මහාචාර්ය සනත් නන්දසිරි මහතා මිය ගොස් අවුරුදු දෙකක් ගෙවිලා අවසානයි. නමුත් තවමත් ඔහුගේ ආදරණීය රසික රසිකාවියන්ට ඔහුව අමතක නැහැ. ඔහුගේ දියණිය වන ඔබටත් ඒ මතකය නොවෙනස්ව තියෙනවා. ඒ මතකය එක්ක දවස ගෙවෙන්නේ කොහොමද?
තාත්තා ඉන්න කාලෙ තාත්තයි අම්මයි හරිම කාර්යබහුල දෙන්නෙක්. ඒ කාර්යබහුලකම ඒ කාලේ මට ලොකුවට දැනුණේ නැහැ. තාත්තා නැතිවුණා කියලා පොඩ්ඩක්වත් අම්මා සමාජයෙන් ඈත්වෙලා නැහැ. ඒ නිසා තාත්තටයි අම්මටයි දෙන්නටම ලැබුණු ආරාධනා ඒ විදිහටම අදටත් අම්මට ලැබෙනවා. ඒ නිසා ඒ හැමදේටම අම්මයි මමයි සහභාගි වෙනවා. තාත්තාට තිබුණු ගෞරවය අදටත් මේ සමාජයෙන් ඈත්වෙලා නැහැ. තාමත් මිනිසුන්ගේ හිත්වල තාත්තා ඉන්නවා. තාත්තා අසනීපව හිටපු කාලයේ අම්මටයි මටයි තනියම ඒ දේවල්වලට යන්න සිද්ධ වුණා. අපි එහෙම ගියේ තාත්තා ගෙදර තියලා ඉක්මනට එන්න බලාගෙනයි. අම්මයි මමයි ගෙදරින් යද්දි තාත්තාව බලාගන්න තාත්තාගේ තනියට හතර දෙනෙක් විතර ගෙදර තියලයි ගියේ. ඒ ගියාමත් තාත්තා ගෙදර ඉන්න නිසා අපි ඉක්මනට ගෙදර ආවා. අදටත් “තාත්තා ගෙදරනේ” කියලා හිතෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ දේවල් අභිබවා “තාත්තා නැහැ නේද?” කියලා හිතෙද්දි ඒක දරාගන්න හරි අමාරුයි. අම්මට ඒක මට වඩා දැනෙන වෙලාවල් වැඩියි. අම්මා තාත්තා එක්ක ගත කරපු කාලසීමාව වැඩියි. අම්මාගේ ජීවිතේ හැම තත්ත්පරයක්ම අම්මා තාත්තා එක්කයි ගත කළේ. ඒ නිසා ඒ අඩුව අම්මට දරාගන්න අමාරුයි. ජීවිතේ හැම තීරණයක්ම අපි තුන්දෙනා එකතුවෙලයි ගත්තෙ. අද තීරණයක් ගනිද්දි තාත්තාව හරියට මතක් වෙනවා.
ඔහු ජීවත්ව සිටි අවසන් කාලයෙදි පවා උත්සව වැඩි හරියකට ඔබත් මවත් සහභාගි වුණා. ඒවාට යන්න තාත්තා අකමැති වුණාද?
අවසන් කාලයේදි චිත්‍රපට බලන්න, විවාහ උත්සව, සම්මාන උත්සවවලට යන්න තාත්තා අකමැති වුණා. තාත්තා ඒ හැමදෙයක්ම ප්‍රතික්ෂේප කළා. ඔහුට දියවැඩියා රෝගී තත්ත්වයක් හැර වෙන කිසිම අසනීපයක් තිබුණේ නැහැ. තාත්තාව පරීක්ෂා කළේ මේ රටේ ඉන්න දක්ෂ විශේෂඥ වෛද්‍යවරු. ඔවුන් තාත්තාට හරිම හිතවත්. ඇවිදින්න අපහසු වෙද්දි තාත්තා ගමන් බිමන් යෑම ප්‍රතික්ෂේප කළා. රෝද පුටුවේ වඩාත් පහසුවෙන් යන්න පුළුවන්කම තියෙන තැන් පවා තාත්තා ප්‍රතික්ෂේප කළා. තාත්තා එයාගේ අපහසුතා වැඩිය පෙන්නුවේ නැහැ.
