අන්තිම හුස්ම තෙක් මම මගේ සටන අරගලය අත්හරින්නෙ නෑ
පද සර නිමැවුම්කරුවන්ගේ විස්මිත ගී උල්පත Music and Lyrics ප්‍රසංගය කවර අරමුණක් ඔස්සේ විහිදෙන්නේදැයි යන තැන ඉඳන් අපි කතාව පටන්ගමු?
ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන් හා සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයත් ශ්‍රී ලාංකේය ගී පද රචක සංගමයේ සාමාජිකත්වය දරන සාමාජික සාමාජිකාවන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවකගේ අනාගත සුබසාධනය වෙනුවෙනුත් මෙම සංගම් ද්විත්වය ඒකාබද්ධව පිහිටුවා ගනු ලැබූ අභිනව සංවිධානයක් මගින් තමයි මෙම ප්‍රසංගය පවත්වන්නෙ. ජූලි 8 වැනිදා හැන්දෑවෙ 6.45 ට නෙළුම් පොකුණ රඟහලේදි මේ ප්‍රසංගය පැවැත්වෙනවා. ප්‍රවීණතම සංගීත අධ්‍යක්ෂකවරුන් හතර දෙනකුගේ සංගීත මෙහෙයවීම යටතේ ප්‍රවීණ සහ ජනප්‍රියතම ගායක ගායිකාවන් දාසය දෙනකු ගීතවත් වන මෙම දැවැන්ත ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදු කරන්නේ ප්‍රවීණතම නිවේදකයින් හතර දෙනකු විසින්. මෙම ප්‍රසංගයේ අරමුණ තමයි ලංකාවේ සංගීත ශිල්පීන්, සංගීත අධ්‍යක්ෂකවරුන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එමින් සංගීත රසවින්දනය උදෙසා වේදිකාවක් නිර්මාණය කිරීම සහ අතීතයේදී අපට උරුමයක් වූ ශාස්ත්‍රීය සංගීතයේ බොහෝ වූ වටිනාකම් කැඩී බිඳී යා නොදී ලෝකයටම රැගෙන යාම සහ එම අතීතයේ වත්කම් ඉදිරියට ගෙන යාමේ පියවරක් සටහන් කිරීම.
ප්‍රසංගය පිටුපස සිටින දැවැන්ත දායකත්වයත් මොහොතක් සිහිපත් කරමු?
ඉහත සඳහන් කළ සංගම් පිහිටුවීමට පුරෝගාමී වූ ඒ වගේම එම සංගම්හි නිර්මාතෘ මෙන්ම අනුශාසකවරයකු ලෙස කටයුතු කරන සංගීතවේදී, ගායනවේදී කීර්ති පැස්කුවල් මිත්‍රයාගේ පූර්ණ සංවිධානය මේ පිටුපස තියෙන ලොකුම හයියක්. ඒ වගේම ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන් හා සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සරත් ද අල්විස්, ශ්‍රී ලාංකේය ගී පද රචක සංගමයේ සම සභාපති නිලාර් එන්. කාසිම් ඇතුළු පිරිසක් මේ පිටුපස ඉන්නවා.
ප්‍රසංගය වර්ණවත් කරන පාර්ශ්ව ගැනත් අපි සිහිපත් කරමු නේද?
කලාශූරී ලතා වල්පොල, විශාරද එඩ්වඩ් ජයකොඩි, රෑකාන්ත ගුණතිලක, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, කීර්ති පැස්කුවල්, ආචාර්ය වික්ටර් රත්නායක, කරුණාරත්න දිවුල්ගනේ, චන්ද්‍රලේඛා පෙරේරා, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, වෝල්ටර් ප්‍රනාන්දු, අමල් පෙරේරා, කසුන් කල්හාර, උරේෂා රවීහාරි, සමිතා මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක, නිරෝෂා විරාජිනී යන ගායක ගායිකාවන් ගීත ගායනයෙන් එක්වෙනවා. සංගීතය මෙහෙයවන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ, සරත් ද අල්විස්, මහින්ද බණ්ඩාර, අර්නස්ට් සොයිසා යන සංගීතවේදීන්. සහෘද ආමන්ත්‍රණයෙන් ප්‍රසංගය ළෙන්ගතු කරන්නේ කැළුම් ශ්‍රීමාල්, බන්ධුල නානායක්කාරවසම්, නිලාර් එන්. කාසිම් සහ මනුරංග විජේසේකරයි. දිවයිනේ ප්‍රවීණතම වාදකයින් රුසකගෙන් සමන්විත වාදන වෘන්දයක් මගින් මෙම ප්‍රසංගය සංගීතවත් කෙරෙනවා.
