2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ඉක්මන් කෝපය දරුණු අසනීපයක්

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1380

ජීවිතය සුන්දර නෑ. ජීවිතය කිසිවකුට රෝස මල් යහනාවක් වෙන්නෙත් නැත. අපි බලාපොරොත්තු වන සියලු දේ අපට ලැබෙන්නේත් නැත. දුක, සැප, සොම්නස, දොම්නස ඇතුළු මේ සියලු හැඟීම්වලින් ජීවිතය පිරිලයි තියෙන්නෙ. කිසිවෙකුටත් මේ අත්දැකීම්වලින් පලා යන්න බැහැ. ඒවාට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක තමයි යථාර්ථය. අපිට අවශ්‍ය වෙන්නෙ මේ යථාර්ථයට මුහුණ දෙන්න නිසි ලෙස පුවුණු වුණ ශක්තිමත් පෞරුෂයක්. මේ පෞරුෂය ඔබට ගොඩනඟාගන්න පුළුවන් ළමා කාලයේදී පමණයි. ගෙදර පරිසරය පාසල ඔබ ජීවත් වන සමාජය මේ සඳහා විශාල බලපෑමක් ඇති කරනවා.

නුවන් අපට හමුවුණ වියරු වැටුන මිනිසෙක්. ඔහු සායනයට පැමිණියේ ඔහුගේ බිරිඳත් සමඟයි. බිරිඳගේ දකුණු අතට දමන ලද ප්ලාස්ටරය පෙන්නුම් කළේ අතේ යම් අස්ථි බිඳීමක් සිදුවී ඇති බවයි. නුවන්ගෙන් ඇසූ පළවෙනිම ප්‍රශ්නය. 

“මොකද මේ නෝනගෙ අත කැඩුණෙ.”

“තරහ ගිහිල්ලා මම ගැහුව්වා.” නුවන් මෙහෙම කියන විට ඔහුගේ මුහුණ දැඩි ලජ්ජාව සහ දුක මිශ්‍ර වුණ ස්භාවයක් පෙන්නුම් කරා. නුවන් ඔහුගෙ කතාව මෙහෙම පටන් ගත්තා.

“මම හොඳට ඉගෙන ගත්තා. මට පරිගණක පිළිබඳ උපාධියකුත් තියනවා. මම හොඳ රස්සාවකුත් කරනවා. ආර්ථික වශයෙන් මම කිසිම අපහසුතාවක් නැහැ. ඒත් මම සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. මගේ මුළු ජීවිතයම කඩා වැටිලා. මට තියන එකම ගැටලුව පාලනය කර ගත නොහැකි ක්ෂණික කෝපය. මේ කෝපය හරිම භයානකයි. මට තරහා එන්නේ හිතලා, Plan කරලා නෙවෙයි එක පාරටම. ඒ වෙලාවට මොනා වෙයිද මොනව කිරයි ද කියලා හිතාගන්න බැහැ. මේ හැසිරීම නිසා මම Wifeට ගහපු වාර ගාන අනන්තයි. Phone 5ක් පමණ පොළවේ ගහලා තියනවා. දවසක් Office එකේ යාළුවෙකුටත් මම ගැහැව්වා. තව පොඩ්ඩෙන් රස්සාවත් නැති වෙලා යනවා. මගෙ දරුවගෙ වයස අවුරුදු 4යි. ඔහු මේ හැම දේම දකිනවා. දරුවා මගේ ළඟට එන්නත් බයයි. මගේ ගෙදර පරිසරය දරුවගෙ අනාගතයට කෙසේ බලපාවිද කියලා හිතා ගන්නත් බැහැ.”

අපි නුවන්ගේ ළමා කාලය ගැන විමසුවා.

“මගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහු මත් පැනට ගොදුරු වුණු කෙනෙක්. සතියකට දවස් දෙක තුනකට වඩා ඔහු හොඳටම බොනවා. බීවට පස්සේ ඔහුගෙ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතා කුඩා දේටත් තරහ යනවා. බොහෝ විට අපේ අම්මාට ගහනවා. මගෙ පුංචි කාලේ ගෙවුණේ මෙහෙම අසුන්දර පරිසරයක. සතුටට වඩා මට දැනුනේ දුක සහ  බය. හවසට තාත්තා ගෙදර එනවිටත් මට දැනෙන්නේ පුදුම බයක්. මේ දුක සහ බය සමඟ මම අසාමාන්‍ය ලෙස තරහ යන ලජ්ජාශීලී පුද්ගලයෙක් බවට පත් වුණා. අද මම මේ විඳවන්නනේ ඒ අත්දැකීම් ද කියලත් මට හිතෙනවා.”

මනෝ වෛද්‍ය විද්‍යාව අනුව නුවන්ගේ ජීවිතය අධ්‍යනය කිරීමේදී ඔහු විශේෂ මානසික රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බව පේනවා. මෙම රෝගී තත්ත්වයේ ප්‍රධානම ලක්ෂණයනම් “ක්ෂණික ඇතිවන අසාමාන්‍ය කෝපයයි. Intermittent Explosive Behevior” මෙය සැලසුම් සහගතව සිදු නොවේ. මෙය බොහෝ විට කෝප වීමට තරම් නොවන ඉතාම කුඩා සිද්ධියක් අරබයා සිදුවේ. පාලනය කරගත නොහැකි මෙම කෝපය විනාඩි 10ක් 15ක් වැනි කාලයකට පසු ඉබේම නැති වී යයි. සිදුවිය හැකි හානිය අති විශාලය.

දික්කසාද වීම, රැකියා අහිමි වීම, සමාජයෙන් කොන්වීම, දරුණු ලෙස තුවාල වීම් සහ තම දරුවන් නොයෙකුත් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම්.

විද්‍යාත්මක සමීක්ෂණවලින් මීට හේතු රාශියක් පෙන්වා දී ඇත.

• මවුපියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා දරුවන් මානසික අපයෝජණයට ගොදුරු වීම. මෙහිදී නුවන්ගේ පියාගේ හැසිරීම සමඟ නුවන්ට ඇතිවන බලපෑම පැහැදිලිය.

• “සෙරොටනීන්” යනු මොළයේ සතුට ගෙනදෙන රසායන ද්‍රව්‍යයි. මෙය හැඟීම් පාලනයට ඉතාම වැදගත් රසායන ද්‍රව්‍යකි. මෙම රසායන ද්‍රව්‍යයේ වෙනස් වීම් ප්‍රචණ්ඩ හැසිරීමට බලපාන බවද සමීක්ෂණවලින් පෙනී යයි.

• මොළයේ ඉදිරි කොටසේ ග්ලූකෝස් ප්‍රමාණයේ ඇති වන වෙනස් වීම්ද මෙම හැසිරීමට බලපාන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත.

• සමහර වර්ණ දේහවල ඇතිවන විකෘතීන් ද ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට හේතුවන බව තහවුරු වී ඇත.

මෙම අසාමාන්‍ය කෝපයට සාර්ථක ප්‍රතිකාර ඇත. එනම් ඖෂධ ප්‍රතිකාර සහ උපදේශනයයි. ප්‍රතිකාරවලට යොමුවූ නුවන් මේ වනවිට ඔහුගේ තරහ පාලනය කරගත හැකි මට්ටමකට පැමිණ ඇත.

දරුවකු නිසි ලෙස බලාගැනීමට දෙමාපියන් පුහුණු කිරීමෙන් මෙවැනි හැසිරීම් රටාවන් අවම කරගත හැකියි. ගෘහ ප්‍රචණ්ඩත්වය, වාර්තා වන පරිදි අපේ රටේ පවුල් 100කින් 65ක් ම ගොදුරුවන තත්ත්වයකි. මත්පැන් ආශ්‍රිත ප්‍රචණ්ඩකාරී පරිසරයක් ද රට තුළ කිසිම අඩුවක් නැත. මෙවැනි තත්ත්වයන් අවම කිරීමට ගම් මට්ටමේ මනෝ විද්‍යාත්මක වැඩසටහන් ප්‍රජාව තුළට ගෙනඒම රජයේ යුතුකමයි. 

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක