ඔබ විසින් අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වූ විෂම භාග චිත්‍රපටය තිරගත වන්නට ඉතාම ආසන්නයි. මේ සිනමාපටය නිර්මාණය වන්නේ කොහොමද? අපි මුලින්ම විෂම භාග චිත්‍රපටය ගැන කතා කළොත්?
විෂම භාග කතාව තුළින් අපි අදහස් කරන්නට උත්සාහ ගත්තේ වැඩිහිටියකුගේ එක වචනයකින් ළමා මනසකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලයි. වයස අවුරුදු දහයක විතර කුඩා දරුවෙක් පාසලේදී ඔහුට ලැබෙන යම් දඬුවමක් හේතු කරගෙන එයාගේ දෛනික ජීවිතය ගෙවන විදිහ අපි විෂම භාග චිත්‍රපටය හරහා පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා. ඒ ඔස්සේ චිත්ත අභ්‍යන්තරය තුළ යම් කිසි කනගාටුවක් වේදනාවක් දෝංකාරය දෙනවා. ඒ වේදනාව, ඒ කනගාටුව චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයාටත් දැනෙන්න සැලැස්වීමට මා උත්සාහ ගත්තා.
විෂමභාග කතාව තුළින් මීට වඩා ගැඹුරු අර්ථයක් පෙන්නුම් කරන්න ඔබ උත්සාහ කරනවා නේද?
ඔව් විෂම භාග කතාවෙන් ඊට එහා ගිය කතාවක් කියවෙනවා. දැනට යල් පැනගිය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ගැන සංසන්දනාත්මකව මේ කතාව තුළින් කතා කරන්නට අපි උත්සාහ ගත්තා. අතීතයේ අපි ඉගෙනගත්තු ක්‍රමවේදය දැනටත් වලංගුද? ඒ කියන අධ්‍යාපන ක්‍රමය නිවැරදිද? කියලා විෂම භාග චිත්‍රපටය හරහා කතා කරනවා. සම්මතයි කියන විෂය ධාරාවන්ට පටහැනිව වෙනත් අදහස් දරනවා. ලලිත කලා ප්‍රිය කරන ඒ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? මේ වගේ කරුණු කාරණා විෂම භාග කතාව ඔස්සේ ඉදිරිපත් කරන්න අපි උත්සාහ ගත්තා.
විෂම භාග චිත්‍රපටය කුඩා දරුවකු වටා ගෙතුණ කතාවක්. ඊට අමතරව තවත් දරුවෙක් කතාවට එකතු වෙනවා. මේ දරුවන් දෙදෙනා තෝරාගත්තේ කොහොමද?
විෂම භාග චිත්‍රපටයේ නිවුන් දරුවන් රඟපාන්නේ. අවුරුදු දහයක විතර දරුවන් දෙදෙනෙක් තෝරාගන්න මට ඕන වුණා. මගේ දැනහැඳුනුම්කම් පාවිච්චි කරලා මම ලංකාව පුරා ඒ වයසේ නිවුන් දරුවන් දෙදෙනෙක් හෙව්වා. මුලින්ම මට ඔය වයසේ නිවුන් දරුවන් හැත්තෑ හයදෙනෙක් මුණගැසුණා. ඒ හැත්තෑ හය දෙනාගෙන් ක්‍රමක්‍රමයෙන් වඩාත් සුදුසු කෙනා හොයද්දී අවසානයේ පස්දෙනෙක් ඉතිරි වුණා. ඒ පස්දෙනාගෙන් අංක එකට ඇඹිලිපිටියේ දරුවන් දෙදෙනෙක් තේරුණා. නමුත් ඒ දරුවන් දෙදෙනාගේ පියාගේ හැසිරීම සහ කල්ක්‍රියාව හොඳ නැති නිසාම ඒ දරුවන් දෙදෙනාව මේ චිත්‍රපටයට සම්බන්ධ කරගන්න අපි අදිමදි කළා. අංක දෙකට තේරුණ දරුවන් දෙදෙනාව මට මේ දරුවන්ගේ පාසලේ සංගීත ගුරුවරිය මාර්ගයෙන් තමයි සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ. ඔවුන් දෙදෙනා ඉගෙනගන්නේ අහුංගල්ල රාජපක්ෂ විදුහලෙයි. ඒ සංගීත ගුරුවරිය ජීවත් වුණේ කොළඹ. ඒ නිසාම ඒ දරුවන් දෙදෙනාට කොළඹ ගෙනත් ඒ ගුරුවරියගේ නිවසේ නතර කරලා මේ දරුවන් දෙදෙනාව සෑහෙන කාලයක් පුහුණුවීම් කළා.
