2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

මගේ තාලෙට අනුන්ගේ කවි කළුවරේ කවි ජරමරේ...

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 137

වෙලාව හරියටම අටයි. විදුලිය කැපූ මොහොතේ හාත්පසම කළුවරයි. මොහොතකට කලින් තිබ්බ හැමදේම එක ක්ෂණයකින් වෙනස් වෙලා. මම කාමරේ ඇඳට වෙලා ජංගමයා එක්ක හොලිවුඩ් ගිහිල්ලා හිටියේ. අම්මා තාත්තා සාලේ ටෙලියක් බැලුවා. නංගි කාමරේ පාඩම් කළා. දැන් ඒ හැමදේම වෙනස් වෙලා. බුදු පහනට තෙල් ටිකක් දාලා පත්තු කරලා ආයෙත් මදි පාඩුවට රවුම් මේසේ ඉටි පන්දමකුත් පත්තු වෙනවා.

මොහොතකට කලින් ගෙදර පුංචි කලබලයක් තිබුණා. දැන් ආයේත් සංසුන්. ගෙදර විතරක් නෙවෙයි මුළු පරිසරයම සංසුන්. මම හීන් සීරුවේ ජංගමයගේ කලාමැදිරි පන්දම පත්තු කරන් ඉස්තෝප්පුවට ඇදුණා. කාලයකින් කරන්න බැරිවුණු අමුතු උමතු රාජකාරිය කරන්න සිතුවිලි දළු දැම්මේ ඇඟට පතට නොදැනීම. ඇත්තම කියන්නම් මම මේ විදුලිය කැපිල්ලට මනාපයි. තෙල් ඇතත් නැතත් අඩුම ගාණේ මාසයකට දවසක් හරි මේ විදිහට රූට අපි අඳුරේ ඉන්න ඕනෑ.

ඔන්න නංගිත් ජංගමයේ කලාමැදිරි පන්දම පත්තු කරගෙන ඉස්තෝප්පුවට ඇවිත්. අම්මා තාත්තා සාලේ කතාවක්. අපි දෙන්න මිදුලට බැහැලා බැලුවා හඳත් නෑ තරුත් නෑ. මේ අව පස දවස්. අද අමාවකද දන්නේ නෑ. විදුලිය කපපු අනෙක් දවස්වලට වඩා අද අඳුර වැඩියි. අපේ අදහස් සිතුවිලි වචන වුණේ මේ අඳුරට බධා නොවෙන විදිහට. මොහොතක් නිහඬ වෙලා අහගෙන ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ රාත්‍රියේ පතුලටම කිමිදෙන්න. ඒත් අර උමතු අමුතු අදහස මගේ හිත දැන් ආක්‍රමණය කරලා ඉවරයි.

මම හිමීට මුමුණන්න පටන් ගත්තා. නංගී හිමීට ගේ ඇතුළට ගියා. දැන් ගෙදර හැමෝම දන්නවා මොකක්ද වෙන්න යන්නේ කියලා.

නෑනා නැණ නුවණ නැණුවන නෑනා මගේ
නෑනා නානු ගාගෙන නානවා ගඟේ
ගෝනා ගෝනි ගෙනියනවා ගෝන ගඟේ
ගානා වේනාව ගානව ගොණිගෙ ඇඟේ

තාලේ නම් මගේ. අහන් ඉන්න ලේසි නැතිව ඇති. ඒත් කවිය අනුන්ගේ. මේක තමා අමුතු උමතු අදහස. මේක මෙතැනින් නවතින්නේ නෑ. දැන් සෑහෙන්න කාලයක ඉඳලා විදුලිය විසන්ධි කරපු රාත්‍රීන්වල මම මේ වැඩේ කරනවා. ඉඳලා හිටලා ඉස්තොප්පුවේ විදුලිය මම විසන්ධි කරලාත් මේ වැඩේ කරනවා.

වැඩේ තමා මතකයේ තියෙන සීපද පුළුවන් ප්‍රමාණයක් එක දිගට කියන එක. ගයනවා කියන එකට වඩා නම් කියනවා කියන එක සාධාරණයි මයෙ හිතේ. පුංචි කාලේ ආච්චි සීයා කියලා දීපු කවි දෙක තුනක් තියෙනවා. ඒ කවිවලින් තමා මේ වැඩේට මුල පුරන්නේ. වෙන කොහේදිවත් අහලා නැති ආච්චිගෙනුයි සීයගෙනුයි විතරක් අහපු ඒ කවි ගැන පොඩි හීනමානයක් මගේ හිතේ තියෙනවාද කොහෙද? ආයේ මොකටද බොරු කියන්නේ.

සමර කඳ මකඳ කඳ මද මහල්ලා
සිමිරි කිඳි මිකිඳි කිඳි මිදි මිහිල්ලා
සුමුරු කුඳු මුකුඳු කුඳු මුදු මුහුල්ලා

සෙමෙරේ කෙඳේ මෙකෙඳේ කෙඳේ මෙදෙ මෙහෙල්ලා
තේරුනේ නෑ නේද? ඔව් මටත් තේරුම් නෑ. ඔය කවි දෙකම එහෙමයි ශබ්ද රසය මිසක් අර්ථ රසයක් හොයාගන්න බෑ. ඉස්සර මහගෙදර ඉස්තොප්පුවේ මිඳුලේ තියාගෙන ආච්චි සීයා මට කියා දුන්න කවි දෙකක් ඔය. එයාලාත් ඒ කවිවල තේරුම දැනගෙන හිටියේ නෑ. ඒත් ඔය අන්තිමට කියපු කවියේ තියෙන්නේ ඉස්පිලි පාපිලි මාරු කරන සෙල්ලමක්. ඒක නම් සීයා මට කියලා දීලා තියනවා.

