2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

උමතු අමුතු ප්‍රේමයත් වැස්ස හරිම පිස්සුවක්

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

අහස ගුගුරනවා තාමත් නෑ නිමා. උදෑසන පටන් ඇදහැළුණු වරුසාව නම් දැන් තුරල් වෙලා. අල්ලපු ගෙදර කෙසෙල් පඳුරට මුවා වී උන්න තෙත බරිත පොල් කිච්චෝ අපේ අඹ ගහ පාමුලට වෙලා. අහා... මේ කවිය නම් නෙවෙයි සකි. ජීවිතෙන් ඇසිල්ලක් LIVE... මතක මග දිගේ.

මහ වැස්සෙ සිතුවිලි කන්දෙ අස්සෙ රිංගා ඉස්තෝප්පුවෙ... පුටුවකට බරවී ගුලිවෙලා උන්නු මා, පියවි ලෝකෙට ආවේ තටු සලා තෙත හරින පොල්කිච්චෝ නිසා. තණ බිස්සේ දිය අතර හොටින් මොන මොනවද සොයා දඟකරන හීන් උන් දැක්කෙ නෑ මා අසල උන්නු අපේ කිටි රජා.

පොල්කිච්චි දෙස බල බලා ලොබින්, හීන් හිරිකඩ නිසා ජනෙල් පඩියෙන්, බහින්නට මැලියෙන් ඉන්න කිටියට මම තරවටු කළේ තදින්. බැස්සොත් මිදුලට අඬු කඩනවාමයි සැණියෙන්.

හනි හනික දිව ගියෙන් කුස්සියට හමුවුණා මට පරණ පාන් බාගයක් තිබී මුල්ලක. කඩා කොටසක් කුඩුකොට අල්ලට ආමි අරගෙන යළි උන්නු තැනටම.

කිටි රජා තාමත් ජනෙල් පඩියේ. හිත සැනසුනා දුටුවාම ඌව සැණියේ. අම්මා එපා එපා කීවත් ඉඳගෙන සාලේ සැටියේ. පොද වැස්සෙ තෙමි තෙමී මම පාන් බෙදුවේ ඕන් ඔය මිදුලේ.

ම්..ම්..ම්..ම්..ම්.... දවස පුරා වැටෙන චුරු චුරු වැස්ස. රෑට එකම තාලෙකට හමන හුළඟ. හිටිහැටියේ හෙණ ගගහ ගුගුරණ අහස. ඔය සිද්ධිය වුණේ අද උදේ. දැන්නම් හොඳටෝම රෑ වෙලා. මම ඉන්නේ ඉස්තෝපුවේ පරණ තැන. මෝසම් වැස්ස හරියට මදු සාදයක් වගේ. හැබැයි ඒ සාදයෙන් මම තනිවෙලා. සිතුවිලි ගලනවා ඕසෙට. හ්ම්..ම්..ම්.. මෙහෙමයි ඒ දැන් කතාව.

මෝසම, උඹ හරියට පෙම්වතියක් වගේ. උඹ ලස්සනම රෑට. අපේ අම්මා, ඇහැක් ඇරලා මට උඹ දිහා බලන්න දෙන්නෙ නම් නෑ. අහස ගුගුරුවගෙන  ගහ කොළ උදුරගෙන උඹ එනකොට මට ඉස්තෝප්පුව තහංචියි. ඉස්සර ඉඳන්ම මේ කාලෙට රෑට දොර ඇරගෙන ඇවිල්ලා හොරෙන්ම උඹ දිහා බලන්න මට තියෙන ආසාව... ආන් ඒකත් අපේ අම්මා හොඳට දන්නවා.

ඒත් මගේ හිත කියන්නෙම කොහොම හරි ඉස්තෝප්පුවේ පුටුවක් උඩ ගුලි වෙන්න. කාටත් හොරෙන් තනියම මට උඹ දිහා බලන් ඉන්න ඕනෙමයි කියලා. ඔන්න මම අද පොරොන්දු වෙනවා. මේ පාරනම් මම උඹව හම්බ වෙන්න එනවා සත්තයි. තාම මෝසම පටන් ගත්තා විතරයි නේද? ඔන්න මෙදාසැරේ නම් ඔයා ටික දවසක් නතර වෙන්න ඕනා. මොකද මේ කාලේ අපිත් ගෙදරම තමා ඉන්නේ වැඩිපුර. ආ... කියන්නම්කො ඒ ගැන විස්තර පස්සේ.

ම්..ම්..ම්... 

අද නම් තාම වැස්ස නෑ හුළං විතරයිනේ. ඒ නිසාම කාන්සිය නිවන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙ ගුලිවෙලා... මම උඹ එවන දඟකාර සුළං රැළි දිහා බලන් ඉන්නවා. නුඹ නටවන ගහ කොළවල ළය තමා අපූරුම. එක දිගට කැරකි කැරකී නටලා නටලා එකපාරට සන්සුන් වෙනවා. ඔන්න ආයෙ හිමින් පටන් ගන්නවා. ආන් හරි නටනවා නටනවා කෙලවරක් නෑ.

ඔන්න මහ මුහුදත් හොඳටම රළු වෙලා. ඒ උඹ නිසා කියලා මම දන්නවා. ඇස් දෙකම වහගත්තම මට ඈතින් ඇහෙනවා ඒ ඝෝෂාව. ම්..ම්..ම්... රහසක් කියන්නද? එතෙර උන්ට නම් තියෙනවලු එක එක සෘතු. එහෙ හිටියා නම් මට බලන්න තිබුණ ඒවයේ හැඩ. ඒත් අපිට ඉන්නේ උඹ විතරයි... අපි මේ දූපතේ වෙරළ කරේ මිනිස්සු....

මම මේ අරුමෝසම් ලෝකෙයේ මෝසමකට පෙම්කරන උමතු අමුතු මනුස්සයෙක්. විකාර අදහස් සුදුවට ගලාගෙන ඔළුවට ගලාගෙන එනවා. මම දැන් මෙතැනින් නැගිටින්න ඕනෑ. ඒත් මේ කතාවට අවසානයක් නැතුව බෑ. එහෙනම් මෙහෙම ඉවර කරමු.

“වැස්ස*”
මම ආසම
කවිය

“සුළඟ”
මම ආසම
විරිත

අද දවසේම
මගෙ තනියට
විටින් විට
කඩින් කඩ

 නිසල්