ශ්‍රී ලංකා පොලීසියේ 34 වැනි පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා 2016 අප්‍රේල් 20 වැනි දින සිය ධූරයේ වැඩ බාරගත්තේය. මොහු ඉතිහාස ගතවන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුව ව්‍යවස්ථාධායක සභාවෙන් පත් කළ පළමු පොලිස්පතිවරයා ලෙසය. බොහෝ දෙනා සිතුවේ පූජිත් ජයසුන්දරගේ හෘදයාංගමභාවයත් සුහදශීලි බවත් නිසා පොලීසියත් මහජනතාවත් අතර සම්බන්ධය තව තවත් ශක්තිමත් වෙතැයි කියාය. එසේම පොලීසියට නව එළියක් ලැබෙනු ඇතැයි කියාය. එහෙත් මහජන ප්‍රතිචාරවලට ප්‍රථම පොලිස්පතිවරයා වෙත පළමු ප්‍රහාරය එල්ල වන්නේ පොලීසිය ඇතුළෙන්මය.
ඔහුට එල්ල වූ පළමු චෝදනාව වුණේ පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨයන් හා නිලධාරීන් යොදාගෙන පැය ගණනින් රුස්වීම් පවත්වන බවය. රටේ නැති විහිළු කතා, බෞද්ධ කතා, බණ කියන පොලිස්පති නිසා පොලිස් නිලධාරීන් පැය 6, 7 රස්තියාදු වන බව මෙහිදී චෝදනා එල්ල විය. එහෙත් පොලිස්පති තඹයකට එය මායිම් කළේ නැත.
මේ අතර පොලිස්පති පොලිස් නිලධාරීන් වෙනුවෙන් අලුත් නීතියක් ගෙනාවේය. ඒ උදෑසන රාජකාරියට පෙර භාවනා කිරීමය. එය කිසිසේත් ප්‍රායෝගික කටයුත්තක් නොවීය. එහෙත් එය පොලීසියේ නීතියක් වන තැනට පත්විය. මේ අතර රහස් පොලීසියට පැමිණ පිළිගැනීමේ නිලධාරිනියට බැණ වදින අයුරැත්, විදුලි සෝපානයේ මෙහෙයුම්කරැට පහර දෙන්න සුදානම් වන අයුරැ දැක්වෙන සීසීටීවී රූපරාමු කිහිපයකුත් ප්‍රසිද්ධියට පත්විය. එවරද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහට ලක්වන තැනකට පත්විය. එහෙත් පොලිස්පති ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.
මේ අතර ජනාධිපතිවරයා සහභාගි වන රුස්වීමකට පොලිස්පතිවරයා සහභාගි විය. ඒ අවස්ථාවේ ඔහු ආසන පැනවීමේ ධූරාවලියට එපිටින් ගොස් පුටුවක් ඇද ඉදිරියෙන් වාඩි වුණේය. කිසිදු සොයා බැලීමකින් තොරව සිදුකළ මේ ක්‍රියාව සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල විය. එයින්ද පොලිස්පතිවරයා පාඩමක් ඉගෙන ගත්තේ නැත. මේ අතරතුරේදී පොලිස්පතිවරයා නුවර පෙරහරේ මැදට පැමිණ තාලයට අඩි තබා පද අල්ලන ඡායාරූපයක් පුවත්පත්වල ප්‍රසිද්ධ විය. එය බලන ඕනෑම අයකුට පොලිස්පතිවරයා නැට්ටුවකුගේ භූමිකාව රඟ දක්වන බව පැහැදිලිවම පෙනුණේය. එක් පැත්තකින් එය හාස්‍ය ගෙන ආ අතර තවත් පැත්තකින් පොලිස්පතිධූරය හෑල්ලු වන තැනට පත්වී තිබුණි. එහෙත් පොලිස්පතිට ගාණක් නොතිබිණි.
මේ සියල්ල මැද පොලිස්පතිගේ තවත් හැසිරීමක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය විය. එනම් එක්තරා ශරීර සුවතා මධ්‍යස්ථානයක් විවෘත කරන්නට ගොස් ජනාධිපතිවරයාගේ විධානය මත උදරයට ව්‍යායාම් කිහිපයක් සිදුකරන අයුරුය. එය එක්පැත්තකින් දේශපාලන විධානයකට යට වූ රාජ්‍ය නිලධාරියකුගේ භූමිකාවක් නිරෑපණය විය. තවත් පැත්තකින් සුපුරුදු පරිදි පොලිස්පතිධූරය හෑල්ලුවකට පත්වන අවස්ථාවක් විය. එයින්ද පොලිස්පතිවරයා පාඩමක් ඉගෙන ගත්තේ නැත.