නාරං නික දොඩම් පනා දෙසි නාරං පඩෙර මලී
කීරම් රස කතුන් බුදින ජමනාරං ජම්බු මලී
කියුම් බස් ඇසුවා මිස දුටුවේ නැත දිඹුල් මලී
එ^මල නෙළා ගෙන දෙනතුරු එ'ලඳ අඩයි බිම පෙරළී

මේ කවිය නම් තේරුමක් තියනවාලු. මේක කියලා දුන්නේ පොඩි ආච්චි. අපේ අම්මා ඒක ඒ කාලේ පොතක ලියලා තිබ්බා. මට පස්සේ ඒක මතක හිටියා. ඒත් පදවල වැරදි තියෙනවාද දන්නේ නෑ. ඔය මම මතක තියාගත්ත විදිහ තමා. අම්මා කිව්වේ දිඹුල් මල් ලෝකේ නෑ. ඒ නිසා ඒ මල ඉල්ලා අඬන ගෑනු ළමයට ඒක ලැබෙන්නේ නෑ කියලා. කතාව හරි නම් කිසිම තේරුමක් නැති දේකට වැළපීම ගැන උපහාසයක් මේ කවියේ තියෙනවා. මේක ඔංචිලි වාරමක් වගේ කියලත් අම්මා කියලා තියෙනවා.

ජනකවිය ගැන විචාර ලියන්න මම කවුද? ඒ උගත් උත්තමයෝ සමාවෙන්න ඕනෑ. හැබැයි මේ කවිවලට මගේ තාල දීමේ අයිතිය ඔය උත්තමයෝ පිළිගන්න ඕන. මොකද මේවා ජනකවිනේ. මගේ අමුතු උමතුව ගැන අවට ගෙවල්වල මිනිස්සු දන්නවා මගේ හිතේ. එයාලා අකමැතිද කැමැතිද කියලා නම් දන්නේ නෑ. දවසක් ගෙවල් තුන හතරක් දුරින් ඉන්න මිත්‍රයකුටත් මේ කළුවරේ කවි ජරමරේ ඇහිලා තිබ්බා. මම ඇහුවා ඇයි පිළිතුරු කවියක් කිව්වේ නැත්තේ කියලා.

ඉහළ වෙලේ ගස තල මල පිපිච්චා
පහළ වෙලට ඒ තල මල පෙනිච්චා
පළමු පදේ කීවේ මජ්ජ ගුජ්ජා
දෙවැනි පදේ කීවේ ඌගේ හුවජ්ජා

පිළිතුරු කවි කිව්වාම මතක් වුණේ ඕකත් සීයා කියලා දීපු කවියක්. මේ කවි කියවිල්ල කවි තුන හතරකින් නතර වෙන්නේ නම් නෑ. මතක කවි ඉවර වුණාම ඊළඟ ගණදෙවි හෑල්ල, වදන් කවි පොත වගේ තැනකට මම මාරුවෙනවා. ඉස්සර ඔය නිවේදන සම්බන්ධ පාඨමාලාවකට යනකොට පන්සලේ ලොකු සකස්කඩයි බුද්ධ ගජ්ජ බලාගෙන කියවන්න කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ දුන්න පොතක්. ඒකේ නම් “පැරණි පන්සල් පොත” ඒකේ තිබිලා ගණදෙවි හෑල්ල, වදන් කවි පොත හම්බ වුණේ.

වේවැල් කෝටු නාරං සියඹලා අතූ
කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතූ
මෙ^හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතූ
පමා නොවී එමි අකුරට මෙයින් මතූ

මේ කවිය අහලා තියනවා නේද? ඕක තියෙන්නේ වදන් කවි පොතේ. තව කවි තියෙනවා. හරි ලස්සනයි. ඒවාත් මගේම තාලයකට දාලා මේ වගේ දවස්වල පාළු කපන්නම පාවිච්චි කරනවා. ඔය ඔක්කෝම කියලා මදි වුණොත් බුද්ධගජ්ජයේ ස්ලෝක හත අටකුත් කියවලා සකස්කඩේ කියවගන්න පුළුවන් කෑල්ලකුත් කියවලා තමා මම වෙනදට වැඩේ ඉවර කරන්නේ.

බොරු කියන්න ඕනේ නෑ. අද මේ කතාව ඔයාලට කියන්න ඕනෑ නිසා කවි හත අටක් තමා කිව්වේ. ඉතින් අදට මේ ඇති. ඉස්සර තවත් මේ වගේ දවස් එයි මේ යන විදිහක. මේක ආරම්භයක් කියලා හිතන්නකෝ. තව ටිකකින් විදුලිය එයි. මම එහෙනම් නවතින්නම්.

I නිසල්