ඔහු ක්ෂේත්‍රයේ ඇසුරු කළ අයගේ වියෝවන් දරා ගත්තේ කොහොමද?
තාත්තා ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කළේ නිහාල් නෙල්සන් මාමා, සමන් ද සිල්වා මාමා, නුවන් ගුණවර්ධන මාමා, ටෝනි හසන් මාමා, අනුර සේනානායක මාමා, අනිල් භාරතී මාමා, වෝල්ටර් ප්‍රනාන්දු මාමා වගේ අයයි. තවත් කිහිප දෙනෙක්ම ඉන්නවා. එයාලා තාත්තගේ හොඳ යාළුවෝ. තාත්තා එයාලා එක්ක විහිළු කතා කියන්න හරි ආසයි. තාත්තාට කලින් නුවන් මාමා නැති වුණා. ඒ කාලෙ තාත්තා අසනීප වෙලයි හිටියෙ. ඒ නිසා ඒක අපි තාත්තාට කිව්වේ නැහැ. මමයි අම්මයි යන්න ලෑස්තිවෙලා “තාත්තා අපි මළ ගෙදරක ගිහින් එන්නම්” කියලා කිව්වා. කවුද කියලා තාත්තා අහද්දි අපි දන්න කෙනෙක් කියලා කිහිප සැරයක්ම මඟහරිද්දි තාත්තට සැකයක් ඇතිවුණා. නුවන් මාමා කියලා කියද්දි හරිම පුදුමයෙන් කවුද? කියලා ඇහුවා. මට ඇත්තම කියන්න සිද්ධ වුණා. “හපෝ” කියලා තාත්තාගේ මුහුණේ ඇඳුණු දුක අදටත් මට මතකයි. ඒ වෙලාවේ තාත්තාගේ මුහුණේ ඇතිවුණු ඒ දුක නිසාම ඒ වගේ ආරංචි තාත්තාට නොකියා ඉන්න අපි තීරණය කළා. ඒ විදිහට නිහාල් මාමා නැතිවුණා කියලත් අපි තාත්තාට කිව්වේ නැහැ. දෙසැම්බර් 31 රෑ, ජනවාරි පළවෙනිදාට එළිවෙන්න තාත්තා ගන්න ඇමතුම් හතරක් තියෙනවා. තාත්තා නිහාල් මාමා, ආනන්ද ගනේගොඩ මාමා, අනුර සේනානායක මාමා, කරු හීනිටිගල මාමාට ඇමතුම් ගත්තා. අපි නිහාල් මාමාගේ වෙන්ව යෑමත් තාත්තාට කිව්වේ නැහැ. යන්න අවශ්‍යම තැන්වලට අපි යද්දි “මම ගෙදර ඉන්නවා. ඉක්මනට එන්න ” කියලා තාත්තා කිව්වා.
තාත්තාට අවසාන කාලයේදි රූපවාහිනිය නරඹන්න, ගීත අහන්න කැමැත්තක් තිබුණේ නැද්ද?