සිනමා කැමරාවක් ඉදිරියේ රඟ නොපෑ දරුවන් දෙදෙනෙකක් ප්‍රධාන චරිතයකින් සිනමාවක් ඔස්සේ හඳුන්වා දීම එක්තරා විදිහකින් අභියෝගයක් නේද?
ඔව්. ඇත්තටම ඒක අභියෝගයක්ම තමයි. මිට කලිනුත් ජීවිතේට රඟ නොපෑ අය මම රඟපාවලා තියෙනවා. ඒ නිසා එවැනි අභියෝගයකට මම මුහුණදුන් පළමු අවස්ථාව මෙය නෙවෙයි. ඒ සම්බන්ධව මට ආවේණික, මම විසින්ම සොයාගත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා මම ඒ දේවල් පාවිච්චි කළා. ඒ වගේම මම ඔවුන්ට කැමරාවත් සමඟ පෙර පුහුණුවීම් කළා. කැමරාවක් භාවිත කර ඒ අනුව රංගනය කරන්නේ කොහොමද කියා ඒ දරැවන්ගේ පොඩි වයසට ගැලපෙන ලෙස මම පුහුණු කළා. මුළු තිර පිටපතේ තියෙන දර්ශන, ඔවුන්ට කරන්න තිබෙන දේවල් මම ඔවුන් එක්ක දෙතුන් වතාවක් හොඳහැටි පුහුණුවීම් කරලා තමයි අපි දර්ශන තලයට ගියේ.
ඒ දරුවන් එක්ක විෂම භාග රූගත කරද්දි ලැබූ අත්දැකීම් අමතක කරන්නත් බැහැ. එහෙම නේද?
ඔව්. ඒ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් ප්‍රධාන චරිතය කරනවා. අනිත් දරුවාට ඒ තරම්ම රඟපෑමක් නොතිබුණත් යම් මට්ටමේ රඟපාන්න තිබුණා. පුහුණුවීම් කටයුතුවලදී ඒ දරුවන් එක්කම මම කාලය ගත කළ නිසා දර්ශන තලයේදී ඒ දරුවන්ට මම පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වුණා. හැබැයි දර්ශන තලයේදී ප්‍රධාන චරිතය වූ රුවන්සිරිට රඟපෑ පන්සිළු වෙනුවට පන්කජව ඇඳුම් අන්දා මේක්අප් කරලා තිබුණ අවස්ථා තිබුණා. ඒ බොහෝ වෙලාවලදී දෙන්නව මාරැ වී තිබුණා. ඔන්න ඔය වගේ දෙන්නා මාරුවීම්නම් දර්ශන තලයේදී අනන්තවත් තිබුණා.
විෂම භාග ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්නට පෙර විදෙස් සිනමාහල් කිහිපයකම මේක තිරගත කරන්න ලලිත් ඇතුළු විෂම භාග කණ්ඩායමට අවස්ථාව ලැබුණා නේද? ඒ වගේම ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම විෂම භාග නියෝජනය කළා. එහෙම නේද?
