අමෙරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ස්ටීවන් බ්‍රෙයර් විශ්‍රාම යාම පසුගිය සතියේ ජනාධිපති ජෝ බයිඩන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයකි. මේ විශ්‍රාම යාමත් සමඟ අමෙරිකාවේ අධිකරණ පද්ධතිය තුළ ඉතිහාස ගත වෙනසක් කිරීමට බයිඩන් අරමුණුකර සිටියි. ඒ කළු අමෙරිකානු කාන්තාවක් ඉතිහාසයේ මුල්වරට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් පුටුවට නම් කිරීමට අදහස් කිරීමෙනි.
විනිසුරු ස්ටීවන් බ්‍රෙයර් 1994 සිට උසාවියේ සේවය කර ඇති අතර ඩිමොක්රටික් ජනාධිපතිවරුන් විසින් පත්කරන ලද විනිසුරුවරුන් තිදෙනා අතරින් වඩාත්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයාය.
බයිඩන් සිය විප්ලවීය වෙනස ගැන ඉඟිකර තිබුණේ ඔහුගේ ඡන්ද සටන ඇරුඹූ සමයේදීමය. මේ නිසාම බ්රෙයර්ගේ විශ්‍රාම සැලසුම් ප්‍රසිද්ධ වීමට පෙර සිටම ඒ තනතුරුට සුදුසු තැනැත්තන්ගේ කෙටි ලැයිස්තුවක් වොෂින්ටනය පුරා සංසරණය වෙමින් පැවතුණි. ධවල මන්දිර උපදේශක කාර්යාලයේ නිලධාරීන් සුදුසු අපේක්ෂකයින් පිළිබඳ ලිපිගොනු ගොඩනඟන්නට කටයුතු කර තිබුණි. දැන් ජනාධිපතිවරයාට ඇත්තේ මුහුණට මුහුණ හමුවකින් වඩාත් සුදුස්සා ඒ අතරින් තෝරාගැනීමටය.
මේ තෝරා ගැනීමද බයිඩන්ට අභියෝගයක් වන්නේ කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පටු බහුතරයක් ඩිමොක්රටික් පාක්ෂිකයන්ට හිමිවීමත් සමඟය. මේ නිසාම බයිඩන්ට සෙනෙට් සභාවේ ඡන්ද 50ක් ආරක්ෂිතව ලබාගත හැකිවන පරිදි රිපබ්ලිකන්වරුන්ගේද සිත් දිනාගත් අයෙක් තෝරා ගැනීමට සිදුවනු ඇත. අමෙරිකාවේදී විනිසුරු පත්කිරීම ජනාධිපති සතු බලයක් වුවද එය ඒකාධිපති බලයක් නොවේ. සෙනෙට් සභිකයන්ට මේ තීන්දුවට බරපතළ බලපෑමක් කළ හැකිය. විනිසුරු නාමයෝජනාවක් සෙනේටයෙන් අනුමත වීමට මාස 3-4ක් ගතව යයි.
යම් හෙයකින් සෙනෙට් සභාව නාමයෝජනාවක් මත බෙදී ගියහොත් උප ජනාධිපති කමලා හැරිස්ට සමතාව බිඳීමේ තීරක ඡන්දය ලබාදිය හැකිය. අමෙරිකානු තට්ටු මාරු ක්‍රමය අනුව මේ වසර මැද නැවතත් සභාගර්භය රිපබ්ලිකන්වරුන්ට හිමිවන්නට නියමිත අතර ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට එන බයිඩන් නාමිකයෙකු අවහිර කරන බවට දැනටමත් සංඥා කර ඇත.
ජනාධිපති බයිඩන්ගේ තේරීම් අතර මුල්තැන ගෙන ඇත්තේ රටේ දෙවැනි බලවත්ම ෆෙඩරල් අධිකරණය ලෙස සැලකෙන කොලොම්බියා අභියාචනාධිකරණයේ විනිසුරු කෙතන්ජි බ්‍රවුන් ජැක්සන්ය. 51 හැවිරිදි ඇය වොෂිංටන් දිස්ත්‍රික් උසාවියේද සේවය කළ අතර හාවර්ඩ් සරසවියෙන් සහ හාවර්ඩ් නීති විද්‍යාලයෙන් උපාධි ලබා ඇත. ඇය සහකාර ෆෙඩරල් මහජන ආරක්ෂකයෙකු ලෙසද සේවය කළ අතර, සාමාන්‍ය අභිචෝදකවරයෙකුට එපිට ගිය අත්දැකීම් බහුල රැඩිකල් චරිතයකි.
දෙවැනි බලවත්ම නාමයෝජනාව වන්නේ නිතිපති සම්මාන පවා දිනු 45 හැවිරිදි ලියොන්ඩ්‍රා ක_ගර්ය. ඇය 2014 දී කැලිෆෝනියා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ ලාබාලතම පුද්ගලයා විය. ඔබාමා පරිපාලනයේ වැඩබලන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලෙස සේවය කර ඇති ක_ගර් ශ්‍රේෂ්ඨාධිකරණය සමීපව හුරුපුරුදුය. සොලිසිටර් ජනරාල් කාර්යාලයේ සිටියදී ඇය රජය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 12ක් තර්ක කළාය.
අනෙක් බලවත්ම තැනැත්තිය දකුණු කැරොලිනා එක්සත් ජනපද දිසා අධිකරණ විනිසුරු ජේ. මිෂෙල් චයිල්ඩ්ස්ය. 55 හැවිරිදි ඇය දකුණු කැරොලිනා ප්‍රාන්ත අධිකරණ නඩු විනිසුරුවරයෙකු ලෙසද, දකුණු කැරොලිනා කම්කරු, බලපත්‍ර සහ නියාමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස සහ දකුණු කැරොලිනා කම්කරු වන්දි කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙසද සේවය කළේය. මේ හැර තවත් නම් කිහිපයක්ම ඉදිරිපත්ව තිබේ.