2018 ජුනි 16 වන සෙනසුරාදා

මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණු

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23534

වයස් බේදයක් නැතිව ලොකු කුඩා බාල මහළු බෙනවාකාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් මුත්‍රා වාහිනි පද්ධතිය ආශ්‍රිත රෝගවලට හිමිවේ. ඔබ නොදන්නවාට මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ගණනාවකි. මේ විවිධ රෝග විවිධ වූ ආකාරයට අමුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඒවා පිළිකා බඳු අසාධ්‍ය තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ද විය හැකියි. පුංචි පහේ අමුතු ලකුණක් පහළ වූ වහාම අත්බේත් කරමින් කල් නොමරා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමය. 

බොහෝ විට නීරෝගි පුද්ගලයකුට දිනකට පැය 4 -5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනේ. එය ලෙඩක් නොවේ. එවිට සාමාන්‍යයෙන් මුත්‍රා එක දිගට විදීමක් හෝ ගලා යාමක් සිදුවිය යුතුය. එසේ නොවන්නේ නම් එය මුත්‍රා ආශ්‍රිත රෝගයක් පිළිබඳ අමුතු ලකුණකි.  

මූලික පොදු  රෝග ලක්ෂණය

මෙම රෝග ගැන අනතුරු අඟවන ප්‍රධානතම පොදු  ලක්ෂණය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. ඇතැම් විට මුත්‍රා පිට කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම්විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරීම ඇරඹේ. සාමාන්‍යයෙන් අවු. 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැක. ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව මේ තත්ත්වය ව්‍යාකූල විය හැක. 

මුත්‍රා කඩින්කඩ පිටවීම

සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 - 40ක කාලයක් තුළදී එකදිගට පිටවී අවසාන විය යුතුය. නමුත්  ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර 30 - 40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් තටමමින්  මුත්‍රා පිටකළ යුතුවෙයි. එය අනතුරු ඇඟවීමකි. 

ගිනි වතුර මෙන් දැවිල්ල සහිතව

තවත් අමුතු රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයි. මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක් පිළිබඳ ඉඟියකි. 

ඉබේ පිටවීම

මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ පිටකිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවා ගෙන කිසියම් වේලාවක් දරාගෙන සිටීමේ හැකියාව ලබා දී ඇත. සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිලි ලීටර 400ක් පමණ මුත්‍රා එකතු විය හැකිය. නිරෝගි  අයකුට  මේ බර යම් කාලයක් දරා සිටින්නට හැකිය. නමුත් යම් යම් රෝගවලදී එම දරා ගැනීමේ ශක්තිය නොමැතිව පාලනයක් නැතිව මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇත. මේනම් වහා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. 

මුත්‍රා සමඟ රුධිරය පිටවීම

මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝගයක් ගැන අනතුරු  ඇඟවීමකි. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රැධිරය පිටවීම පිළිකාවක් ගැන තදබල අනතුරු ඇඟවීමකි.  

කුඩා දරුවන්ගේ අසාමාන්‍යතා

කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් විය හැකිය. දරුවන්ට ද තටමමින් මුත්‍රා පිට කිරීම සිදු වේ. මෙවැනි රෝග තත්ත්වවලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යය. එසේ නොවන්නට අනාගතයේදී වකුගඩු අකර්මන්‍ය වීමට පවා ඉඩ ඇත. 

සමාජ රෝග

අවුරුදු 20 - 25 අතර තරැණ වයසේ අයගේ මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වනවා නම් ඇතැම්විට එය ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂණයක් විය හැක. 

බයිසිකල් පැදීමේදී

බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇත. මේ තැලීම් කාලයක් ගිය පසු යම් යම් අර්බුද ලෙස මතු වී මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගැටලු ඇතිවිය හැක. 

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු

වයසත් සමඟ පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතුවෙයි. මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ එහිදී මතු කරවයි. නිසිකලට පිළියම් නොකළොත්  ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැක. 

කාන්තාවන්ට මුත්‍රා රෝග

ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ සිරුරේ හෝර්මෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්විය හැකි නිසාය. ඇතැම්විට රැධිරය පවා පිටවිය හැකි අතර එය සමහර විට පිළිකාවක ලක්ෂණයක් ද විය හැකිය.

මුත්‍රා අඩස්සිය

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයි. මුත්‍රා කැඩි කැඩී පිටවීම, සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේ.

දියවැඩියාව

රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය බොහෝ දුරට දියවැඩියා රෝග ලක්ෂණයකි. 

මේ ආකාරයට මුත්‍රා ආශ්‍රිත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයකු මුණ ගැසීම අත්‍යවශ්‍යය.

එසේ නොවන්නට අනාගතයේදී මුත්‍රා ආශ්‍රිත ගැටලු සමූහයකට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. පසුකාලීනව වකුගඩු බද්ධයක් දක්වා තරම් රෝගය දරුණු විය හැක. 

 සුගත් 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00