ගීතයකදී ගායකයාට හෝ ගායිකාවට හිමිවන තැන හෝ වරප්‍රසාද, ජනප්‍රියත්වය සහ මුදල් ගීත රචකයාට සහ සංගීතඥයාට හිමිවෙනවාද යන්න ලාංකික සංගීත ක්ෂේත්‍රය දිහා බලද්දි නැගෙන බරපතළ ප්‍රශ්නයක්. ගීතයක් උපදින තැන ගී පද රචනයයි. ගී පද රචකයකුගේ මනසේ ඇතිවන සිතුවිලි හෝ සංකල්පය තමයි ගීතයක් උපදින පළමුවෙනි තැන. එය වර්ණවත් වන්නේ සංගීතඥයකුගේ නාද සංයෝජනයෙන්. ගායකයෙක් හෝ ගායිකාවක් යනු එම ගීතය ශ්‍රාවක සහෘදයන් වෙත ගෙන යන වාහකයෙක්.
ගීතය උපදින සහ වර්ණවත් වන තැන මඟහැර වාහකයෙක් යන භූමිකාවට පමණක් සියලු වරදාන, වරප්‍රසාද බොහෝ විට හිමිවීම කෙතරම් යුක්ති සහගතද කියන ප්‍රශ්නය මම ඔබෙන් අහනවා?
ඒක හරිම ඛේදනීය තත්ත්වයක්. සැබැවින්ම ගී පද රචකයාගේ සහ සංගීතඥයාගේ අයිතිය වෙනුවෙන් සදාචාරමය ආචාරධර්ම පද්ධතියක් සහ නීතියක් ක්‍රියාත්මක විය යුතුයි. ඔබ ඔය කතා කළ ප්‍රශ්නය සැබැවින්ම මානුෂිකයි. ගීත ජනප්‍රිය වෙනවා. එය ගායනා කරන ගායක ගායිකාවන් ජනප්‍රිය වෙනවා. සහෘදයන් එම ගීතය හඳුන්වන්නේ එම ගායක ගායිකාවන්ගේ ගීතයක් යන නමින්. ඒත් ගීතය උපදින තැන සහ එය වර්ණවත් වන තැන බොහෝ අයට අමතකයි. ගී පද රචකයාට සහ සංගීතඥයාට ලැබෙන ඇගයීම, ගෞරවය වගේම ගායකයෙක් හෝ ගායිකාවක් එම ගීතය ප්‍රසංග වේදිකාවල ගයමින් උපයන මුදලින් හිමිවිය යුතු ප්‍රමාණය ගී පද රචකයාට හෝ සංගීතඥයාට හිමි නොවීම ඇත්තටම දකින්න තියෙන යථාර්ථයයි.
ලෝකයේ බොහෝ රටවල දකින්නට නොලැබෙන ලංකාවේ දකින්නට ඇති තත්ත්වයක් ලෙස මෙම අසාධාරණ ඛේදවාචකය මම හැඳින්වුවොත් ඔබ කොයි තරම් දුරකට මාත් එක්ක එකඟ වෙනවද?
