කොටහේන ප්‍රදේශයේ අවුරුදු 42 වියැති පුද්ගලයකුට සහ 68 වියැති කාන්තාවකට යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා තිබුණේ පසුගියදාය. ඒ වෙඩි තැබීම සිදුකර තිබුණේ මරණීය චේතනාවෙන් වුවත් ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරුණේ පෙර පිනකටය. කෙසේ වෙතත් තුවාල ලැබූ 42 හැවිරිදි පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පුකුඩුඛන්නාගේ ගෝලයෙක් විය. ඔහු ජම්පටාවීදියේ ඝාතන චෝදනාවක්ද තිබූ අයෙකි.
මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණේ මෙය මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් බවය. එනම් කොටහේනේ පුකුඩුඛන්නා සහ ජම්පටා වීදියේ කුඩු සෙල්වි අතර කාලයක පටන් පවතින ගැටුමේ දිගුවක් බවටය. කුඩු සෙල්වි 2015 සැප්තැම්බර් 12 දා ඝාතනය කර තිබුණේ පුකුඩුඛන්නාගේ පාර්ශ්වය විසිනි. මෙම ඝාතනය සිදු කළේ එල්.ටී.ටී.ඊ. චාල්ස් ඇන්තනි බලකායේ සිටි දක්ෂ වෙඩික්කරුවකු වූ ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ඩ් හෙවත් කෙනඩි නොහොත් බුම්මා විසිනි. කෙනඩි යනු දකුණේ පාතාලයේ මෙන්ම කොළඹ පාතාලයේද කොන්ත්‍රාත් වෙඩික්කරුය. කෙනඩි සෙල්වි ඝාතනය කිරීමත් සමඟ එම තැන ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය ජාලයේම සිටි සෙල්විගේ පුතා වන පලනි ශිරාන්ය. පලනි
ශිරාන් ඒ වනවිට බන්ධනාගාරගත වී සිටි නිසා පුකුඩුඛන්නා හෝ කෙනඩිට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා තම බාල සහෝදරයන් දෙදෙනාව පාතාලයට කැන්දාගෙන විත් තිබුණේ මාකඳුරේ මදූෂ් සහ කංජිපානි ඉම්රාන්ගේ සහාය ඇතිවය.
ශිරාන්ගේ සොහොයුරන් දෙදෙනාට පළමු වැඩේ බාරවූයේ මදූෂ්ට එරෙහිව කටයුතු කළ කොස්මල්ලි ඝාතන සිද්ධියට සම්බන්ධ කර ගැනීමත් සමඟය. අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේදී කොස්මල්ලිට දස වධ දී බෙල්ල කැපුවේ මදූෂ් ඩුබායි සිට බලා සිටියදීමය. එසේ වෙන් කරන ලද බෙල්ල අලුත්කඩේට ගෙන ඒම බාරවූයේ පලනි ශිරාන්ගේ සොහොයුරන් දෙදෙනාටය. ඒ අනුව කොස්මල්ලිගේ ඔලුව අලුත්කඩේට ගෙනත් දමමින් පාතාලයට එකතු වෙන දෙදෙනා වූයේ පලනි රිමෝෂන් සහ පලනි කෙනින්ස්ටන්ය. මේ දෙදෙනා එම රාජකාරිය නිම කිරීමත් සමඟ 2018 දී ඛන්නාගේ ගෝලයකු වන රාජ් ඝාතනය කෙරිණි. එදා යතුරුපැදිය පැදවූයේ රිමෝෂන්ය. කෙසේ වෙතත් ඉන් නොනැවතුණු ඛන්නා නැවත දරුවන්ට රිදෙන්නට ඇප ලබා පැමිණි කෙනඩි දම්මා සෙල්විගේ සැමියා සේම පලනිලාගේ පියා වන කරුපයියා මෙලනි හෙවත් ගනේෂ් ඝාතනය කළේය. පසුව තම පියා ඝාතනයට ඔත්තු බැලූ ක්ලැරිස් සහ සෙල්වරාජ් යන යුවල ඝාතනය කර තිබුණේ රිමෝෂන්ලාය.
මේ අතරතුර ඛන්නාට රිදෙන්න වැඩක් දීම සඳහා ශිරාන්, රිමෝෂ් සහ කෙනින්ස්ටන් පිරිස සූදානම් වූ අතර, ඒ අනුව පුකුඩුඛන්නාගේ පියා වන ගෝපාල්පිල්ලේ බාලචන්ද්‍රන් (62) 2018 වසරේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ එකට එක කිරීමේ අරමුණෙනි. එම ඝාතනයෙන් පසුව පලනි රිමෝෂන් සහ පලනි කෙනින්ස්ටන් කොළඹ අපරාධ කොට්ඨාසයට කොටුවූ අතර එසේ අත්අඩංගුවට ගන්නා විට රිමෝෂ්න්ට වයස 21 ක් වූ අතර කෙනින්ස්ටන්ට 25 කි. බාල වයසෙන්ම පාතාලයේ චරිත වූ මේ දෙදෙනා එළියට පැමිණි සැණින් ඩුබායි රාජ්‍යයට පැන ගියේ සටනේ ඉතිරිය සම්පූර්ණ කිරීමේ අරමුණෙනි.
නැවත පලනි ගැන කතාව කරළියට පැමිණියේ 2024 ජනවාරි මාසයේදීය. ඒ ආදුරුප්පුවීදිය පොලිසියේ අත්අඩංගුවේ සිටි දෙදෙනකුගේ කෑමවලට වස දමා දීම සම්බන්ධයෙනි. මීට කංජිපානිද සම්බන්ධ වී තිබුණු අතර එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන විට ඉම්රාන් දුරකතනයෙන් අමතා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට තර්ජනය කර ඇතැයි කියැවිණි. දුමින්ද මේ වන විට ජීවිත ආරක්ෂාව පතා ප්‍රංශයේ රැඳී සිටියි.
