2023 ජනවාරි 08 වන ඉරිදා

දෙවියන් මිනිස්සුන්ට දුන් ලස්සනම තෑග්ගක්!

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 70

සත්සර හෝඩියෙන් විකාශනය වූ සංගීත භාෂාව කාලය නමැති තිර පටය වසාගෙන පැතිර යන්නකි. ඉර හඳ තරු චලනයට පෙරාතුව හුදු නිහඬතාව සක්වල වසා පැතිර පැවතිණැයි හඟිමු. එදා සක්වල නිහඬ විණි. එසේ වූයේ වා තලය තෙරපා ගුම් දෙවන ධ්වනියක් නොනැගුණු හෙයිනි. කිසියම් චලනයක් හේතුවෙන් දෝංකාරය මගින් නාදය තෙරපනු ලැබීම නාද නිෂ්පත්තියේ මූලික සංසිද්ධියයි.

 
මෙපරිද්දෙන් ජනිත වන නාදයේ නිනාදයෙන් පිරී ගත් ලොවක වෙසෙන රසවතුන් විවිධ විචිත්‍ර සංයත නාද, අසංයත ශබ්දය තුළින් පෙරාගන්නේ හංසයකු දියෙන් කිරි වෙන් කරගන්නා සේය. 
 
ස්වර්ණ වර්ණ විභූෂිත ධ්වනි සමුදාය රසික සවන් පත් කරා පැමිණෙත, මින් පෙර නොවිඳි නාද සෞන්දර්යයක රසය අත්විඳි බවක් හැඟේ. එයින් කිසියම් චමත්කාරයක් හා තිගැස්මක් රසික සිත් තුළ ජනිත වනු නියතය. එවන් වූ ස්වතන්ත්‍ර නාද ආකෘති මවන සංගීත නිර්මාතෘ අපූර්ව ප්‍රතිභා ඇතියකු ලෙස රසික ලෝකය පිළිගැනීම සිරිති.
 
සංගීතය ලලිත කලා අතර සුලලිත කලාව ලෙස සුපතළය. එවන් වූ සංගීත කලා මාධ්‍ය පිළිබඳව විද්වත් කලා විචාරකයන් දැක්වූ මත සමහරක් මෙහි උපුටා දැක්වීම උචිත යැයි හඟිමු.
 
සුන්දර ආකෘතියක් ඔස්සේ දිවෙන සංගීතමය රේඛාව හෙවත් තනුව (Melody) හඳුන්වා දෙමින් ජෝසප් හේඩ්න් නමැති ප්‍රකට සංගීත සංධ්වනි නිබන්ධක මෙසේ පවසා ඇත.
 
"මිනිස් සිත රංජනය කරන සංගීත මෝහිණිය තනුව වන්නේය. එවන් තනු නිර්මාණකරණය වූ කලී අතිශය දුලබ ශක්ති මාත්‍රයකි. පිරිපුන් මියුරු තනු ඉපැද්දීම ඒකාන්ත වශයෙන්ම මහාර්ඝ වූ ප්‍රතිභා සම්පත්තියෙන් අනූන සංගීත විබුධයකුගේ කාර්යයකි."
"කලාව වූ කලී, මිනිසා විසින් සාක්ෂාත් කරගනු ලැබූ උත්තරීතර හා විශිෂ්ටතම හැඟීම් අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීම අරමුණු කොටගත් මානව ක්‍රියාවලියකි."
 
- ලියෝ ටොල්ස්ටෝයි
"සකල විධ කලා, සංගීතයේ පරිපූර්ණත්වය සතතින් අපේක්ෂා කරයි."
 
- වෝල්ටර් පේටර්
"කිසියම් අර්බුදකාරී තත්ත්වයක් නිසා අපේ මනස පරිපීඩනයට පත් වූ කල්හි සංගීතය සිත් සමනය කොට චිත්ත සමාධිය ඇති කරයි."
 
- මහත්මා ගාන්ධි
"බිඳුණු හදට දිව ඔසුවකි, සංගීතය. මෙවන් වූ නාද සෞන්දර්යය විඳගැනීමෙන් බොහෝ තුරුණු හදවත් ආදරය කරන්නට උගනිති."
 
- හන්ට් සහ රිචට් නමැති කවීන්
ෂෙලී නමැති සුප්‍රකට කවියා මෙසේ කීය.
 
"වගකීම් ගොර සපුන්
සිත බඳන දළ යදම්
සිඳ හෙළන මහ සවිය
සංගීතයයි
වගුරුවයි මී නද^ඹ සදිසි රස මදිරා
ගුම් දෙවයි නිබඳ අප සැමරුම්හි සපුරා
මිලින වී ගෙවී යත සිහින බඳු සිහින් සර."
 
"දෙවියන් මිනිසුනට දුන් මහඟු දායාදයකි, සංගීතය. එය ඉසිවර සේවිත කලාවකි. එය පාපී සිතිවිලි සිතින් අතුගා දමයි. කළණ සිතිවිලි කැඳවයි."
 
ලූතර්
නවකතාව, කෙටිකතාව, ගද්‍ය හා පද්‍ය කාව්‍ය, නාටක, මුද්‍රා නාටක ඈ කලා මාධ්‍යයෝ ලෝකයේ කිසියම් ජාතියකට, දේශයකට, භාෂාවකට සීමා වූ කෘතීහු වෙති. භාෂාව යා වූ තැන භාෂාවේ මුඛ්‍ය ලක්ෂණයක් වන නිශ්චිතාර්ථ දැනවීම අනිවාර්යයෙන් සිදු වේ. තවද භාෂාවක් පවත්නේ තර්කානුකූල රේඛීය ගමන් මාර්ගයකය. එහෙත් සංගීතය හෙවත් නාදවේදය පුනරාවර්තන ලීලය ආත්ම කොටගෙන පවතින්නකි. අවාචිත ප්‍රකාශන මාධ්‍යයකි. මානව හැඟීම් පදනම් කොටගෙන විස්තාරණය වන්නකි. දේශ, කාල, ජාති සීමා ඉක්මවා හුදු මානව හැඟීම් දනවන්නකි.
 
(ආචාර්ය ඩබ්.ඩී. අමරදේව විසින් රචිත නාද සිත්තම් ග්‍රන්ථයෙනි.)