2022 මැයි 15 වන ඉරිදා

බොන්ග් බොන්ග් පිලිපීන මහ පුටුවට

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 93

ඉඟුරු දී මිරිස් ගැනීමක් හැටියට හැඳින්විය හැකි පෙරැළියක් පසුගියදා පිලිපීනයේ සිදුවිය. ඒ එම රටේ මහපුටුවලට හිටපු කෘෘරතම පාලකයින් දෙදනෙකුගේ ලේ උරුමක්කාරයින් පත්වීමත් සමගිනි. ඒ කුප්‍රකට මාර්කෝස් සහ බලය අතහැරි ජනපති ඩුටර්ටේ දෙපළගේ දරුවන්ය.

පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට පිලිපීනයේ හිටපු  කුප්‍රකට පාලක ෆර්ඩිනැන්ඩ් මාර්කෝස්ගේ පුත්‍රයා සමත්විය. ඔහු “බොන්ග් බොන්ග්” මාකෝස් ලෙස රටේ ප්‍රසිද්ධය.

ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයෙන් පැය කිහිපයකට පසු “බොන්ග් බොන්ග්”   ඔහුගේ ඒකාධිපති පියාගේ සොහොන වෙත ගිය බවට වූ ප්‍රවෘත්තිය සමාජ මාධ්‍යවල ඉහළ ප්‍රතිචාර මැද පළවිය. “බොන්ග් බොන්ග්* තම පියා &දේශපාලන දක්ෂයෙකු* ලෙස විස්තර කර ඇති අතර ඔහු බලයේ සිටි දශක ගණනාව සාමයේ සහ ආර්ථික සංවර්ධනයේ ස්වර්ණමය යුගයක් ලෙස විස්තර කර තිබේ. ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් 1989දී පිටුවහල්ව සිටියදී මියගිය නමුත්, ඔහුගේ දේහය 2016දී මැනිලාහි ජාතික විරුවන්ගේ සුසාන භූමියේ තැන්පත් කරන ලද්දේ රටේ මහජන විරෝධය මැදය. එවකට සිටි ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ ඔවුන්ව පූර්ණ හමුදා ගෞරව සහිතව භූමදාන කිරීමට නියෝග කළේය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 6ක් ඉදිරිපත්ව සිටි අතර එහිදී වැඩි තරගකාරීත්වයක් පැවතුනේ ‘බොන්ග් බොන්ග්’ මාකෝස් සහ එරට වත්මන් උප ජනාධිපති ලෙනී රොබ්‍රෙඩෝ අතරයි. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලයට අනුව “බොන්ග් බොන්ග්” මාර්කෝස් සියයට 55 යි දශම 8 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් පිලිපීනයේ බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇත. වත්මන් උප ජනාධිපති ලෙනී රොබ්‍රෙඩෝ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 28 කි.

“බොන්ග් බොන්ග්” මාර්කෝස් පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාර්කෝස්ගේ පුත්‍රයාය. මහජන මුදල් කොල්ල කෑ බවට චෝදනා එල්ල වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස් 1986 පැවැති ජන කැරුල්ලකින් අනතුරුව බලයෙන් පහ කෙරුණි. කෙසේ වෙතත් වසර 36කට පසු පිලිපීන ජනතාව විසින්ම යළිත් මාකෝස් පවුලේ සාමාජිකයෙකුටම එරට රාජය පාලනය නැවත භාරදී ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙති. නමුත් සමාජ ක්‍රියාකාරීන් සහ ආගමික නායකයින් බියවන්නේ හිටපු ජනපති  ඩුටර්ටේ විසින් ගෙන ගිය ලේ වැකි වසර හයක අත්තනෝමතික පාලනයෙන් පසු, “බොන්ග් බොන්ග්”ද මානව හිමිකම් තවදුරටත් පහත හෙළීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී බල තුලනය දුර්වල කිරීමට ඉඩ ඇති බවටය.

මේ අතර උප ජනාධිපති ධූරයට, තේරී පත්ව ඇත්තේ ඉවත්ව යන ජනපති ඩුටර්ටේගේ දියණිය වන සාරා ඩුටර්ටේය. ඇයද ජයග්‍රහණය කළේ විශාල ඡන්ද ප්‍රමාණයකිනි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00