දැන් මතුව ඇති ගෝලීය ආහාර අර්බුදයට වගකිව යුත්තේ පුටීන් ප්‍රමුඛ රුසියාව බවට චෝදනා එල්ල වී ඇත. රුසියාවේ “ත්‍රස්තවාදී අවි ගබඩාවේ” නවතම අවිය බවට “ආහාර” පත්ව ඇතැයි, යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන්ඩර් ලේන් ඉකුත් බදාදා ලෝකයටම ප්‍රකාශ කළාය.
“ආහාර දැන් ක්‍රෙම්ලිනයේ ත්‍රස්තවාදී අවි ගබඩාවේ කොටසක් වී ඇත, අපට එය තවදුරටත් ඉවසා සිටිය නොහැක,” යනුවෙන් වොන්ඩර් ලේන් යුරෝපා සංගම් නීති සම්පාදකයින්ට පැවසීය. ස්ට්‍රුස්බර්ග්හි යුරෝපීය පාර්ලිමේන්තුව අමතමින්, වොන්ඩර් ලේන්, මතුවෙමින් පවතින ගෝලීය ආහාර අර්බුදයට පිළියමක් ලෙස යුක්රේනයේ කළු මුහුදේ වරායන් යළි ඉක්මණින්ම ප්‍රතිස්ථාපිත කිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි.
රුසියාවට එරෙහිව පැනවූ යුරෝපා සංගමයේ සම්බාධක රුසියාව සහ තුන්වැනි රටවල් අතර ධාන්‍ය හෝ වෙනත් ආහාර වෙළඳාමට බලපාන්නේ නැති අතර, වරාය සම්බාධක විශේෂයෙන් කෘෂිකාර්මික භාණ්ඩ සඳහා පූර්ණ නිදහස් කිරීමක් සිදුකර ඇති බව ඇය පැහැදිලි කළාය. යුරෝපයේ ප්‍රධාන ධාන්‍ය සැපයුම්කරුවකු වන යුක්රේන ධාන්‍යවලින් බහුතරයක් අපනයනය කළ හැක්කේ කළු මුහුදේ වරායන් මගින් වන අතර රුසියාව යුද්ධය මුවාවෙන් මෙම මාර්ග අවහිර කරමින් යුරෝපා සංගමයට පාඩමක් ඉගැන්වීමට තැත්දරන අතර ලෝකයේ ආහාර අර්බුදයකට මඟපාදා ඇති බවට ඇය අවධාරණය කර තිබුණි. කළු මුහුදේ වරායන් යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ''උත්සාහයන්'' සඳහාද ඇය ස්තුතිය පුද කළාය.
රුසියාව ලොව ධාන්‍ය වෙළඳපොළ පාලනය කිරීම සඳහා ''කෘත්‍රිම ලෙස බාධා ඇති කරන'' බවට යුක්‍රේනියානු ඉහළ නිලධාරියෙක්ද ඉකුත් සතියේ චෝදනා කළේය. ඔහු යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලොව්ය.
''ධාන්‍ය සැපයීම සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පැහැදිලිය, අපේ ආරක්ෂාව පළමුවය, දැන් රුසියාව කෘත්‍රිමව වෙළඳපල අල්ලා ගැනීමට බාධා ඇතිකරමින් ආහාර හිඟයක් සම්බන්ධයෙන් කියමින් යුරෝපය බ්ලැක්මේල් කරමින් සිටී යැයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
නෙදර්ලන්තයේ මැක්සිමා රැජිනද ලෝක ආහාර සහ බලශක්ති මිල ඉහළයාමේ බලපෑම ලොව ඇතැම් කලාපවල අස්ථාවරත්වය වැඩි කිරීමට හේතුවිය හැකි බව කීවාය. මේ නිසාම යුරොපයේ බොහෝ පවුල්වලට දිනකට ආහාර වේල් තුනකින් හෝ දෙකකින් ඈත්ව දිනකට එක් ආහාර වේලක් ගැනීමට සිදුවනු ඇති බවට මැක්සිමා රැජින අණතුරු අඟවා තිබුණි. අන් කලාප සඳහා මේ තත්ත්වය වඩාත් බැරෑරුම් වනු ඇතැයිද ඇය අවධාරණය කර තිබුණි. පුහුණු ආර්ථික විද්‍යාඥයෙකුද වන මැක්සිමා රැජන මෙලෙස කීවේ පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයේදී මාධ්‍ය අමතමිනි.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය - ආහාර ද්‍රව්‍ය හා බලශක්ති නිෂ්පාදනයේ ලොව ප්‍රධාන නිෂ්පාදකයින් දෙදෙනාගේම - ගෝලීය නිෂ්පාදනය, වෙළඳාම සහ සැපයුම කඩාකප්පල් කර ඇති අතර එය ආහාර සහ භාණ්ඩ සේවා මිල ඉහළ යාමට හේතු වී තිබේ. ඒ අතරම ලෝක බැංකුවේ නවතම වෙළඳ භාණ්ඩ වෙළෙඳපොළ ඉදිරි දැක්ම, 2022 දී බලශක්ති මිල ගණන් 50% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර තිරිඟු මිල 40%ට වඩා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මේ අතර යුක්රේනයෙන් යුරෝපයට ධාන්‍ය අපනයනය නැවත ස්ථාපිත කිරීම ගැන සාකච්ඡා කිරීමට තුර්කි සහ රුසියානු විදේශ ඇමැතිවරු බදාදා අන්කාරා හිදී රැස් වූහ.