අප කතාන්දරය පාදක වන බටහිර වෙරළකරයේ මේ ගම්මානයේ පිහිටීම මනස්කාන්තය. වෙරළ මායිමේ වූ ගමේ අනෙක්පස මායිම වූයේ ආරණ්‍යගල අසලින් සයුරට වැටෙන කුඩා ගංඟාවයි. ගාලුපාර වැටී තිබුණේ ගංඟා මායිමට ආසන්නයෙන් ගම්මානය හරහාය. ගම්මානයේ කෙළවර වූ මේ කුඩා ගංඟාව ද ගම හැමතැන තිබූ ඇළදොළවල් ද ගම්මානයේ බවලතුන්ගේ අතමිට සරුකරන ජීවන උපායක් නිර්මාණය කර තිබුණේය. ඒ කොහු කර්මාන්ත වෙනුවෙනි.
ඉදින් අතීතයේ බවලතුන් ලෙලි තලා ලණු අඹරා යමක් කමක් උපයාගෙන ජීවත් වීමේ ඉතිහාසය මෙසේ දිහහරිමු. එය කොතෙක් ඈතට දිවයන්නේදැයි සිතාගැනීම අපහසුය. ගම්මානය ජනාවාස වූ කාලයේ පටන්ම මේ කර්මාන්ත මෙහි වන්නට ඇති බව සිතිය හැක. මන්ද ඊට අවැසි පරිසර මෙම පෙදෙසේ දුර අතීතයේ පටන්ම තිබී ඇත. කෙසේ නමුත් එකදහස් නමසීය හතළිස් ගණන් පනස් ගණන්වල මෙන්ම හැට ගණන්වල ද කර්මාන්ත පිළිබඳ මතක ගමේ පැරුන්නන් සතුය. එහෙත් අද වනවිට නම් කොහු කර්මාන්ත ගම්මානයෙන් වියැකී ගොසිනි. දිවිගමනේ දශක අටක මතක සපිරි අත්තම්මා කෙනෙකුගේ මතක අතරින් අපි ඒ අතීතයට පිවිසියෙමු.
ගාලුපාරට සමාන්තරව ගංඟාව ගලා ගියද ගඟත් ගාලුපාරත් අතර යම් දුර පරතරයක් වූයෙන් අද මෙන්ම ඒ දවස ද මේ ගංගාව ගාලුපාරේ ගමන් කරන්නන් හට නිසි ලෙස දිස් නොවීය. අලුත්ගම කන්දේ විහාරයට හැරන හංදිය අසල කළුවාමෝදර පාලම තනා ඇත්තේ මේ ගග හරහාය. මොරගල්ල ගම්මානයේ ගං ඉවුර සමීපයේ ගගේ එක් එක් කොටස් ගම්මු සිය අයිතිය නතු කරගෙන සිටියෝය. ඉනි ගසා පොල් අතු ආදිය ද හරහා ගසා මෙම කොටු සාදාගෙන තිබුණි. මේ සියල්ල සැකසුණේ පොල් ලෙලි පල්කිරීම වෙනුවෙනි. කොහු කර්මාන්තයේ පළමු ප්‍රයනත්මය ලෙලි පල් කිරීමයි.
ගම්මානයේ තවත් විවිධ තැන්හී පිහිටි ඇළ තොටවල්වල ලෙලිවළවල් සකසා තිබුණි. ඇතැම් ඉඩම්වල ද වළවල් කපා තිබුණේ මේ වෙනුවෙන්මය. එක්දහස් නවසීය හැට ගණන් වනවිට ගමේ සිය ගණනින් ලෙලිවළ වල් තිබී ඇත. අද ද ඇතැම් තැනක එහි සළකුණු ශේෂව තිබෙන අයුරු දක්නට ලැබේ. පල්කිරීම සඳහා ලෙලි රැගෙන ආවේ බෙන්තොට පිගිටි මෝල්වලින්ය. කරත්තවලට පොල් ලෙලි දසදහස් ගණනින් පටවා මෙසේ රැගෙන එනුලැබීය. කොහු කර්මාන්ත වෙනුවෙන් භාවිතයට ගන්නේ අමු පොල් ලෙලිය. වියළි පොල් පොල් ලෙලි ලිප ගිනි දැල්වීම වෙනුවෙනි. ලෙලි රැගෙන ආ පිරිස් ගඟේ කොටුකර තිබූ තම තමන්ගේ වළවල්වල එම අමු පොල් ලෙලි පල්වීම පිණිස දැමූහ.
ගඟ ඉවුරේ මෙකල ජනාවාස නොවීය. අතරින්පතර පොල් ගස් වූයේ කඩොලාන ගස්වලින් ඉවුරු දෑල පිරී හැඩවිය. මාද දං, බලු දං, ඉදි දං මෙන්ම කිරළ ගස් ද ඉවුරේ තැන තැන වැවී තිබුණි. අතරින්පතර පොල් ගස් ද විය. අද ද ගම්මානයට චමත්කාරයක් එක්කරන මේ ගං ඉවුර එදවස ස්වාභාවය සෞන්දර්යෙන් විස්මිත නිර්මාණය වූයේය. බෙන්තොට මෝල්වලින් ගෙනා ලෙලි දමා වෙන්කර තිබූ කොටු ගං දෑල දිගේ ඇවරිවත්ත සිට ආරණ්‍ය සේනාසනය දක්වා විශාල වශයෙන් පිහිටා තිබුණි. ඇතැමුන්ට වළවල් කිහිපයක්ම හිමි විය. එහෙත් ගඟේ ඉඩ ගැන කා අතරත් ගැටලුවක් නොවීය. කා අතරත් සුහද සහයෝගයෙන් වැඩකටයුතු සිදුවිය.