බොහෝ රටවල මෙවැනි තත්ත්වයක් දකින්න නෑ. සදාචාරයක්, නීතියක් වගේම මානුෂික පදනමකුත් බොහෝ රටවල මේ සම්බන්ධව දකින්න තියෙනවා. ජර්මනිය, කැනඩාව, ඩෙන්මාර්කය වගේ රටවල්වල මම ඇවිදලා තියෙනවා. එම රටවල ප්‍රසංගයකදී නිර්මාණයක් සම්බන්ධ සෑම අයිතිකාර පාර්ශ්වයකටම ලැබිය යුතු ඇගයීම තහවුරු කරනවා. වටිනාකම් පිරිනමනවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉතාලියේ මම ගිහින් තියෙනවා. විශ්වීය චිත්‍ර කලාව බලන්න ලෝකයේ බොහෝ මිනිසුන් එහි එනවා. ඔවුන් එම ශිල්පීන්ට අදටත් දක්වන්නේ පුදුම ගෞරවයක්. එම චිත්‍ර, එම කලාව ඔවුන් සංරක්ෂණය කර පරම්පරාවෙන් පරම්පරාවට රුකගන්නේ පුදුමාකාර අභිමානයකින් සහ ගෞරවයකින්. ඒත් අද අපිට මොකද වෙලා තියෙන්නෙ. අද ලංකාවෙ සංගීතඥයො දහ දෙනෙක්වත් නෑ. කෙනෙක් නිර්ලෝභීව අගයන්න පුදුම කුහකකමක් තියෙන සමාජයක් ඇතුළෙ අපි ජීවත් වෙන්නෙ. ඇත්තටම අද තියෙන්නෙ ගීතය පිළිබඳව ගත්තොත් අයිතින් පිළිබඳව කොල්ලකෑමක්.
කවුද ඇත්තටම වගකියන්න ඕනෙ සහ වගවෙන්න ඕනෑ?
මෙරටේ බුද්ධිමය දේපළ සම්බන්ධව පනතක් තියෙනවා. නීතියක් තියෙනවා. ඒත් කොතනකද ඒවා සක්‍රීයව ක්‍රියාත්මක වෙන්නෙ. ගී පද රචකයාගේ, සංගීතඥයාගේ, ගායකයාගේ අයිතින් ගැන කාටද අවබෝධයක් තියෙන්නෙ. හුඟක් අයට ඒගැන අවබෝධයක් නෑ. කොල්ලය සහ සූරා කෑම ප්‍රමුඛ ලක්ෂණයක්. රජය මේකට වගකියන්නම ඕනෑ. මේ රටේ පාර්ලිමේන්තුවක් තියෙනවා, අධිකරණයක් තියෙනවා. මේ හැම තැනක්ම රටේ කලාකරුවන්ගේ අයිතින් උසස් ක්‍රියාවලියක් දක්වා උසස් මට්ටමට ගෙන ඒමට වැඩපිළිවෙළක් දැන්වත් ආරම්භ කරන්න ඕනෑ. දැනටත් අපි හුඟක් ප්‍රමාදයි. ඒත් තවත් ප්‍රමාද වෙන්න බෑ. ඒ වගේම මාධ්‍යයටත් පුළුල් වගකීමක් තියෙනවා. ගීත ගැන කතා කරන හුඟක් මාධ්‍යවලටත් ඒ ගීතයේ ගී පද රචකයා සහ සංගීතඥයා අමතකයි. අපිට ඕනෑ ගී පද රචකයන්, සංගීතඥයන් සහ ගායක ගායිකාවන් අතර ගැටුමක්, අර්බුදයක් ඇති කරන්න නෙමෙයි. සංගීත අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකයන් ඇතුළු මේ පාර්ශ්ව එකිනෙක අතර ගැටුමක් අර්බුදයක් ඇති කරන්නත් නෙමෙයි. අවබෝධයෙන්, සදාචාර සහ මානුෂික පදනමකින් සියලු දෙනාට හිමිවිය යුතු අයිතිය, වරප්‍රසාද හිමිවන භූමියක් වෙනුවෙන් මේ සටන මෙහෙයවන්න. මේ විශාල කොල්ලයට දැන් හරි තිත තියන්න. අපිට උරැම චිත්‍රපට දැන් අභාවයට ගිහින්. අපේ ගීත කලාව, ගීත තැටි අතුරුදන් වෙලා. ඒවා කොල්ල කාලා. නීතියට සමගාමීව සදාචාරයත්, සදාචාරයට සමගාමීව මානුෂිකත්වයත් ඇති තැන තමයි අපි බලාපොරොත්තු වන පසුබිම ගොඩනැගෙන්නෙ.
අතීතයේ තිබුණු සහජීවනය දැන් කෝ. සංගීත ක්ෂේත්‍රයට අදාළව ඒ ප්‍රශ්නයට මට උත්තරයක් දෙන්න?
