2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ජර්මනියට අලුත් පාලකයෙක්!

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 107

වසර 16ක් පුරා ජර්මනිය පාලනය කළ ඇන්ජලා මර්කල් වෙනුවට ජර්මනියට නව චාන්සලර්වරයෙක් පත්ව ඇත. ඒ වසර 16ක්ම විපක්ෂයේ සිටි එරට වාමාශික පක්ෂයේ අපේක්ෂකයා වූ 63 හැවිරිදි ඕලාෆ් ශෝල්ට්ස්ය. යුරෝපයේ බලවත්ම ආර්ථිකයක් හිමි ජර්මනියේ චාන්සලර් ධුරය දැන් හිමිව ඇත්තේ ඔහුටය.

ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති  මෙරට ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත් විය.

ආසන 598කින් සමන්විත ජර්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නම් ආසන 300ක් ජයග්‍රහණය කළ යුතුව වේ. නමුත් මැතිවරණය ජයග්‍රහණය කළ මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිනාගත්තේ පාර්ලිමේන්තුවේ ආසන 206ක් පමණි. මේ නිසා ඔවුන් ඔවුන්ට හිතවාදී සෙසු පක්ෂ සමඟ එක් වී නව රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත්කර තිබේ. මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ ජර්මනියේ බලයට පත්වූයේ 2005 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.

චාන්සලර් ධුරය හෙබැවූ 67 හැවිරිදි ඇන්ජෙලා මර්කල් සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමඟ ජර්මන් ෆෙඩරල් මැතිවරණය ඉකුත් 26දා පවත්වන්නට යෙදිනි. 2005 වසරේ සිට ජර්මනියට ශක්තිමත් නායකත්වයක් දෙමින්, එරට ආර්ථිකය වර්ධනය කිරීමට ඇන්ජෙලා මර්කල් සහ ඇගේ ‘යූනියන්’ සන්ධානය සමත් වී තිබුණි. යුරෝපයේ ‘යකඩ ගැහැනිය’ යන නමින් ඇන්ජෙලා මර්කල් හැඳින්වෙන අතර, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇය මුළුමහත් ජර්මන් වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි.  
ඇන්ජලා මර්කල්, ජර්මනියේ නායකත්වයට පත්වූ පළමු කාන්තාවයි. ලොව බලවත්ම කාන්තාව ලෙස ෆෝබ්ස් සඟරාව නම් කළ ඇන්ජලා මර්කල්, ලෝක දේශපාලනය තුළ පෙරළිකාර චරිතයකි. කොරෝනා වසංගතය මැඬලීමට පෙරමුණ ගත් ලෝක නායකයින් අතර ඇගේ නම ලියැවී ඇත්තේ රටවැසියන් ආරක්ෂා කිරීමට අභියෝගාත්මක තීරණ ගත් නායිකාවක් ලෙසය. වසර 16 බලය හෙබැවූ ඇය මෙවරත් ජර්මනියේ පාලනය යළි සියතට ගැනීමට අවස්ථාව තිබියදීත්, තවත් අයෙකුට අවස්ථාවක් සලසමින් ධුරයෙන් නික්ම යාමට ගත් තීරණය, ලෝකයේම පැසසුමට ලක්විය. ඇන්ජෙලා මර්කල් නියෝජනය කරන්නේත් පසුගිය වසර ගණනාව පුරාවට ජර්මනියේ පාලක පක්ෂය ලෙස කටයුතු කළේත් ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයයි. ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’, ‘ක්‍රිස්ටියන් සෝෂල් යූනියන්’ පක්ෂය සමඟ සන්ධාන ගතවී සිටී. මෙම සන්ධානය පොදුවේ හැඳින්වෙන්නේ ‘යූනියන්’ යනුවෙනි.

ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාර්කය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් ‍පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සම්බර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 3,57,021 ක් (වර්ග සැතපුම් 1,37,847 ක්) පුරා පැතිර පවතී. මෙරට සමශීතෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මසදී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවැනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00