2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍යයේ මන්ත්‍රී ඝාතනය!

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 39

බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වූ ශ්‍රීමත් ඩේවිඩ් ආමස්, සිය ඡන්දදායකයන් හමුවීමට නැගෙනහිර ලන්ඩනයට ගොස් සිටින අවස්ථාවේදී පිහිඇනුම් ප්‍රහාරයකට ලක්ව   ඝාතනයට ලක් විය.

පොලිසිය මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුද මෙම රැස්වීමට සහභාගි වූ අයෙකු බව සඳහන්ය. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඝාතකයා අවස්ථා ගණනාවක් ඔහුට පිහි ප්‍රහාර එල්ල කළ බවයි. එම අවස්ථාවේදීම හදිසි ගිලන් රථ සේවා අපරාධය සිදුවූ ස්ථානය වෙත කැඳවා ඇති නමුත්, ශ්‍රීමත් ඩේවිඩ් ආමස්ගේ දිවි බේරාගත නොහැකි විය. මෙය ‘ත්‍රස්තවාදී සිදුවීමක්‘ බව බ්‍රිතාන්‍ය පොලිසිය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. සැකකරු ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ අයෙකු බව ඔවුන්ගේ මතයයි.

69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් ආමස්, අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඝාතනය පිළිබඳ පුවත පළවූ වහා, බටහිර ලන්ඩනයේ සිටි බොරිස් ජොන්සන් වහාම සිය සියලු කටයුතු නවතා දමා කම්පනයෙන් සහ කණගාටුවෙන් යුතුව ආපසු පැමිණ තිබේ. ශ්‍රීමත් ඩේවිඩ් ආමස්ගේ වෙබ් අඩවියේ ඔහුගේ ප්‍රමුඛතාවන් ලෙස සඳහන් වන්නේ ‘සත්ව සුබසාධනය සහ ජීවිත ගැටලුය. ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු විය. අවසාන වශයෙන් පසුගිය මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් ‘හවුස් ඔෆ් කොමන්ස්' හිදී ඔහුගේ හඬ අවදි වූයේ සත්ව සුබසාධනය පිළිබඳ විවාදයක් ඉල්ලා සිටීම සඳහාය.

බ්‍රිතාන්‍ය දේශපාලකයන් මෙම ඝාතනය, බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හඳුන්වති. ගතවූ පස් වසර තුළ මෙවැනි ප්‍රහාරයකට ලක්වූ දෙවැනි බ්‍රිතාන්‍ය දේශපාලනඥයා ඔහුය. 2010 වසරේදී ලේබර් පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ටිම්ස්ද මෙවැනිම පිහි ඇනුම් ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි විය. මේ අතර, 2016 වසරේදී ලේබර් පක්ෂයේ ජේ. කොක්ස් තරුණ මන්ත්‍රීවරිය බ්‍රෙක්සිට් ජනමත විචාරණයට ඔන්න මෙන්න කියා තිබියදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
මේ සිදුවීමත් සමඟ සිය ඡන්ද බල කොට්ඨාසයන් තුළදී දේශපාලකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතළ සංවාදයක් මතුවෙමින් ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00