මමත් ඔබෙන් අහනවා ඉස්සර තිබුණු සහජීවනය දැන් කෝ කියලා. ගීත රචකයන්ට, සංගීතඥයන්ට, ගායකයන්ට, නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂවරුන්ට, කාටවත් අපිට ඇඟිල්ල දිගු කරන්න බෑ. වැරැද්ද තියෙන්නෙ නිශ්චිත වැඩපිළිවෙළක්, නීතියක් ක්‍රියාත්මක නොවීම තුළයි. බුද්ධිමය දේපළ පිළිබඳ පනතට අනුව අයිතින් සුරකින පසුබිමක් නොතිබීම තුළයි. මේවා ගැන කතා කරන්න රැස්වීම් දාහකට දෙදාහකට මම ගිහින් ඇති. පාර්ලිමේන්තුව දක්වාම මේ ප්‍රශ්නය ගියා. නිධානයක් වගේ තියෙන දෙයක් ආරක්ෂා කර ගන්න ඒ කාටවත් ඇත්ත උවමනාවක් නෑ. සාකච්ඡාවලට යනවා. ඒත් සාකච්ඡා පමණයි, ප්‍රතිඵල නෑ. රාජ්‍ය නිලධාරින් කියනවා ඔව් අපිට තේරෙනවා කියලා. එච්චරයි. වැඩපිළිවෙළක් නෑ. තේරුණාට වැඩක් නෑ කාටවත් දෙන්න උත්තරයක් නැත්නම්. දෙන්න උත්තර නැත්නම් තනතුරු දරලා වැඩකුත් නෑ.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මෑතකදි ප්‍රසිද්ධ සභාවකදි ප්‍රකාශ කළා විශ්වවිද්‍යාල දේශනයකදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඔහු ඇහුවලු ඔබේ නමින් සෑය බඳිමි යන ගීතය අහලා තියෙන කී දෙනෙක් මෙතන ඉන්නවද? ඒ ගීතය ගායනා කරන්නෙ කවුද කියලා දන්නවද කියලා. එහෙම ගීතයක් තියෙනවා කියලා යන්තමින් හෝ දැනගෙන ඉඳලා තියෙන්නෙත් එක ශිෂ්‍යයෙක් පමණයි. බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විතරක් නෙවෙයි, මාධ්‍යවේදින්ට සහ නව පරපුරේ කලාකරුවන් ඇතැම් දෙනාටත් ගීතය, කවිය, සාහිත්‍ය, විචාරය, සිනමාව වැනි ක්ෂේත්‍ර පිළිබඳව අවබෝධය අල්පයි. මේ අනාගත ඛේදවාචකයක පැහැදිලි පෙර ලකුණක්. ඇයි මෙහෙම වුණේ?
ඔබ කියන තත්ත්වය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. මම එකඟයි. ඒ ඛේදවාචකය ගැන මම ඉන්නෙ ලොකු වේදනාවකින්. අපිට අත්වැල් සපයන්න හිටපු පෙර පරම්පරාවෙන් අපි හොඳ කියවීමක් අපේ ගමන වෙනුවෙන් ලබාගත්තා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, ඔස්ටින් මුණසිංහ, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, එච්.එම්. ජයවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න, මුත්තුසාමි මාස්ටර්, රොක්සාමි මාස්ටර් වැනි අයගේ සංගීත ඥානය අපේ ගමන එළිය කළා කිව්වොත් නිවැරදියි. මුස්ලිම්, දමිළ බොහෝ සංගීතඥයන් සිංහල සංගීතය පෝෂණය කරන්න, ඒ මඟ සරසන්න දුන් දායකත්වය අපමණයි. ඒත් මුත්තුසාමි මාස්ටර් ගැන, රොක්සාමි මාස්ටර් ගැන කීයෙන් කී දෙනාද අද දන්නෙ? ඇයි ඒ වටිනා මිනිස්සු අමතක කළේ. අමතක කරලා ගමනක් යන්න හදන්නෙ.
මහා ගොඩනැගිලි සුන්බුන් බවට පත් කරලා යන්න හදන ගමනකට හෙට දවසක් තියෙනවද කියන ප්‍රශ්නයට මට උදාහරණත් එක්ක උත්තරයක් දෙන්න පුළුවන්ද?
