2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

සේද මාවතට එරෙහිව යුරෝපා මාවතක්!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 230

චීනයේ ආර්ථික බූවල්ලා ගෝලීයව පැතිර යමින් පවතින්නේ One Belt, One Road නමැති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක මුහුණුවරිණි. පසුගියදා පැවැති G7 කණ්ඩායමේ සමුළුවේදී අමෙරිකාව සහ යුරෝපය මෙයට එරෙහි ව්‍යාපෘති සඳහා මුල පිරුවේය. 

ඒ අනුව ඇමරිකාව චීනය පරදන තම ව්‍යාපෘතිය “build back better world” ලෙස නම්කර සමුළුවට ඉදිරිපත් කරනු ලැබුවේය. එහි ප්‍රථිපලයක් ලෙස යුරෝපා සංගමයද දෙසැම්බර් 1 වැනිදා තම ප්‍රථම චීන විරෝධී ආර්ථික ව්‍යාපෘතිය “GLOBAL GATEWAY” ලෙස හඳුන්වා දෙසැම්බර් 1 වැනිදා සමාජ ගතකරනු ලැබුවේය. යුරෝපා සංගමය සිය “GLOBAL GATEWAY” නව ව්‍යාපෘතියට ඩොලර් බිලියන 300ක මුදලක් ආයෝජනය කර ඇත. මේ ආකාරයටම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පසුගිය ජූනි මාසයේදී ඩොලර් බිලියන 1900ක් සම්මත කළ අතර ඉන් ඩොලර් බිලියන 200ක් චීනය සමඟ වෙළඳ තරඟය සඳහා වෙන්කර තිබේ.

ඒ අනුව යුරෝපා සංගමය විසින් වෙන්කරනු ලැබූ ඩොලර් බිලියන 300ක මුදල නැගෙනහිර යුරෝපා රටවල, බෝල්කන් රාජ්‍යයන්හි, අප්‍රිකාව හා දකුණු ඇමරිකානු රටවල ඩිජිටල් තාක්‍ෂණය, සෞඛ්‍යය, පරිසරය, බලශක්තිය, අධ්‍යාපනය හා ගමනාගමනය සංවර්ධනය සඳහා වියදම් කෙරෙනු ඇත. මෙම සමුළුවේදී වසරකට ඩොලර් බිලියන 100ක් අප්‍රිකාවේ, ආසියාවේ හා දකුණු ඇමරිකාවේ රටවල සංවර්ධනය සඳහා වෙන් කිරීමට තීරණය කෙරිණි.

2013 දී චීන ජනාධිපති ෂී ජින් පින් විසින් ආරම්හ කෙරුණු චීන සේද මාවතේ ව්‍යාපෘතිය තුළින් රටවල් 68ක් තුළ මාර්ග, පාලම්, වරායන් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ආරම්හයෙදීම තීරණය කරනු ලැබූවේය. මෙම වැඩසටහන ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 40% ආවරණය වෙන බව CNN ලෝක සේවයද වාර්තා කළේය. වර්තමානය වනවිට මෙම ව්‍යාපෘතියේ සමස්ත ප්‍රාග්ධනය ඩොලර් බිලියන 3000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රටවල් 100ක් චීනය සමඟ ආර්ථික සම්මුතීන් අත්සන් කරනු ලැබ ඇත.

ලෝක වෙළඳ සංගමයේ සාමාජික රටවල නිදහස් වෙළඳාම සඳහා ලබා දී ඇති පහසුකම් උපරිම ආකාරයෙන් භුක්ති විඳිමින් චීන නිෂ්පාදන ඉතා වේගයෙන් මෙම ව්‍යාපෘතිය මගින් ආනයනය කිරීමට මෙම One Belt, One Road වැඩසටහන මගින් චීනයට හැකියාව ලැබී ඇත. පසුගිය කාලයේ අප්‍රිකානු රාජ්‍යයන් වන ජිබුටි හා උගන්ඩාව තුළ මෙන්ම බටහිර හා නේටෝ සාමාජික රටක් වන ඔස්ට්‍රේලියාව තුළ පවා සිදුකළ චීනයේ මෙම ආර්ථික ව්‍යාප්තවාදය හේතුවෙන් එම රටවල ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවට චීනයට චෝදනා එල්ල වෙමින් පවතී.

මෙම තත්ත්වය තවත් උග්‍ර වනුයේ ට්‍රම්ප් පාලනය විසින් ආරම්භ කරනු ලැබූ ආර්ථික ආරක්‍ෂණවාදී ක්‍රමවේදයන් හේතුවෙන් වන අතර එහිදී නේටෝ සාමාජිකයින් පවා දැඩි ව්‍යාකුල තත්වයකට පත්කරනු ලැබීය. බයිඩන් බලයට පත්වූ වහාම ඇමරිකාව හා යුරෝපා සංගමය රුස්වී ඉතා වේගයෙන් චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව පියවර රාශියක් ගැනීමට තීරණය කරනු ලැබ ඇත.