තාත්තා කවදාවත් ගොඩක් අසාධ්‍ය වුණේ නැහැ. අසනීප වුණාට පස්සේ තාත්තා වරින් වර කාමරයෙන් ඉස්සරහට ආවා. හැබැයි ටිකෙන් ටික ඒ ඒමත් සීමා කළා. මමයි අම්මයි රියැලිටි ප්‍රසංග රූපවාහිනියෙන් බලද්දි කාමරේ ඉඳන් අහගෙන ඉන්න තාත්තා “පුතෝ” කියලා මට අඬගහලා “කවුද ඒ කියන්නේ හොඳට කියනවනේ” කියලා කියපු අවස්ථා තිබුණා. ඒ සමහර ගීත මම තාත්තාට යූටියුබ් එකෙන් පෙන්නුවා. තාත්තා කරපු සියලු දේ ක්‍රමානුකූලව හිතේ කනස්සල්ලකින් තොරව අතහැරියා. තාත්තා ක්‍රිකට් තරග බලන්න හරි ආසයි. හැබැයි පසුව තාත්තා තරග බලන එකත් නතර කළා. අපි කාමරයට ගිහිල්ලා ලකුණු කියද්දි ආසාවෙන් ඒ ගැන ඇහුවට බලන්න කැමති වුණේ නැහැ. හින්දි ගීත, චිත්‍රපට ගීත අහන්න හරි ආසයි. හැම අවුරුද්දෙම ලියන දින පොතේ මුල්ම පිටුවේ තාත්තා කැමති රූපවාහිනී වැඩසටහන්වල වෙලාවයි, දිනයයි, නාලිකාවයි ලියලා තිබුණා. ඒවා තාත්තා බැලුවා. නමුත් අන්තිම කාලේදි තාත්තා ඒ ආසාවෙන් බලපු වැඩසටහන් පවා අතහැරියා.
රෝහල්ගතව හිටපු කාලයේදී අනුරාධා ඔහුට ගීත අසන්න සැලැස්සුවා නේද?
ඔව්... අසනීප වෙලා රෝහල්ගතව හිටපු එක දවසක තාත්තා අමුතු දේවල් ටිකක් කිව්වා. තාත්තාගේ මියගිය ගුරුවරුන්ගේ, තාත්තාගේ මියගිය අම්මා, තාත්තා, අක්කා, අයියා යන අයගේ නම් කියන්න පටන් ගත්තා. මට බය හිතුණා. මම තාත්තාට ඉක්මනට පිරිත් අහන්න සැලැස්සුවා. ප්‍රණීත් මාමා “පුතේ තාත්තාගේ සින්දු, හින්දු සින්දු ටිකක් දාන්න” කියලා කිව්වා. මම පිරිත් ඉවර වුණාට පස්සේ තාත්තාගේ සින්දු, තාත්තා ආසා සින්දු අහන්න සැලැස්සුවා. තාත්තා හරිම සතුටින් ඒවා ඇහුවා. මොන දේ අතහැරියත් තාත්තා පිරිසිදුවට ඉන්න එක අතහැරියේ නැහැ. එයාට හරි ලස්සනට පිරිසිදුවට ඉන්න ඕනෑ. තාත්තා නැතිවුණේ මාර්තු විසි අට වැනිදා. මාර්තු විසි දෙක ඉඳන් තාත්තා මගේ යාළුවෙක් වන ගයනාට එන්න කියන්න කිව්වා. ගයනා රූපලාවණ්‍ය ශිල්පිනියක්. ගයනා තමයි තාත්තා අසනීප වෙලා ඉන්න කාලෙ ගෙදරට ඇවිත් තාත්තාගේ රැවුල කැපුවේ. ඔය කියන දවස්වල එයාත් අසනීප වෙලා හිටියෙ. ඒ නිසා මම තාත්තා බලාගන්න කෙනෙක් එක්ක එකතුවෙලා තාත්තාගේ රැවුල ටිකක් කැපුවා. ඒ මාර්තු විසි හය වැනිදා. හැමදේම අතහැරියත් ලස්සනට, පිරිසිදුවට ඉන්න තිබුණු ආසාව තාත්තා අතහැරියේ නැහැ.
මාහාචාර්ය සනත් නන්දසිරිගේ ලොකුම සෙවණැල්ල ඇගේ බිරිඳයි. ජීවිතයේ අවසාන කාලයේදී ඒ සෙවණැල්ල අතහරින්න ඔහු හිත හදාගත්තද?
