2018-2019 වාර්ෂික සිරිපා වන්දනා වාරය දෙසැම්බර් 22 දිනට යෙදෙන උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා බැතිබර දායකත්වය දේශය, ලංකාදීප, අද පුවත්පත සහ ටැමිල් මිරර් පුවත්පත් විසින් දරයි. සිරිපා වන්දනා වාරය වෙනුවෙන් පවත්වන පුද සිරිත් දෙසැම්බර් 20 බ්‍රහස්පතින්දා සවස 6.19ට ආරම්භ වී අලුයම 4.30 දක්වා පැල්මඩුල්ල ගල්පොත්නාවල ශ්‍රීපාද රජමහා විහාරයේ පැවැත්වෙන අතර ඊට පසු පෙරහරින් සමන් දේව ප්‍රතිමාව සමනළ මළුවට ගෙනයාම සිදුවේ.
ශ්‍රී පාද පත්මය පිහිටුවා වසර 2600ක් සපිරෙන බවද ශ්‍රීපාද ස්ථානධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසා සිටිති.
අපේ බුදුන් අපි වඳින්ට පෙරළි පෙරළි අපි වඳින්ට කියමින් වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සමනළ කන්ද වන්දනා කරන්නේ එහි පාරිසරික වටිනාකම දැනගෙන නොවේ. ආගමික වටිනාකම සිතට නගාගෙනය. සමනළ අඩවිය ආගමික සහ සංස්කෘතික වශයෙන් මෙන්ම පාරිසරිකවද ඉතා වැදගත් කඳුවැටියකි. එහි ස්වභාවික පාරිසරික වැදගත්කම මෙන්ම අනාදිමත් කාලයක සිට පැවත එන බෞද්ධාගමික සංස්කෘතික වටපිටාවද, එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසට ඇතුළත් කිරීමේදී සලකා බලා තිබේ. බුදුන් වහන්සේ තෙවැනි වර ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමන්ත කූටය මත ශ්‍රීපාදය පිහිට වූ බවත් ඊට පසු දිවාගුහාව නම් ස්ථානයේ දිවා විහරණය කළ බවත් පැවසේ.
සමනල අඩවියේ පරිසරය හෙමින් සීරැවේ විනාශ වන බව පෙනේ. බොහෝ විට මෙම විනාශය සිදුවන්නේ බලංගොඩ සහ රත්නපුර ප්‍රදේශවල පවතින අභය භූමි සීමා අසලදීය. වනසතුන් දඩයමද මේ ප්‍රදේශවල සිදුවන බව ගම්වැසියෝ පවසති. අනවසරයෙන් තේ වගාව, මැණික් ගැරීම සහ වන්දනා සමයේදී දර සඳහා ගස් කැපීම ආදී කටයුතු මෙම වනයට තර්ජන ගෙන එන කරැණු අතර වේ.
පසුගියදා වල්ඌරු දඩයමට තිබූ සීමා ඉවත් කළ නිසා ඒ සතුන් දඩයමද සමනල අඩවියට යාබද ගම්මානවල සුලබ වී ඇති බව පැවසේ. පොලිතින් හා ප්ලාස්ටික් සමනල කන්දට ගෙන ඒම සීමාකර තිබුණත් වන්දනා වාරය අවසන් වනවිට විශාල පොලිතින් ප්ලාස්ටික් තොගයක් වන්දනා මාර්ග දෙපස එකතුවීම දැකගත හැකිය.
වන්දනා සමයේදී ස්නානය කරන වන්දනාකරුවන් ගෙන එන ෂැම්පු, හෙයාර් ජෙල් වැනි පැකට් ඇසුරැම් සීත ගඟුලට එක්වේ. එමෙන්ම ෂැම්පු සහ සබන්වල ඇති රසායනිකද සමනල අඩවියේ ජල මාර්ගවලට බහුලව එක්වේ. මේ නිසා සියුම් පරිසර තත්ත්වවලට හැඩ ගැසුණු ආවේණික මත්ස්‍ය විශේෂවලට සහ උභයජීවීන්ට එය තර්ජනයක් වී ඇත.
සමහර ප්‍රදේශවල වනයේ සීමා අසල යටි වගාව කපා තේ වගා කෙරේ. ඊටපසු විශාල ගස් පට්ටා පොතු ඉවත්කර මරා දමයි. ඉන්පසු එම ඉඩම්වලද තේ සිටුවයි. මෙලෙස තේ වගාව වනාන්තරය ආක්‍රමණය කිරීම සමනල අඩවියේ සිදුවන සමාව දිය නොහැකි නීති විරෝධී කටයුත්තකි.
රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇති සමනල කඳුකරය මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කඳුවල සිට බලංගොඩ බෙලිහුල්ඔය සහ දෙතනගල කඳු දක්වා පැතිරී ඇත. මෙහි ඇති පාරිසරික වැදගත්කම නිසා අභයභූමියක් බවට පත් කෙරිණ.
