාවයට එරෙහිව සටන් කරන්න ලොකු හයියක්.

අපි කිව්වා කලාවක් විදිහටත් නිරුවත භාවිතවීම මේ කාලේ ඉහළ ගිහිල්ලා කියලා. හැබැයි මචෝ අපි මුලින් කිව්වා වගේ නිරුවත කලාවක් විදිහට භාවිත වුණේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි. අපි මේ ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා. ග්‍රීක යුගයේ තමයි නිරුවත කලාවක් විදියට ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. පෙරදිගත් මීට සමකාලීන සහ ඊටත් එහාත් මේ කලාව තිබුණු බව අපි දන්නවනෙ මචෝ. ඒත් පොතේ පතේ තියෙන විදිහට පුනරුදයෙන් පස්සේ තමා මේ කලාව නැවත යුරෝපයේ අවදිවෙලා තියෙන්නේ.

චිත්‍ර, මූර්ති වගේ කලාවන්ගේ ඉඳලා අද වෙනකොට සිනමාව වගේ ලෝකෙ ප්‍රධානම කලා මාධ්‍යයන් තුළ නිරුවත කලාවක් විදිහට භාවිත වෙනවා. කොහොම වුණත් මේ කොවිඩ් සමඟ සමකාලීනව නිරුවත් ඡායාරූපකරණයේ වර්ධනයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම වාර්තා පළවුණත් අපිට නම් හිතෙන්නේ පසුගිය අවුරුදු දහයක පහළොවක ඉඳන් මේ වර්ධනය තිබුණා. ඒ නිසා ඒ ගැන අපි වෙනම දවසක කතා කරමු. අදට මේ ඇති. වැඩිය කතා කරන්න බෑ. ලජ්ජයි ඈ.

I නිසල්