අපි මේ වසරේ මුලදීම විෂම භාග චිත්‍රපටයේ වැඩකටයුතු සියල්ලම අවසන් කළා. නමුත් විෂම භාග චිත්‍රපටය මේ වසරේ අග තමයි තිරගත වෙන්නට නියමිතව තිබුණේ. මේ නිසාම තිරගත වන්නට ලොකු කාල පරාසයක් ඉතිරිව තිබුණා. ඒ නිසා මෙම චිත්‍රපටය අපි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල්වලට යොමුකළා. ඔය අතරේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල ජීවත් වන කැලණි විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයන්ගේ සංගමය විෂම භාග චිත්‍රපටය මෙල්බර්න් නුවර සිනමා ශාලාවක තිරගත කිරීමට අපිට ආරාධනා කළා. ඒ නිසා විෂම භාග චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූයේ මෙල්බර්න්වල Astor නම් පැරැණි සිනමාහලෙයි. එදා මංගල දර්ශනය නැරඹීමට ශාලාව පිරී ඉතිරී යන්නට පිරිස පැමිණියා. ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. මේ පිළිබඳව දැනගත් නගරවල සිනමාහල්වල දර්ශන වාර දෙකක් හෝ තුනක් ප්‍රදර්ශනය කරන්නට අපිට අවස්ථාව ලබලා දුන්නා. ඒ හැම දර්ශන වාරයකටම ඉහළ ප්‍රතිචාර අපිට ලැබුණා. ඊට අමතරව නවසීලන්තයේදීත් දර්ශන වාර හතරක් අපි ප්‍රදර්ශනය කළා.
නියෝජනය කළ ජාත්‍යන්තර සම්මාන උළෙලවල් ගැන කතා කළොත්?
මේ වනවිට විෂම භාග චිත්‍රපටයට සම්මාන ලැබූ අවසන් වටයට නිර්දේශ වූ සහ ඉදිරියට පැවැත්වෙන්නට නියමිත අවසන් වටයට තේරී පත්වී ඇති සම්මානත් සමඟ මේ වනවිට හැත්තෑවකට ඉහළ සංඛ්‍යාවකට නිර්දේශ සහ සම්මාන ලබලා නියමිතයි. A ශ්‍රේණියේ සම්මාන උළෙලවල් දෙකක් නියෝජනය කරන්නට විෂම භාග චිත්‍රපටයට අවස්ථාව ලැබුණා. චීනයේ ෂැන්හයි නුවර පැවැත්වූ ෂැන්හයි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී අවසන් වටයට තිර රචනය වෙනුවෙන් මටත්, හොඳම නළුවා හැටියට පන්සිළුත් තේරී පත්වුණා. අපිට අවසන් තුන්දෙනාගෙන් නතර වෙන්න සිද්ධ වුණා. ඊට අමතරව ගෝවේ 50වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළලේදි ආසියාවේ චිත්‍රපට 7ක් තෝරාගෙන තිබුණා. ඒ චිත්‍රපට හතෙන් එකක් ලෙස විෂම භාග තේරී තිබුණා. ඒ වෙනුවෙන් සිහිවටන සම්මානයක් අපිට ලැබුණා. ඒ හැමදේම අපිට ඉතා වටිනා සම්මාන වුණා.
මෙලෙස ජාත්‍යන්තර සම්මාන සහ නිර්දේශයක් ලබද්දිත් විෂම භාග ලංකාවේදී ප්‍රදර්ශනය කිරීම හා ඒ දින වකවානු සම්බන්ධ විශාල අර්බුදයකට පත්වෙලා තියෙනවා නේද?