ශ්‍රී ලංකාවේ එකම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය වන සමනල අඩවිය විශාලත්වයෙන් හෙක්ටයාර් 22379කි. එය අභයභූමියක් බවට පත් කරන ලද්දේ 1940 අංක 8675 දරන ගැසට් නිවේදනය අනුවය. එම ගැසට් නිවේදනයට අනුව එය පැතිරී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙක්ටයාර් 3897 රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට හෙක්ටයාර් 17483ක් වශයෙනි. මෙහි ඉහළ පාරිසරික අගය නිසාම 2007 සැප්තැම්බර් 21දා ඉන් හෙක්ටයාර් 12979ක් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කෙරුණි.
සමනල අඩවියේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන්නේ එහි භූ විෂමතාවයයි. විවිධ ස්ථානවලදී එකිනෙකට වෙනස් උස මට්ටමක එය පැතිරී ඇත. දකුණු සීමාවේ වූ කුඩාව සහ රත්ගඟදී එය මීටර් 457ක් වන අතර, උසම ස්ථානය මීටර් 2243ක් වූ සමනල කඳු මුදුනයි. උතුරු සහ වයඹ සීමාවලදී උස මීටර් 457 සිට 762 දක්වා පැතිරී යයි. අභය භූමියේ එක් සීමාවක් හෝටන් තැන්න ජාතික උද්‍යනයට සම්බන්ධ වේ.
අප රටේ ප්‍රධාන ගංගා තුනක ආරම්භක ජල ධාරා උපත ලබන්නේ සමනල අඩවියෙනි. ඒ අනුව එය රටේ කැලණි, කළු සහ වලවේ යන මහා ගංගාවල ජල පෝෂක ප්‍රදේශයක් වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. කැලණි නදියේ ආරම්භක දිය මාර්ගය වන මස්කෙළි ඔය ඇරඹෙන්නේ අප්කොට් ප්‍රදේශයට ඉහළින් සමනල අඩවියේ බටහිර කඳු බෑවුම්වලිනි. දකුණු ප්‍රදේශයේ කුණුදිය පර්වතය අවට කඳුවැටිවලින් කළු ගඟේ ආරම්භය වන කුරැ නදිය උපත ලබයි. රත්ගඟ සහ බඹරබොටුව ඔය යන කළු ගංගාවේ ශාඛාද මෙම කලාපයෙන් ආරම්භ වේ. වලවේ ගඟේ එක් ප්‍රධාන ශාඛාවක් ඇරඹෙන්නේ ගිනිකොණ දිසාවේ බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ සමනල කඳුකරයෙනි.
මෙහි දියමාර්ගවල ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රුසක් දිවිගෙවති. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් විශේෂ 21ක් සමනල අඩවි වනාන්තරයේ ඇළ දොළවල වාසය කරති. ඒ අතරින් ආවේණික විශේෂ සංඛ්‍යාව 11කි. සමනල කන්ද පාමුල ජල මාර්ගවල ආවේණික විශේෂ අතරින් ගල්පාඬියා සහ කඳුකර ඉරි අහිරාවා වාසය කරන අතර සමනල කන්දට මඳක් එපිට වනාන්තරයේ ජල මාර්ගවල හීත මස්සා, ලේ තිත්තයා, බුලත් හපයා, මගුරා, තල්කොස්සා, කොළකණයා, දෙපුල්ලියා වැනි ආවේණික මසුන් පැතිරී සිටිති.
මෙම වනාන්තරයේ සමනලුන් පිළිබඳව පරිසරවේදී සජීව චාමිකර කළ පුරෝගාමී අධ්‍යයනයට අනුව විශේෂ 76ක් හමු වී ඇති අතර ඉන් විශේෂ 7ක් ආවේණික වූවෝ වෙති. පසුගියදා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයෙන් සොයාගත් ඉතා දුර්ලභ අප රටට ආවේණික උප විශේෂයක් වන කඳුකර උණහපුලුවාගේ එක් වාසස්ථානයක් වන්නේද සමනල අඩවියේ ඉහළ සීමාවයි.
1998දී වනජීවී උරුම භාරයේ රොහාන් පෙතියාගොඩ සහ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි විසින් කළ ගවේෂණයකදී රාජමලේ වතුයායේ පිෂිං හට් අසලදී වඳවී ගොස් ඇතැයි සැලකුණු ආවේණික ඉතා දුර්ලභ ගෙඹි විශේෂයක් වූ Dasi’s Dwarf Toad සොයාගන්නා ලදී. එලෙස සැඟවුණු තවත් වනජීවීන් රුසක් මෙම වනාන්තරයේ වාසය කරන බව නිසැකය. පිවිසීමේ දුෂ්කරතාව නිසා මෙහි බොහෝ පෙදෙස් තවමත් පුළුල් ගවේෂණයකට ලක්ව නැත.