එම සිද්ධියෙන් පසුව යම් යම් සිදුවීම් වාර්තා වුවත් පසුගියදා කොටහේනේ සිද්ධිය පලනි රිමෝෂ් විසින් සිය ගෝලයන් ලවා සිදු කළ ප්‍රහාරයක් බවට අනාවරණය කර ගැනීමට පොලිසියට වැඩි කාලයක් ගතවූයේ නැත. එසේම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද වැඩි වෙලාවක් ගියේ නැත. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය පුදුම වී තිබුණේ රිමෝෂ්ගේ කල්ලිය හේතුවෙනි. එනම් මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරුට අවුරුදු 17 කි. යතුරුපැදිකරු 18 වියේ පසුවිය. වෙඩික්කරුගෙන් මෙම ඝාතනය සිදු කළේ ඇයිදැයි ප්‍රශ්න නගන විට ඔහු අපූරු පිළිතුරක් ලබා දී තිබිණි. එනම් පාතාල ලෝකයට පැමිණීමට තමාට වූ ආශාව නිසා මෙම ඝාතනය සිදු කළ බවකි. එසේම ඒ සඳහා රිමෝෂ් විශාල සහායක් දුන් බවත්, මත්කුඩු ලබාදීම ද සිදු කළ බවත් ඔහු පවසා තිබිණි. මෙහිදී අනාවරණය වූයේ රිමෝෂ්, අවුරුදු 18 ට අඩු තරුණයන් කණ්ඩායමක් එක්කර ගනිමින් පාතාල කණ්ඩායමක් නිර්මාණය කරමින් සිටින බවය.
කෑම බීම, දුරකතන, සිගරැට්, කුඩු, අයිස් දක්වා ලබා දෙමින් රිමෝෂ්, මේ තරුණයන් අල්ලා ගනිමින් සිටින්නේ සමාජ මාධ්‍ය හරහාය. පාතාලයන්ට ආදරය කරන, උන් වීරයන් සේ සලකන කුඩා ඇච්චි බැච්චෝ ටික් ටොක්වල පිරී ගොසිනි. මදූෂ්, කංජිපානි, අමරිසිංහලා, සොත්ති උපාලිලා, නොයෙල්ලා වැනි අයගේ ඡායාරූප දාමාගෙන, ගිනිඅවි ගිනි කෙළි නාට්‍යයේ හඬවල් දමාගෙන, රූප රාමු සකසමින් පාතාලයේ උන් අයියා, මල්ලි, මාමා ලෙස සලකමින් රඟන්නෝ මේ බිල්ලේ කොටසක් වී සිටිති. මොවුන් අමතා සිය සම්බන්ධතා සහ සිය වීරක්‍රියා ගැන දේශනා දෙමින් තරුණ උන් නංවා ගැනීම රිමෝෂ්ගේ විදිහ බව පොලිසිය පවසයි.
මෙහිදී පොලිසියට අනාවරණය වී ඇත්තේ කොටහේන, බ්ලුමැන්ඩල්, ඉඟුරුකඩේ, ජම්පටාවීදිය, පිටකොටුව, ගුණසිංහපුර ආදී ප්‍රදේශවල තරුණයන් රැසක් මෙම මත්ද්‍රව්‍ය ජාලයේ ගොදුරු වී සිටින බවටය. ඇතැම් අය දැනටමත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී ඇති බවද අනාවරණය වී තිබේ. මේ සියලු දෙනා සම්බන්ධයෙන් ලැයිස්තු සකසා ඇති බවත්, ඉදිරි දිනවලදී මෙම තරුණයන් කැඳවා ප්‍රශ්න කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
තරුණයන් අතර මෙලෙස පැතිර යන පාතාල උන්මාදයේ අවසානය නම් එච්චර හොඳ නැත. මේ රටේ තරුණ තරුණියන් දුසිම් ගණනින් මැරෙන කාලය වැඩි ඈතක නොවේ. විදේශවල සිට අහිංසක දරුවන් මේ පාපයට ඇද දමන උන්, මේ දරුවන් අමාරුවේ වැටුණු පසුව සොයා ගන්නට නැත. අවසානයේ කූඩුවල තපින විට ඇත්තේ පාළුව, වේදනාව සහ කඳුල පමණි. ඒ නිසා මෙකී වසංගතය ඔඩුදුවන්නට පෙර අවසන් කිරීම සියලු දෙනාගේම මූලික අරමුණ විය යුතුය. එසේ නොමැති වුවහොත් ඉදිරියේ බෙහෙතකටවත් කොල්ලෙක් සොයා ගන්නට නොහැකි වනු ඇත. එදා වීරයන් සේ අලුත්කඩේ උසාවියට පැමිණ වෙඩි තැබූ වෙඩික්කරු රැඳවුම් නියෝග ලබාගෙන සිටි අවස්ථාවේ ඔහුගේ කඳුළු සහ වේදනාව ඇසුවේ නම් කිසිවකු මිනී නොමරන බවද පොලිසියේ අදහසයි. එහෙත් පාතාලය එක දෙයක් මතක තබාගත යුතුය. එනම් මරණය යම් සේ කාට හෝ ලබා දෙන්නේද ඒ හා සමානව තමන් පසුපස කර්මය හඹා එන බවය.
• ගයාන් ගාල්ලගේ