ඔව්. ඇත්තටම. ඒක අභියෝගයක් තමයි. චිත්‍රපටයක් හදනවාට වඩා ඒ චිත්‍රපටය තිරගත කිරීමම ලොකු අභියෝගයක්. සීමිත සිනමා ශාලාවල තමයි අපිට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න සිදුවෙලා තියෙන්නේ. ගොඩක් චිත්‍රපටත් එක්ක අපිටත් අපේ චිත්‍රපටය තිරගත කරන්නට පොඩි ඉඩකඩක් ලැබිලා තියෙනවා. ඒ ඉඩකඩ ඇතුළේ අපිට මේ චිත්‍රපටය පෙන්නගන්නට සිදුවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය තුළින් ලැබෙන සියලු ලාභය ලංකාවේ වකුගඩු රෝගයෙන් පිඩා විඳින අසරණ මිනිසුන් වෙනුවෙන් යොදවනවා.ලංකාවේ ප්‍රථම සමාජසත්කාර චිත්‍රපයට මෙයයි
ලලිත් රත්නායක නිර්මාණකරුවාගේ ළමා කාලය හා පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මගේ මව්පියෝ ගුරුවරු. අපේ පවුල කාලාකාරයො හිටපු පවුලක් නෙවේ. මට සාහිත්‍යමය දැනුම හා ඒ පිළිබඳව කැමැත්තක් ඇතිවුණේ මගේ තාත්තා නිසයි. තාත්තා පොත්පත් කියවපු සාහිත්‍ය රසාස්වාදය ලබපු කෙනෙක්. ඒ ඔස්සේ මමත් පොඩි කාලේ ඉඳන්ම පොත්පත් කියෙව්වා. මගේ පවුලේ පිරිමි දරුවන් හතරදෙනෙක් ඉන්නවා. මම පවුලේ බලයා.
ලලිත් පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම ඉගෙනගත්තේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ. මම පාසලට යද්දිනම් පාසලේ කලාවට හැඩයක් තිබුණේ නැහැ. පසුකාලයේදී ජැක්සන් ඇන්තනී රඟපෑ මරාසා වේදිකා නාට්‍යය අපේ පාසැලට ගෙනත් පෙන්නුවා. ජැක්සන් ඇන්තනීත් ඉගෙනගෙන තිබුණේ ඒ පාසලේමයි. ඒ වේදිකා නාට්‍යය බලද්දි මටත් වේදිකා නාට්‍ය සම්බන්ධ ලොකු ඇල්මක් ඇතිවුණා.
පාසල් යන කාලෙදි ඉලක්කයක් තිබුණද?
මට ඇත්තටම එහෙම ලොකු ඉලක්කයක් තිබුණේ නැහැ. මම රැල්ලට වගේ ගියපු චරිතයක්. මම උසස්පෙළට විද්‍යා විෂය තෝරාගත්තෙත් මම වැඩිමහල් සහෝදරයා විද්‍යා විෂය තෝරාගත්ත නිසයි. විද්‍යා අංශය ඉගෙනගෙන දොස්තර කෙනෙක් වෙන හීනය මට තිබුණේ නැහැ. නමුත් පාසලේදී දැකපු වේදිකා නාට්‍ය නිසාම මටත් නාට්‍යයක් කරන්න ආසා හිතුණා. ඒ වෙනුවෙන් මම අවස්ථාව ලබලා දුන්නේ අපේ පාසලේ ක්‍රීඩා භාර ගුරුතුමායි. ඒක මගේ ජීවිතේ හැරවුම වුණා. රත්නායක අපි නාට්‍යයක් කරමු කියලා ගුරුතුමා මට කියද්දි එදා මම ගොඩක් සතුටු වෙලා පාසලේ ක්‍රීඩා සංගමයට ආධාර පිණිස අගය නමින් වේදිකා නාට්‍යක් කළා. ඒ මගේ ආරම්භයයි. ඊටපස්සේ පාසලෙන් අයින් වෙද්දි මම නාට්‍ය කලාව ගොඩක් ඇළුම් කරන චරිතයක් වුණා.
ඉලක්කයක් නොතිබුණ ඔබ අවසානයේදී අපූරු නාට්‍යකරුවෙක් වුණා?