සමනල අඩවිය සුන්දර කරනා දියඇලි රාශියකි. මෙය ප්‍රධාන ගංගා තුනක තිඹිරිගෙය නිසා ජල දහරා රාශියක් කඳුබෑවුම්වලින් උපත ලබා දියඇලි තනයි. මස්කෙළිය ඔය ජලාශයට එකතු වන සමනල කඳු ඇල්ල උසින් මීටර් 10කි. ලක්ෂපාන දියඇල්ල ජල විදුලි බලාගාරය නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. ගාට්මෝර් ඇල්ලට එම නම වැටී ඇත්තේ ගට්මෝර් වතුයාය අසල පිහිටි නිසාය. ඒ වෙතට නල්ලතන්නියේ සිට වතුයාය හරහා ගමන් කිරීමෙන් පැමිණිය හැකිය. ෆෙයාර්ලෝන් ඇල්ල, දෙහෙන ඇල්ල, පාඬිඔය ඇල්ල, බඹරබොටුව ඇල්ල, අලුපොල ඇල්ල, මාපනාන ඇල්ල, දෝතුරැගල ඇල්ල, මෝහිණී ඇල්ල වැනි දිය ඇලි රාශියක් මෙම අභයභූමිය විචිත්‍රවත් කරනා සොබාදම් දායාදයෝ වෙති.
ඉරමුසු, වෙනිවැල්, ඉරුරාජ, ජටාමාංශ, සඳරාජ, කුඩා හැඩයා, මහ හැඩයා, හාතාවාරිය වැනි ඖෂධීය ශාක වනපෙතෙහි යටි රෝපණයෙහි පැතිරී ඇත. අවට ගම්වල වැසියන්ට අවශ්‍ය වනපල වර්ග රැසක්ද මෙයින් සැපයේ. මියන දළු, මුගුණ, තෙබු, ගොනිකා, වැල් අල, දියබෙරලිය, කිරිඅඟුණ, කැලෑ කොහිල, රන් දෝතලු, හල් ඒ අතර ප්‍රධාන වේ. වේවැල්, කුකුළු වැල්, බට ආදියද මෙහි පැතිරී තිබේ. ගෘහ භාණ්ඩ සඳහා මහා පරිමාණයෙන් ඉවත් කිරීම නිසා මාවේවැල් බොහෝ ස්ථානවලින් සමුගෙන ඇත.
සමනල අඩවියේ මීටර් 600 සිට 900 දක්වා උස මට්ටම්වල දූන විශේෂ සමඟ වැවෙන අනෙක් ශාඛ වන්නේ මැන්දෝර විශේෂයකි. (Stemonoporus rigiduse) ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකුණු මෙම මැන්දෝර ශාකය 1981 දී මෙම වනාන්තරයෙන් නැවත සොයාගැනුණි.
සමනල කන්දේ ඉහළ බෑවුම්වලට ගමන්කරන විට වනාන්තර වැස්ම කුරු ආකාරයක් ගනී. අධික ශීතල සහ අධික සුළඟ නිසා ශාඛ එයට අනුවර්තනය වී තිබේ. කීන, බඹන දඹ, රතු මිහිරිය, වැරණිය, බෝවිටියා, Colophylum trapezifolum වැනි ශාක මේ ප්‍රදේශයේ වැවේ. වල් එනසාල්, නෙලු, මඩොල් වැනි විශේෂද ඒ අතර දැකගත හැකිවේ. පහළ කඳු බෑවුම්වල තැන තැන කැපී පෙනෙන අයුරින් වැවී ඇත්තේ කිතුල් ගස්ය. කිතුල් ගස කඳුකර වැසියන්ගේ කප් රුකක් වැන්න.
එයින් පැණි සහ හකුරු නිපදවීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයකි. මෙහි වැවෙන සිහින් කඳක් ඇති කටු කිතුල් ගස තාල වර්ගයට අයත් තවත් ආවේණික ශාකයකි. එහි කඳෙහි තියුණු කටු පිහිටා තිබේ. මීටර් 1000 ට ඉහළ කඳු බෑවුම්වල පැතිරී ඇති අලංකාර තාල වර්ගයේ ශාකයකි රන්දෝතලු.
මෙහි රුක්වාසී ක්ෂීරපායින් වන්නේ උණහපුලුවා, රිලවා සහ කොළ වඳුරා සහ කඳුකර උණහපුලුවාය. මේ අවට වල්ඌරාද බහුලය. මෙම වනපෙතෙහි කුඩා අලි රංචුවක්ද වාසය කරති. උන් වන්දනා කාලයට වනයේ ඈත ප්‍රදේශවලට සංක්‍රමණය වේ. ගෝනා සහ ශ්‍රී ලංකා කොටියාද මෙහි වසන ක්ෂීරපායීහු වෙති.
ලෝක උරුම වනපෙත් අතරට අයත් වීම නිසා දැන් සමනල කන්දට වැඩි ජාත්‍යන්තර අවධානයක් ලැබී තිබේ. එමෙන්ම එහි පාරිසරික අගය සුරැකීම සඳහාද ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුව ඇත.
කුසුම්සිරි විජයවර්ධන