2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

අධික බඩගින්නත් ලෙඩක්!

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2104

කාලා අතගන්නටත් පෙර නිතර නිතර බඩගිනි එනවා නම් ඒ ගැන ඔබ විමසිලිමත් විය යුතුයි. එයින් පෙන්වා දෙන්නේ ඔබේ ශාරීරික සුවතාවයේ අවුලක් ඇතිවී තිබෙන බවයි.

අපට කුසගින්න හෙවත් බඩ පිරී නැති බව නැතහොත් හොඳින් බඩ පිරී තිබෙන නිසා දැන් ඉතින් කෑවා ඇති කියා දන්වන්නේ මොලයේ හයිපාතැලමස් ප්‍රදේශයට ස්‍රාවයවන හෝර්මෝන මගිනි. මේ හෝර්මෝන ස්‍රාවය නිසි ලෙස උත්තේජනය නොවන විට අධික කුසගින්න දැනීමට එය හේතුවකි. ශරීරගත රෝගී තත්ත්වයක්, වැරදි ආහාර පුරුදු, වැරදි චර්යා මෙන්ම මානසික බලපෑම්ද මේ සඳහා හේතුවිය හැකි බව වෛද්‍ය මතයයි.

ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්තිය, ජලය විටමින, ලවණ, ඇතුළු පෝෂණ ද්‍රව්‍ය අඩුවූවිට අපට කුසගිනි ඇතිවෙයි. නමුත් කාපු ගමන්ම නැවත කුසගිනි ඇතිවෙනවානම් ඒ සඳහා වෙනත් බරපතළ කායික හෝ මානසික හේතුවක් මුල්විය හැකියි. මේ සඳහා මුල්විය හැකි බරපතළ රෝගාබාධයන් ලෙස පෙන්විය හැක්කේ දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වයයි. 

දියවැඩියාව සහ තයිරොක්සින්

ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියාකාරී නොවනවිට හටගන්නා දියවැඩියා තත්ත්වය මගින් අධික කුසගින්නක් ඇති කරයි. මේ නිසා මූලිකව රුධිර සීනි පරීක්ෂණයක් සඳහා වෛද්‍ය උපදෙස් මත යොමු වීම යෙහෙකි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ නිපදවෙන තයිරොක්සින්වල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්ද අධික කුසගින්න ඇතිවිය හැකිය. මේ සඳහාද වෛද්‍ය පරික්ෂාවක් කළ යුතුය.

කාන්තාවන්ගේ ගැටලු

පූර්ව මාස්ශුද්ධිය කාලයේ ඇතිවන සංකූලතා හේතුවෙන්ද අධික කුසගිනි ඇතිවන අතරම ගැබ් ගැනීම් මුල් කාලයේදී ද අධික කුසගින්නක් කාන්තාවන්ට ඇතිවෙයි.

බඩවැලේ රෝග

බඩවැලේ පරපෝෂිත ආසාදන නිසාද අධික කුසගිනි ඇතිවිය හැකිය. නිදර්ශනයක් ලෙස පටි පණුවන් වැනි පණු රෝග වැළඳුණුවිට අවශ්‍ය නිසි පෝෂණය ශරීරයට නොලැබේ. එවිට වැඩි වැඩියෙන් ආහාර ගැනීම සඳහා පෙළඹවීමක් මතුවෙයි.

ආහාර පුරුදු

මෙයට අමතරව ආහාර ගොඩ ගොඩවල්  ගන්නට පුරුදු වීමත්, කඩිමුඩියේ ආහාර ගැනීමත්, පිටි සහිත ආහාර වැඩියෙන් ගන්නා අතර, එලවළු පලතුරු අඩුවෙන් ආහාරයට ගැනීමත්, චුවින්ගම් හැපීම මෙන්ම නිතර නිතර පැණි රස ආහාර ගැනීමත් කුසගිනි පිළිබඳ වැරදි සංවේදනයක් ලබාදෙන හේතූන්ය.

විජලනය

ශරීරයට අවශ්‍ය තරමට ජලය ලැබී නැතිවිට ලැබෙන සංඥාව දැනෙන්නේ කුසගින්නක් ලෙසටය. බොහෝවිට හදිසි කුසගිනි දැනෙනවිට එයින් හැඟෙන්නේ ශරීරයට ජලය ඕනෑ බවයි.