නැවතත් පොලිස්පතිවරයා කරළියට එන්නේ තවත් එවැනිම ක්‍රියාවක් සමගය. ඒ එක්තරා පාසලක ගුරැවරැන් ඇමතීමේදී ඔහු එහි සිටි ගුරුවරුන් සහ භික්ෂුන් වහන්සේලා අශෝබන ලෙස ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාවක් හරහාය. 'මචං' පාර්ට් එකෙන් කතා කරන පොලිස්පතිවරයා එහිදී හැසිරෙන්නේ කුඩා දරැවෙක් ලෙසිනි. එය හැමදෙනාගේම විවේචනයට ලක්විය. එහෙත් පොලිස්පතිවරයා ඊට ද ප්‍රතිචාර දැක්වූයේ නැත. එපමණක් නොව පාලකයන් ද ඒ ගැන කතා කෙරැවේ නැත.
කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ මේ හැසිරීම කෙරෙහි පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ විවේචනය එල්ල විය. ඔහු පොලිස්පති ධූරයට නුසුදුස්සකු ලෙස බොහෝ දෙනා විවේචනය කළහ. දැන ගන්නට ඇති පරිදි ඒ අවස්ථාවේ පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉවත් වෙන ලෙස ඉහළින් ඉල්ලීමක් කෙරිණි. එහෙත් ඔහු ඉවත් වුණේ නැත. මේ නිසාම එජාපයේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් සඳහන් කර සිටියේ පොලිස්පතිවරයා ඉවත් නොවුණහොත් ආණ්ඩුවේ ආයුකාලය නිමා වන බවය.
මේ අතර පොලිස්පතිවරයා විශාල පඹ ගාලක පැටලුණේය. ඒ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයකටය. නාමල් කුමාර නැමති පොලිස් ඔත්තුකරැවකු විසින් සමාජය ඉදිරියේ කරන ලද පාපෝච්චාරණයක් හේතුවෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ පංගුකාරයෙක් විය. නාමල් කුමාර නැමැත්තා පවසන ආකාරයට පොලිස්පතිවරයා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධ කරදුන් බවත් ඉන්පසුව නාලක ඝාතන කුමන්ත්‍රණය දියත් කළ බවත් ඔහු කීය. එපමණක් නොව පොලිස්පතිවරයාගේ ගෑවීමද මෙහිදී අනාවරණය කෙරිණි. මේ නිසා පොලිස්පතිවරයාගෙන් කිහිප වතාවක් රහස් පොලීසිය ප්‍රශ්න කරන්නට විය. එය පොලිස්පතිවරයකුට ඉතිහාසයේ එල්ල වුණු බරපතළම චෝදනාවක් විය.
මේ සියල්ල මැද පොලිස්පතිවරයාට බරපතළම චෝදනාව එල්ල වන්නේ පසුගිය 21 වැනිදා එල්ලවන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පොකුර සම්බන්ධයෙන්ය. එනම් ඔහු සතු බැරූරුම් වගකීමක් හිතාමතා මග හැරීමේ චෝදනාවක් ගැනය. එම චෝදනාව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙන බව සඳහන්ය.
2018 වසරේදී ඉන්දියාවේ රෝ බුද්ධි තොරතුරැ ඒකකය මගින් මේ ත්‍රස්ත ප්‍රහාරයේ නායකයා වුණු සහ්රාන් හෂීම් පිළිබඳ තොරතුරැ රුසක් මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණි. එකී දැනුම් දුන් අවස්ථාවට සමගාමීව මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමක් ද සිදුවිය. එම ක්‍රියාව සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ අතර ඊට අවශ්‍යම සැකකරැවන් දෙදෙනා පැනගත්තෝය. මේ අතර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ලේකම්වරයකු විසින් දුන් තොරතුරකට අනුව වනාතවිල්ලුව ප්‍රදේශයේ වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගනු ලැබීය. මෙය මේ ප්‍රහාරයට පෙර ලැබුණු විශාල සාක්ෂියකි. ඒ වගේම මේ තොරතුරු දුන් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම ද ප්‍රධාන කාර්යයකි. එහෙත් අමාත්‍යවරයාගේ ලේකම්වරයාට වෙඩි තබනු ලැබීය. ඔහු තවමත් රෝහලේය. එපමණක් නොව ඔවුන්ට පාර පෙන්වූ තරැණයාට වෙච්ච දෙයක් නැත. එහෙත් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් මේ පිළිබඳ සොයා බැලුවේ නැත. පොලීසිය සැක කළේ මෙය බුදුපිළිම කඩා දැමූ අය වීසින් සිදුකළ ක්‍රියාවක් ලෙසය.
මේ අතර නැවතත් රාජ්‍ය බුද්ධි ඒකකයට රෝ ඔත්තු සේවය විසින් අප්‍රේල් 04 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් විය. කෙසේ වෙතත් මේ ගැන රාජ්‍ය බුද්ධි ඒකකය විසින් ආරක්ෂක ලේකම්වරයාත් පොලිස්පතිවරයා දැනුවත් කළ බව අනාවරණය වන්නේ බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා යොමුකළ ලිපියක් හරහාය. ඔහු අප්‍රේල් 11 වැනිදා මේ ප්‍රහාරය සිදුවිය හැකි ආකාරයත් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් සූදානම් වන බවත් දැනුවත් කර තිබිණි.