ඔව්. ඔය කාලෙදි අපේ ගමේ මහානාම කියන හිතවතාව මට මුණගැසුණා.ඔහු අපේ ගමේම කෙනෙක්. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. නමුත් ඔහු කලාවට හරි කැමතියි. ඔහු ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කරන්න සූදානම් වුණා. ඒ ටෙලිනාට්‍ය දෙවැනි සහය අධ්‍යක්ෂකවරයා ලෙසට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ අවාසනාවට ද වාසනාවට ද මම දන්නෙ නැහැ. ඒ ටෙලිනාට්‍ය පෙර සූදානම් කටයුතුවලදීම නතර වුණා. ඒ නාට්‍ය ඔස්සේ මට ඇතිවුණ මිත්‍ර සම්බන්ධකම් මත මම සහය අධ්‍යක්ෂකවරයකු ලෙස මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා. අවුරුදු දහයක් දොළහක් අතර කාලය තුළදී සහය අධ්‍යක්ෂකවරයකු ලෙස වැඩ කරමින් බොහෝ අත්දැකීම් ජීවිතයට මම එකතු කරගත්තා. ටෙලිවීව් ආයතනයේ වැඩ කරන අතරතුරේදී මගේ පළමු ඒකාංගික නාට්‍ය වුණු සවස පිපෙන මල් අධ්‍යක්ෂණ්‍ය කරන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍යයට ඒ කාලෙදි යම් ඇගයීමක්ද ලැබුණා. එයි මට යමක් කරන්න පුළුවන් නේද කියන ධෛර්යමත් හැඟීම ඇතිවුණා. කාලයක්ම මම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කළා.
ඔබේ ප්‍රථම දීර්ඝතම ටෙලි නාට්‍ය වුණ තෙත් සහ වියළි නිර්මාණයටත් ඇගයීම් ලැබුණා නේද?
ඔව් මගේ ප්‍රථම දීර්ඝතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වුනේ තෙත් සහ වියළි ටෙලිනාට්‍යයි. ඊට අවුරුදු තුනකට පසුව නැවතත් අරුංගල් ටෙලිනාට්‍ය, වන්වේ සහ තාත්තා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළා. මේ ක්ෂේත්‍රයට එන්න වේදිකා නාට්‍ය තුළින් රහ වැටුණට ටෙලිනාට්‍ය කරන්න අවස්ථාව ලැබුණට මගේ ඉලක්කය වුණේ සිනමාවට එකතු වීමයි. ඒ සඳහා මම අවුරුදු විසිපහක් ගතවුණා. ඒකට හේතුව වුණේ මගේ නිර්මාණයක් රසවිඳපු ස්වාමීන් වහන්සේ නමක් මට දුරකථනයෙන් ඇමතුමක් ලබා මට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය හේතුකොටගෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට උන්වහන්සේ කැමති වුණා. ඒ පූජ්‍ය අළුදෙණියේ සුබෝධ හිමියි. උන්වහන්සේ වැඩිමහල් ස්වාමීන් වහන්සේ වන මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේයි. ඒ නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඇතුවයි සුබෝධ ස්වාමීන් වහන්සේ කටයුතු කළේ.
ඔබේ බිරිඳ සහ දරුවා ගැනත් කතා කළොත්?
මගේ බිරිඳ චින්තනී. පුතා සෙනෙරු. මගේ පුතා රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ළමා නළුවාට තාත්තා ටෙලිනාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් හිමිවුණා.
සිනමාවට එකතු වීම පසුකාලීනව ලලිත්ගේ ඉලක්කයක් වුණා. විෂම භාග ඔස්සේ එය සාර්ථක කරගන්න හැකිවුණා.. ඊළඟ ඉලක්කය මොකද්ද?
මම එහෙම ලොකු අරමුණු පසුපස හඹාගෙන යන්නෙ නෑ. පසුගිය අවුරුදු විසිපහ තුළ කිසිවකුගෙන් නිර්මාණයක් කරන්න කියා ඉල්ලීමක්වත් මම කරලා නැහැ. මම කවදාවත් වැඩ හොයාගෙන වැඩ ඉල්ලගෙන ගිහින් නැහැ. මගේ හිතේ ලොකු ඉලක්ක තිබුණේ නෑ.
► Text - Dishani / Pic -Internet