2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

ඉන්දියාව හා ඇමරිකාව චීනයට එරෙහිව බලමුළු තරකරයි

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 45

මෙතෙක් උඩින් මිතුරු යටින් හතුරු ප්‍රතිපත්තියක සිටි අමෙරිකාව දැන් එළිපිටම චීනයට එරෙහිව ලොව පුරා බලමුළු තරකරමින් සිටියි. එහි ආසන්නම සංධාන ගතවීම සිදුවූයේ ඉන්දියාව මුල්කර ගනිමිනි.

ඉන්දියාව හා ඇමරිකාව ඉකුත් සැප්තැම්බර් 24දා ජපානය ඕස්ට්‍රේලියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමග එක්වී (QUAD) නමැති නව චතුර් පාර්ශ්වික ගිවිසුමක්   අත්සන් කරනු ලැබුණි. මෙම ගිවිසුම මගින් ප්‍රජාතන්ත්‍රවාදය හා සාමාජික රටවල භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට එකඟතාවයට පැමිණි ඇති බව වාර්තා වුවත් එහි සමස්ත සංයුතිය කලාපයේ චීන ව්‍යාප්තවාදය අවම කිරීමට ඉලක්ක කර ඇත.

ඇෆ්ගනිස්ථානය පකිස්ථාන සහය ලබන තලිබාන් මුලධර්මවාදීන් අතට පත්වීමත් සමග ඉන්දියාව තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලබලයට පත් වීමත්, ඉරානය චීන රුසියානු (OCS) ආරක්ෂක සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම හා ඇෆ්ගනිස්ථානයේදී අත්කරගත් පරාජයත් හේතුවෙන් කලාපයේ ඇමරිකා බලය හීන වීමත් මත මෙම ගිවිසුම දෙරටේම අනිවාර්ය සම්මුතියක් බවට පත්වී ඇත.

කෙසේවෙතත් අත්සන් කරනු ලැබූ මෙම ගිවිසුමේ සංයුතිය සලකා බැලීමේදී එය කලාපයේ චීන බලපෑමට පිළිබඳ සැලකිල්ලට ගනිමින් අත්සන් කරන ලද සම්මුතියක් බව පැහැදිලි වේ. සාමාජික රටවල නීතිය හා සාමය රැකීම, නිදහස් නාවික හා ගුවන් සංක්‍රමණ පහසු කිරීම, කලාපයේ සාමය, ආරක්ෂාව හා ජාත්‍යන්තර නීතිය මත ගැටුම් සමථයට පත්කරගැනීම, ස්වෛරිභාවය යන මිලිටරි කරුණු මෙහිදී වඩාත් සැලකිල්ලට ගෙන ඇත.එසේම එහි පොදු නාමය ලෙස QUAD (Quadrilateral Security Dialogue) ලෙස නම් කිරීම මගින්ද මෙය දකුණු ආසියාවේ හා පැසිෆික් කලාපයේ මිලිටරිකරණය කිරීමේ උත්සාහය තවදුරටත් සනාථ කර ඇත.

සම්මුතිය අත්සන් කිරීමට ප්‍රථමව සාමාජික රටවල් චීනයේ කාර්මික හා වෙළඳ ආක්‍රමණයට එරෙහිවද ගතයුතු පියවර සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මේ අතර ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සඳහා යයි පවසමින් නව න්‍යෂ්ටික අවි ගිවිසුමක් (AUKUS) අත්සන් කරනු ලැබීය. මෙම සම්මුතියට එක්වීම ප්‍රංශය, කැනඩාව, නවසීලන්තය හා ඉන්දියාව ප්‍රතික්‍ෂේප කර තිබිණි. පසුගිය සතියේ ඇමරිකාව විසින් හොර රහසේ ඕස්ට්‍රේලියාවට සබ්මැරීන විකිණීම නිසා විරසකව සිටින ප්‍රංශය තම සබ්මැරීන ඉන්දියාවට විකිණීමට මේ අතර උත්සහ කරමින් සිටි. දකුණු ආසියාව හා පැසිෆික් කලාපය මිලිටරිකරණය උත්සන්න කිරීමේ ඇමරිකාවේ මෙම හදිසි මෙහෙයුම් මගින් උත්සහ කරනුයේ චීන හා රුසියානු ආර්ථික-මිලිටරි බලපෑම් අවම කිරීමටය.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00