මේ ලිපිය 11 වැනිදා ලද සැණින් පොලිස්පතිවරයාවරයා විසින් එම ලිපිය බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාටත්, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී එම්.ආර් ලතීෆ් මහතාටත්, විශේෂ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතාටත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරැණ ජයසුන්දර මහතාටත් යොමු කර තිබුණි. එලෙස යොමු කිරීමෙන් පසුව අප්‍රේල් 21 මෙම ප්‍රහාර මාලාව වෙන තෙක් එම ලිපියට සිදුවු දෙයක් නැත. ගත් තීන්දුවක් පේනතෙක් මානෙක නැත. අවසානයේ මෙම ලිපියට පොලිස්පතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු දෙයක් නොකළ බව සනාථ විය. ජනාධිපතිවරයා පැවසුවේ අවුරැද්දට බුලත් දෙන්නට පැමිණි අවස්ථාවේදිවත් ඒ ගැන නොපැවසූ බවටය.
මෙය සිදුවීමට පෙර 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේදී දුරස්ථ පාලකයකින් පුපුරවා හැරි යතුරැ පැදි දෙකක් පොලීසිය සොයා ගත්තේය. එහෙත් පොලිස්පතිවරයා ඒ හරහා හෝ මේ ගැන කිසිම සොයා බැලීමක් සිදුකර තිබුණේ නැත.
මේ නිසාම ජනාධිපතිවරයා සිංගප්පූරැ සංචාරය නිමවී පැමිණි සැණින් පොලිස්පතිවරයා කැඳවා ඔහුට ඉවත්වන ලෙස දැන්වීය. පොලිස්පතිවරයා පමණක් නොව ආරක්ෂක ලේකම්වරයාට ද ඉවත්වන ලෙස දැන්වීය. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා ඉවත් වී ගියේය. එහෙත් පොලිස්පතිවරයා ඉවත්වුණේ නැත. එසේ ඉවත් නොවුණා කියා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පොලිස්පතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කිරීමේ හැකියාවක් ද නැත. එසේ ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනා ආයුතුය.
කෙසේ වෙතත් මීට පෙර පොලිස්පතිවරැන් දෙවතාවක් සිය තනතුරෙන් ඉල්ලා අස්වුණු අවස්ථා ඇත. එනම් පළමු පොලිස්පතිවරයා වුණේ 2003 වසරේදී ආනන්දරාජා මහතාගේ ඉවත්වීමය. ඒ ඔහුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවකුත් උත්සවයකදි අහඹු හමුවීමක් නිසාය. එයට ඔහු සම්බන්ධ නොවුණත් එල්ල වූ සමාජ කැළඹිල්ල නිසා ඉල්ලා අස්විය.
නැවත පොලිස්පතිවරයකු ඉල්ලා අස්වන්නේ 2011 වසරේදීය. සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් කටුනායක පැවති උද්ඝෝෂණයකදී රොෂේන් චානක පොලිස් වෙඩි පහරින් මියයාම සම්බන්ධයෙන් එවකට පොලිස්පති මහින්ද බාලසුරිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය.
කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර මහතාගෙන් ජනාධිපතිවරයා ඇත්තේ ඉල්ලා අස්වන ලෙසය. එහෙත් ඔහු ඉල්ලා අස්වූයේ නැත. මේ නිසා ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ. දැන් පොලිස්පතිවරයා ඉන්නේ නිවාඩු ගොස්ය. ඒ සඳහා වැඩ බලන පොලිස්පතිවරයකු ද පත් කර ඇත.
කෙසේ වෙතත් පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම අතර පවා පසුගිය කාලයේ ගැටුම් රාශියක් ඇති විය. පොලිස්පතිවරයාගේ මාරු කිරීම්, යෝජනා බොහොමයක් කොමිසම මගින් විසිකර දැමුවේ පොලිස්පතිවරයාගේ වැරදි නිසාය. කොටින්ම කියතොත් පොලිස්පතිවරයා වෙත තිබූ පරිපාලන බලය පවා පසුගිය කාලයේ කොමිසම වෙත පවරා ගන්න තැනට පත්විය. ඒ පොලිස්පතිවරයාගේ අවුල් සහගත වැඩපිළිවෙළ නිසාය. පොලිස්පතිවරයා සිය වරදවල් හදා ගැනීම වෙනුවට තව තවත් පඹ ගාලක පැටලුණේය.
දැන් ඇත්තේ ඔහුට ක්‍රම දෙකකි. එකක් කැමැත්තෙන් ඉල්ලා අස්වීමය. නැතහොත් විස්වාසභංගයකට මුහුණ දී විශ්‍රාම වැටුපත් නොමැතිව ගෙදර යාමය.
ගයාන් ගාල්ලගේ