ඔව්... තාත්තාගේ ජීවිතේ ළඟම දෙන්නා මමයි අම්මයි. තාත්තාට මාව ඈත් කරන්න බැරි වුණා. ඒකට හේතුව තාත්තාගේ හැමදේම කළේ මමයි. හැබැයි තාත්තා ටිකෙන් ටික අම්මව ඈත් කළා. අම්මා කවන්න ගියත් සමහර දවස්වල තාත්තා කෑවේ නැහැ. අම්මව පොඩ්ඩක් දුරස් කරන්න තාත්තාට ඕනෑ වුණා. විවාහ වුණු දා ඉඳන් තාත්තයි අම්මයි එක ඇඳේ නිදාගත්තෙ. හැබැයි අසනීපයත් එක්ක තාත්තාට පහසු නිසා මගේ යාළුවෝ පහසුකම් ඇති ඇඳක් තෑගි කළා. ඒ නිසා අම්මයි තාත්තයි ඇඳවල් දෙකක නිදා ගත්තා. ඇඳවල් දෙක එක ළඟ තිබුණේ. මුල් කාලයේදි තාත්තා නිදාගත්ත ඇඳේ ඉඳන් අම්මා ඉන්න පැත්තට අත දාලයි තාත්තා නිදාගත්තෙ. අම්මා තාත්තාගේ අත අල්ලගෙන නිදා ගත්තා. පහු වෙද්දි තාත්තා ඒ අත අල්ලා ගැනීමෙනුත් ඈත් වුණා. ගේ ඇතුළේ ඇවිදින්න, රෝද පුටුවක එහා මෙයා යන්න පුළුවන්කම තියෙද්දිත් තාත්තා ගෙදර ඇතුළේ සැරිසරන එක පවා නතර කළා. අවසන් කාලයේදි තාත්තා කාමරයටම වෙලා ඉන්න ආසා කළා. ඒ හැමදේකින්ම තාත්තා හිතාමතාම එයාව අපෙන් ඈත් කරවන්න උත්සාහ කළා. තාත්තා ආසා කරන දේවල් අතහැරලා අපිටත් එයාව නැතිවුණාම හිත හදාගන්න හයිය දීලයි තාත්තා ගියේ. හැබැයි අපිට හිතේ හයිය තිබුණට ඒ වෙන්ව යාම හරි අමාරුයි.
ඔහු සතා සිවුපාවුන්ට ගොඩක් ආදරය කළ මනුස්සයෙක්. එහෙම නේද?
ඔව්... ඇත්තටම තාත්තා සතුන්ට හරි ආදරෙයි. අපි පූසෝ කරේ, උකුලේ, ඔළුවේ තියාගෙනයි ආදරය කරන්නෙ. හැබැයි තාත්තා එහෙම නැහැ. අපිට වඩා තාත්තා සතුන්ට හරි ආදරෙයි කියලා මම දන්නවා. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ නගර සභාවලින් වීදි බල්ලන්ව අල්ලාගෙන යනවා. දවසක් එහෙම වාහනයක් එද්දි විශ්වවිද්‍යාලයේ හිටපු බල්ලෙක් හොඳටම බය වෙලා හිටියා. ඒ බල්ලගේ එක රෝම කූපයක්වත් නැහැ. ඇඟ පුරාම කුෂ්ඨයක් දාලා තිබුණා. මම ඒ බල්ලව ගෙදර ගෙනාවා. තාත්තා මුකුත්ම කිව්වේ නැහැ. මම පශු වෛද්‍යවරයාට පෙන්නලා මේ බල්ලාට බෙහෙත් කළා. දවසක් මම ඒ බල්ලව එළියට එක්ක යද්දි ගෙදර බල්ලාට දාලා තිබුණු චේන් එක දාලා ඒ බල්ලව ගෙනිච්චා. ඒක දැකපු තාත්තා “මහ ලොකු ආදරේ. චේන් එකට ඔය සතාගේ බෙල්ල තුවාල වෙනවනේ” කියලා කිව්වා. පහුවදා මම විශ්වවිද්‍යාලයේ ඉඳන් ගෙදර එද්දි තාත්තා අර කුෂ්ඨ හැදුණු බල්ලාට වටිනා ලෙදර් බෙල්ට් එකක් ගෙනත් තිබුණා. තාත්තාගේ ආදරය ඒ වගේ. ඒ ආදරය කවදාවත් තාත්තා පෙන්නුවේ නැහැ. හැබැයි ඒ පපුවේ සතුන් වෙනුවෙන් අසීමිත ආදරයක් තිබුණා.
• දිශානි ජයමාලි