කේමදාස මාස්ටර් සංගීත ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වවල අයිතිය වෙනුවෙන් හඬ නගපු දැවැන්ත ශක්තියක්. එහෙම අය හිටියා. ඒත් අද කාටද ඔවුන් මතක. ඔවුන්ව අමතක නොකරපු පිරිසක් ඉන්නවා. එහෙත් අනාගත පරපුරේ බොහොමයක් දෙනා ඒ අතීත මානව සම්පත් ගැන එක්කො දන්නෙම නෑ. නැත්නම් දන්නෙ හරි ටිකයි. අමරදේව මාස්ටර් වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න තාම බැරි වුණා. මහගම සේකර වැනි දැවැන්ත චරිත හිටපු තැන් පවා පොළොවටම මිහිදන් වුණා. වටිනාකම්වලට වටිනාකම් නොදෙන සමාජයක් ඇතුළෙ ඇගයිය යුතු තැන අගයන්න තරම් නිර්ලෝභී මානසිකත්ව විරල සමාජයක් ඇතුළෙ අවුල් ලිහාගෙන, අර්බුද නිමා කරගෙන යන්න යන මේ ගමන කියන්නෙ ඇත්තටම සටනක් සහ අරගලයක්. ඒත් ඒ සටන සහ අරගලය හුස්ම වැටෙන අන්තිම මොහොත දක්වාම අත්හරින්නෙ නෑ.
අද හුඟක් ගායක ගායිකාවන් පසු ගැයුම් (Cover songs) කරනවා. ඒ හරහා මුදල් හම්බ කරනවා. ගී පද රචකයා, සංගීතඥයා වගේම මුල් ගායකයත් නිකම්ම ගිලිහී ගිහින්. බොහෝ අය මුල් ගායනය කාගෙද කියන එක ගැනවත් සඳහනක් නෑ. ජනප්‍රිය තලයේ සිටී යැයි කියන ගායක ගායිකාවන් පවා කිසිම සදාචාරයකින්, මානුෂිකත්වයකින් සහ බුද්ධිමය දේපළ පිළිබඳ කිසිම අවබෝධයක් නැතුව මේ කොල්ලය සහ සූරාකෑම දිගින් දිගටම කරනවා. ඔබ මේ තත්ත්වය දකින්නෙ කොහොමද?
ඇත්තටම මුල් ගායනය කාගෙද කියලවත් සඳහන් නොකරන තැන ඒ අයගෙ සදාචාරය ගැන මොනවද කතා කරන්න තියෙන්නෙ. අද ඇතැම් සමාජ මාධ්‍යවල ගීත රචකයෙක්ගෙ සහ සංගීතඥයෙක්ගෙ නමක්වත් සඳහන් වෙන්නෙ නෑ. සෙවුම් පිරික්සද්දි සඳහන් වෙන්නෙ Unknown කියන වචනය. ගීතය ගයන ගායක ගායිකාවන්ගෙ නම විතරයි සඳහන් වෙන්නෙ. ඇයි රජයට බැරි කලාකරැවන්ගෙ අයිතිය වෙනුවෙන් පනතක් සම්මත කරන්න. නියාමනයක් ඇති කරන්න. බුද්ධිමය දේපළ පිළිබඳ පනත වඩාත් බලාත්මක කරන්න. සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඇයි ඒ විශ්වවිද්‍යාලයට බැරි මේවා ගැන කතා කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. විශ්වවිද්‍යාල පද්ධතියන්ගේ ශාස්ත්‍රීය අංශවලට ඇයි බැරි ක්‍රියාත්මක වෙන්න. බුද්ධිමය දේපළ පිළිබඳ කතා කරන නීතිඥවරුන්ට ඇයි බැරි සක්‍රීය වෙන්න. ඇයි ජනමාධ්‍යයට බැරි සක්‍රීය හඬක් වෙන්න. රටක ජනමාධ්‍ය හඳුන්වන්නේ රටක සිව්වැනි ආණ්ඩුව නමින්. මුරපල්ලා (Watch dog) කියන සංකල්පයෙන්. ඒත් මේ සිව්වැනි ආණ්ඩුවත් මුරපල්ලා සංකල්පයත් හුඟක් වෙලාවට සංකල්පවලට සීමා වෙච්ච තත්ත්වයක් නෙවෙයිද තියෙන්නෙ. අවසානයේදිත් මම කියන්නෙ අර්බුදය ලිහෙන තුරැ, සාධාරණත්වය ඉටුවෙන තුරැ සටන සහ අරගලය සක්‍රීයයි. මම ඉන්නවා ඒ වෙනුවෙන්.
♦ සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