ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ වඩාත්ම දර්ශනීය ස්ථානයක් වන ශ්‍රීනගර් නුවර සිට කිලෝමීටර් 50 ක් දුරින් පිහිටි පැහැල්ගම් ප්‍රදේශයේ මිටියාවතකදී පුද්ගලයන් 26 දෙනකු ඝාතනය කළ කුරිරු සටන්කාමී ප්‍රහාරය, කලාපයේ සාපේක්ෂ සන්සුන්භාවය බිඳ දමා, ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් භීතියේ මර්මස්ථානයක් බවට පත් කර ඇත.
මෙම කුරිරු ප්‍රහාරය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර නව ගැටුමක් පිළිබඳ බියක් ඇති කර තිබේ.
ගණ පයින් වනාන්තරවලින් පිටතට පැමිණි තුවක්කුකරුවන් විනෝද චාරිකාවේ සහ අශ්වයන් පිට නැගී ගමනට සැරසී සිටි පවුල්වලට වෙඩි තැබූ ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, “ඝෝෂාකාරී සහ පැහැදිලි ප්‍රතිචාරයක්” ලබා දෙන බවට කීවේය. ඒ අනුව එහි පළිගැනීමේ පළමු පියවර ලෙස, ඉන්දියාව පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, නාවික සහ ගුවන් උපදේශකයන් නෙරපා හැරීම සිදු කළ අතර, තීරණාත්මක දේශසීමා වෙළෙඳ ස්ථානයක් වසා දැමීම සහ පළමු වරට තීරණාත්මක ඉන්දු-ජල ගිවිසුම අත්හිටුවීම ද නිවේදනය කළේය. මෙම ගිවිසුම රටවල් දෙකෙහිම මිලියන ගණනකගේ ජීවිතවලට බලපාන ලොව විශාලතම ගංගා පද්ධතිවලින් එකක බෙදාගත් ජලය පාලනය කරන අතර, අසල්වැසියන් දෙදෙනා අතර විවෘත ගැටුම් ඇති අවස්ථාවන්හිදී පවා ඉන්දියාව මීට පෙර කිසි විටෙකත් මේ ගනුදෙනුව “අත්හිටුවා” නැත.
ප්‍රතිරෝධක පෙරමුණ ලෙස හැඳින්වෙන එතරම් ප්‍රසිද්ධ නැති සංවිධානයක් මේ ප්‍රහාරයේ වගකීම භාරගත් නමුත්, එම කණ්ඩායම ලෂ්කර්-ඊ-තායිබා ත්‍රස්තවාදී කණ්ඩායමේ හෝ පකිස්තානය පදනම් කරගත් වෙනත් කණ්ඩායමේ නියෝජිතයකු බව ඉන්දියාව විශ්වාස කරයි. පාකිස්තානය කැරලිකරුවන්ට සහාය දීම ප්‍රතික්ෂේප කරන නමුත් ස්වයං නිර්ණය සඳහා වන කාශ්මීර ඉල්ලීම්වලට සහාය දෙන බව පවසයි. මෙලෙස මෙම සංහාරය අසල්වැසියන් දෙදෙනා අතර පැවැති පැරැණි ආතති නැවත ඇතිකර ඇත. ඔවුන් මුස්ලිම් බහුතරයක් සිටින මේ මතභේදාත්මක භූමිය සම්බන්ධයෙන් යුද්ධ තුනක් කර ඇති අතර කිහිප වතාවක්ම දරුණු ගැටුම්වලට ආසන්න වී ඇත. 1989 දී ඉන්දියානු විරෝධී කැරැල්ලක් ආරම්භ වූ දා සිට, හින්දු බහුතරයක් සිටින ඉන්දියාව සහ ඉස්ලාමීය පාකිස්තානය යන දෙකම හිමිකම් කියන කාශ්මීරය සටන්කාමී ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත්ව ඇත. එතැන් සිට දහස් ගණනක් මිය ගොස් ඇතත්, මෑත වසරවලදී ප්‍රචණ්ඩත්වය අඩු වී තිබුණි.