වැඩි ව්‍යායාම සහ කායික වෙහෙස

අධික ලෙස ව්‍යයාමවල සහ කායික වෙහෙසීම්වල යෙදෙන අයගේ ආහාර නිසි පෝෂණ මට්ටමකින් පාලනය නොකළවිට නිතර නිතර කුසගිනි ඇතිවිය හැකියි. ව්‍යයාම ගන්නා ප්‍රමාණය අනුව පෝෂණ රටාව ද සකසා ගැනීම සුදුසුය. දිගටම අධික ව්‍යායාමවල යෙදී හදිසියේ නැවැත්වූ විට ද අධික ශක්තිය ලබා ගැනීමට පුරුදු සිටි ශරීරය කුසගිනි බවට සංඥා නිකුත් කරයි.

ආහාර දිරවීමේ වේගය

ඉතාමත් සුළු සංඛ්‍යාවක් වූ පිරිසකගේ ආහාර දිරවීමේ වෙනස්කම් දැකිය හැකිය. සමහර අයගේ ඉක්මනින් ආහාර දිරවන අතර එබඳු අයට නිතර නිතර කුසගින්න ද ඇතිවෙයි.

පුටු රත් කරන්නෝ

එක තැනක වාඩි වී දවසේ වැඩි වේලාවක් සිටීමද කුසගිනි ඇති බවට සංඥාවක් ලබාදෙන චර්යාවකි. මේ නිසා බහුලව ආහාර ගන්නට පෙළඹෙන අතර ප්‍රතිඵලය වන්නේ තරබාරුවයි නැත්නම් දියවැඩියාවයි. සෑම මිනිත්තු 30කට වරක් නැගිට රවුමක් ඇවිද යාම වැනි ඉරියව් වෙනසකට හුරු වීමත්, නිතිපතා ව්‍යායාම ගැනීමත් කළ යුතුය.

මත්පැන් සහ සමහර ඖෂධ

මත්පැන් පානය කළ විටත්, සමහර ඖෂධ වර්ග භාවිත කරනවිටත් කුසගින්න වැඩි විය හැකියි.

ප්‍රෝටීන් හිඟය

දිනපතා නිර්මාංශ ආහාර ලබාගන්නා අයගේ ප්‍රෝටීන අවශ්‍යතාව ශරීරයට නිසි පරිදි නැති නිසා එය සම්පූර්ණ කරගැනීමට නිතර නිතර බඩගිනි ඇතිවෙයි.

විටමින් K එළවළු සහ කෙඳිති

අඩුවෙන් එළවළු ආහාරයට ගැනීම නිසා ශරීරයට ලැබෙන විටමින් K ප්‍රමාණය අඩුවිය හැකියි. විටමින් K හිඟය ඉන්සියුලින් මට්ටම කෙරේ බලපාන්නකි. එය දියවැඩියා රෝගයට මුලකි. එළවළුවල අඩංගු ආහාර දිරවීමට ආධාර කරන සහ කුස පිරුණු ස්වභාවය ඇති කරන කෙඳිති බහුල නොවූ විට ද නිතරම කුස පිරී නැති ස්වභාවයක් දැනේ. ආහාරයට එළවළු වැඩියෙන් එක්කර ගැනීමට හුරු වියයුතුයි.

ආහාර වේල් මඟහැරීම

මහත අඩුකර ගැනීමටත්, ඇඟ හැඩකරගැනීමටත් නැතිනම් කාර්යබහුල නිසාත් ආහාර වේල් මඟ හැරීම මගින් සිදුවන්නේ ද අවශ්‍ය අවම පෝෂණය ද නොලැබීමයි. එහි ප්‍රතිඵලය අධික කුසගින්නයි.

නින්ද සහ ආතතිය

අධික මානසික ආතතියත්, නිසි නින්දක් නොලැබීමත් යන කරුණු දෙකත් කුසගින්න වැඩි කරන හෝර්මෝන අසමතුලිතතා සඳහා හේතුවන කාරණාවන්ය. පැය 8කට ආසන්න නින්දක් ලැබීමත් සිත නිරවුල්ව තබා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණකි.

 සුගත්

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00