ලෙලි පල්වන්නට නැතිනම් නිසි ලෙස තැම්බෙන්නට මාස තුනක පමණ කාලයක් ගතවෙයි. මෙහි හරි පදමට ලෙල්ල තැම්බී ඇත්දැයි දැනගන්නේ එය මෙලෙක් වී පොත්ත ගැලවෙන තත්ත්වයට පත්ව තිබීම හරහාය. මෙම පදමට පැමිණි පසු ලෙල්ල ඉදී තිබේ යැයි පැරැන්ණෝ කියති. මාස කිහිපයක් ඇවෑමෙන් කොහු කතාවේ තවත් පරිච්ඡේදයක් ආරම්භ වෙයි.
කොහු කර්මාන්ත ගම්මානයේ බවලතුන්ගේ රාජකාරියක් විය. දකුණේ කොස්ගොඩ ඇතුළු බොහෝ පළාත්වල මෙයට පිරිමි ද සහය වූහ. නමුත් මේ පෙදෙසේ ලෙලි පල්කිරීමේ පටන් තලා ලණු අඹරා විකිණීම දක්වා ව්‍යාපාරය කළේ කාන්තාවෝය. අපව අතීතයේ අමතක අතරින් එම යුගයට කැන්දාගෙන ගිය අත්තම්මා මේ කර්මාන්ත තුළ ව්‍යාපාර සිදු කළාය. පල්කරන ලද ලෙලි තොගයට ගෙන ගමේ අනෙක් බවලතුන්ට තලන්නට ලබාදීම එම රාජකාරියයි. ගමේ ලෙලි තලා ලණු අඹරන්නට නොදත් කිසිදු කතක් නොවීය. උස් මිටි තරාතිරම් කර්මාන්ත අදාළ නොවීය. කවුරුන් වුවද මෙය ඉටුකිරීමට පැකිළුණේ නැත.
වරකට පොල් ලෙලි දහ පහළොස් දහස් මෙසේ ගම්මානයේ බවලතුන්ට තැලීම පිණිස රැගෙන ඒම සිදුකරයි. කරත්ත ගඟ ආසන්නයටම යයි. ලෙලිවලට බසින කාන්තාවෝ ලෙලි ගොඩදමති. මේවාහි විසල් ගැඹුරක් නැත. එහෙත් ගංදිය වැඩි වී සැඩවන කාලයට මෙසේ ලෙලි ගොඩදැමීම සිදු නොවේ. ලෙලි පල්කිරීමේදී දුර්ගන්ධයක් වහනය වේ. අද නම් මෙම ලෙලි වළවල් විසබීජ පිරුණු තැන් ලෙස යමකුට කිවහැකිය. එහෙත් එදා කිසිවකුට එය ගණනක් නොවූයේය. කෙසේ හෝ බවලතුන් ලෙලි ගොඩ දැමූ පසු ඒවා කරත්තවලට පටවනු ලබයි. ඒ අනුව එක කරත්තයක ලෙලි දහසක් පමණ පටවති.
මෙසේ ලෙලි පැටවූ කරත්ත ගමේ එක එක ස්ථානවලට දී පොල් ලෙලි බෑම සිදුකරයි. කොටසක් ගොඩල්ලකන්ද පාමුලටය. තවත් කොටසක් තව නිවසකටය. මෙසේ දහස බැගින් දහ පහළොස් දහක් ගමේ විවිධ තැන්වල ස්ථාන ගතවෙයි. මූලස්ථානය මේ තොගය හිමි අයගේ නිවෙසයි. දැන් ගමේ බවලත් කොයි කාටත් ලොකු රාජකාරියක් වේ. ඒ ලෙලි තලා කොහුගෙන ලණු ඇඹරීමයි.
ගම්මානයේ දෛනිකව ආහාර පිසීමට භාවිත වුණු පොල් ගෙඩිවල ලෙලි ද ලෙලි වළවල්වලට බහලනු ලැබීය. ඒවාද මේ කර්මාන්තට එක්විය. ගමේ කොයි කවුරැත් විසින් සහයෝගයෙන් කර්මාන්ත ඉදිරියට ගෙනයාම සිදුකරනු ලැබීය. ගම්මානයේ මෙම කර්මාන්තයට සම්බන්ධ නොවූවෙක් නැති තරම්ය. පොල් ගස ගමේ ජීවනාලිය විය. ආදායම් අතින් රා කර්මාන්තයට අමතරව කොහු කර්මාන්තය ගම්මානයේ දැවැන්තම කර්මාන්ත විය. ධීවර කර්මාන්ත වූයේ සුළු වශයෙනි. ගම්මානයේ පිහිටීම මේ සියල්ලට විසල් අනුබලයක් සැපයූවේය.
අතීතයේ මතක අතර චාරිකාව අදට නිමාකරමු. (එදා මේ බවලත්හු ලෙලි තලා ලණු ඇඹරූ හැටි ලබන සතියට.)
විශේෂ ස්තූතිය
හාතාදුර ඇලඩින් නෝනා මහත්මිය
►චමිඳු නිසල් ද සිල්වා