තරුණ තරුණියන්ට එකිනෙකා හඳුනාගෙන කතාබහ කරන්නට හැකි ස්ථානයක් අප රටේ තවමත් නැත. හැට ගණන්වල තිබුණේත් නැත. (බටහිර රටවල්වල නම් මෙම කාරණා උදෙසා සමාජශාලා තිබේ.) මේ නිසා බොහෝ විට පාසල් කාලය නිමාවූ පසු තරුණියන් ගතකළේ ගෙදරට කොටු වූ ජීවිතයකි. සහකරුවකු හඳුනාගත නොහැකිව ජීවිතයම ගෙදරට කොටු වූ ජීවිත ගතකරන කාන්තාවන් කෙතරම් සිටීද යන්න දැනගන්නට සමාජ සමීක්ෂණයක්ම අවශ්‍ය නොවේ.
විවාහය කෙසේවෙතත් මිනිසකුට එදිනෙදා ජීවිතයේ සමාජ ඇසුර අවශ්‍යය. ඒ සඳහා සමාජ වෙබ් අඩවි මගින් කෙරෙනුයේ ඉමහත් මෙහෙවරකි. එකිනෙකා මුණගැසීම කෙසේවෙතත් එකිනෙකා හඳුනාගෙන සාර්ථකව අදහස් හුවමාරු කරගැනීම අද දින සමාජ වෙබ් අඩවි මගින් ක්ෂණිකව කළ හැකිවේ.
ලෝකය තුළ එකිනෙකා හුදෙකලා නොකොට එකිනෙකා හඳුනාගැනීමට පුවත්පත්වල සහාය ලැබුණේ 1970 ගණන්වල මැද හරියේ සිටයි. එම කාර්යය උදෙසා ජාතික පුවත්පත්වලින් ඒ හැටි මෙහෙවරක් සිදුවූයේ නැත. එම මෙහෙවර මුලින්ම ඉටුකරන්නට පටන් ගත්තේ තරුණ තරුණියන් අතර ප්‍රචලිත වූ චිත්‍ර කතා පත්තරයි. ඊට කලින් ඇතැම් ළමා පත්තරවලින් ඉඳහිට පිටරට පෑනේ මිතුරන් හඳුන්වා දීම සිදුකර තිබුණේය. එහෙත් මෙරට තරුණ තරුණියන්ට නිදහසේ එකිනෙකා හඳුනාගන්නට මුලින්ම සාර්ථක ලෙස උපකාර කළේ චිත්‍රකතා ඇතුළු යොවුන් පුවත්පත් කිවහොත් එම අදහස නිවැරදිය.
චිත්‍රකතා පත්තර දොරට වඩින්නට ගත්තේ අපේ පාසල් කාලයේය. අයෝමය පුරුෂයන් සේ ඇඟ මස ගොතා වර්ධනය කරගත් හර්කියුලිස් වැනි වීරයන් ඉන්නා කතා එම පත්තරවල බහුලව තිබිණි. ළඳබොළඳ තරුණ වයසේ කල්ගෙවූ අපේ ඇතැම් පාසල් මිතුරෝ ඔවුන්ගේ රූප කමිස සාක්කුවේ රවුම් බැඡ් එකක් ලෙස ගසාගෙන සිටියෝය.
කල්යත්ම මෙම චිත්‍රකතා පත්තරවල ''මිතුරු ඇසුර'', ''මිතුරු හවුල'' යන නම්වලින් එකිනෙකා හඳුනාගැනීමේ පිටු පළකරනු ලැබුණි. මිතුරු ඇසුර ඉල්ලුම් කරන්නාගේ මුද්දරයකටත් වඩා කුඩා ඡායාරූපයක් ඒවායේ පළවූයේය. ඊට යටින් සඳහන් වූයේ එම මිතුරු ඇසුර ඉල්ලුම් කරන්නාගේ කෙටි තොරතුරු රැසකි.
එම ඡායාරෑපවල සිටි ඇතැම් තරැණයන් උන්නේ සන්ග්ලාස් පැළඳලාය. ඇතැමුන්ගේ මුහුණුවල ඇස් එම නිසා කළු වෙලාය. ඇතැම් තරුණියෝ එම ඡායාරූපවල ඒ කාලයේ භාවිත වූ බෝතල් අඩි තරම් විශාල සන්ග්ලාස් පැළඳගෙන සිටියහ. සමහරු සිනමා නිළියන් මෙන් ස්කාර්ෆ් හිස දවටාගෙන උන්හ. මුද්දරයක් තරම් නැති එම ඡායාරූපවල ඉන්නා තරුණ තරුණියන්ගේ දැනුම, මානසිකත්වය, සමාජ ජීවිතය, ඡායාරූපය හරහා මැනලැබීම අපේ එක් විනෝදාංශයක් විය. ඡායාරූපයට යටින් තිබූ විස්තර - බොහෝ අයගේ එකම ස්වරූපයක් ගත්තේය.
ඒ අතර මුලින්ම තිබුණේ එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නම සහ ලිපිනය බව අමුතුවෙන් කිවයුතු නැත. ඊළඟට තිබුණේ විනෝදාංශයි. විනෝදාංශවලට මුලින්ම තිබුණේ “(එම පත්තරයේ නම) පත්තර කියවීමය.'' ඊළඟට බොහෝ අයගේ විනෝදාංශය ලෙස බහුලව සඳහන් වූයේ “ගුවන්විදුලියට සවන් දීමයි.'' ගෙදර, මඟතොට, කොහේ සිටියත් එකල ගුවන් විදුලිය නිතර සැමගේ කනවැකුණේ සැවොම ගුවන් විදුලි යන්ත්‍ර පණගන්වාගෙන සිටි බැවිනි. එහෙත් රේඩියොවට තනි රකිමින් ඒ අසලටම වී ගුවන්විදුලියට සවන් දීමේ පුරුද්දක් එකල තිබුණේය. ඊට අමතරව සඳහන් වූ විනෝදාංශ වූයේ පාසල් කාලයේ කළ මුද්දර එකතුකිරීම, පිහාටු එකතු කිරීම වැනි දෑය. පාසල් ගිය අප “මිතුරු ඇසුර''ට අදාළ පිටුවල ඇති තරුණ තරුණියන්ගේ විස්තර කියවා ඒවායේ චරිත අධ්‍යයනය කරමින් යම් වින්දනයක් ලැබූ මුත් එම මිතුරු ඇසුර පිටුවලින් මහත් සමාජ මෙහෙවරක් සිදුවූ බව ආපසු ඒවා දෙස හැරී බැලීමේදී පසක් වෙයි. පත්තරයෙන් කළේ එක්නෙකා හඳුන්වාදීම වුවත් ඉන්පසු ඔවුහු එකිනෙකා සමඟ ලිපි හුවමාරු කර ගත්තා. හුදෙකලා තරුණ තරුණියන් එකිනෙකා සමඟ ලිපි මගින් ඇසුරු කරන්නට ඒ මගින් ඉඩසැළසුණේය.
පසුකාලයක පුවත්පත්වල දැන්වීම් මාර්ගයෙන් ද මිතුරු හවුල්, මිතුරු සමාජ ගැන ප්‍රචාරයක් ඇරැඹිණි. එම දැන්වීම පළවූයේ ප්‍රධාන පුවත්පත් දැන්වීම් පිටුවල ලුහුඬු දැන්වීම් වශයෙනි. ඒවා “වැඩිහිටියන්ට පමණයි'' තරමට වූ මිතුරු හවුල් දක්වා ව්‍යාප්ත විය. පසුව දැනගන්නට ලැබුණේ ඇතැම් ඒවා මහාජාවාරම් බවය.
අද තරුණයකුට හෝ තරුණියකට තම ජංගම දුරකතන ඇඟලි තුඩින් ස්පර්ෂ නොකර එක මොහොතක් ඉවසා ඉන්නට අසීරුය. එහෙත් එකල තරුණ තරුණියෝ තමා ප්‍රියකරන කෙනකුට ලිපියක් ලියා ප්‍රතිචාර ලැබෙන තුරු සතියක් පමණ ඉවසා සිටියහ. තැපැල් පියුන්ගේ සීනු නාදය ඔවුනට මිහිරි නාදයක් විය. ඇතැමුන්ට තැපැල් පියුන්ගේ සීනු නාදය මංගල සීනු නාදයක්ම විය. තැපැල් පියුන් ගව් ගාණක් ඈත සිටියත් අනෙකුත් බයිසිකල්කරුවන්ගේ සීනුවලින් වෙන්කොට ඔවුහු තැපැල් පියුන්ගේ බයිසිකලයේ සීනු නාදය හඳුනාගත්තෝය. ඇතැම් අයගේ ලිපි හුවමාරුව හුදෙකලා බව නසන අදහස් හුවමාරුවක් වුවද ඇතැමුන්ගේ ඇසුර විවාහය දක්වා දීර්ඝ වූයේය.
අනෙකාට ලැබෙන ලිපියක් විවෘත කර නොබලන ශික්ෂණයක් අපේ සමාජයේ ඒ කාලයේ පටන්ම තිබුණේය. පවුලේ ළාබාල උදවියට පවා තැපෑලෙන් ලිපියක් ලැබුණු විට ඒ ගැන විස්තර අසනවා විනා ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වයට ඇඟිලි නොගැසීමේ හැදියාවක් ගම්බද මෙන්ම නගරබද වාසීන් තුළද ඒ කාලයේ පටන්ම තිබුණේය.
පත්තරවලින් හඳුනාගත් මිතුරු ඇසුරු සාමාන්‍ය ඇසුරකින් හෝ විවාහයෙන් හෝ ප්‍රේමයකින් හෝ කෙළවර නොවී වෙනත් අන්තවලට ගිය අවස්ථාද තිබුණු බව තතු දන්නෝ කියති. අසූ ගණන්වලදී මෙම ලිපි හුවමාරැව ඡායාරූප හුවමාරුවක් බවට පත්වී ශරීරය ආවරණය නොවූ ඡායාරූප හුවමාරුවක් තරම් අන්තයකට මෙම “මිතුරු ඇසුර'' දික්ගැසුණු අවස්ථාද තිබුණු බවට තොරතුරු පළවිය.
මේ කාලයේ ඇතැම් පුවත්පත්වල සමාජ වෙබ්අඩවි හරහා සිදුවන ඒ ආකාර සිදුවීම් සමඟ සසඳා බැලූ විට එහි ඒ හැටි අරැමයක් නැත. තරුණියන්ගේ නිරුවත් ඡායාරූප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සපයාගත් පුද්ගලයන් ඒවා පෙන්වමින් Black Mailකොට මුදල් කඩා වඩාගැනීම පිළිබඳ පුවත්පත් ලිපි ගණනාවක් පසුගිය කාලයේ පළවූයේය. මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන අංශයක් පොලීසියේ වෙනම ඇති බව ඒවායේ පළවී තිබිණි.
“පෑනේ මිතුරන්'' යන යෙදුම බොහෝ විට භාවිතවූයේ විදේශීය රටවල වෙසෙනා ලිපි හුවමාරු කරගන්නා මිතුරන් සම්බන්ධයෙනි. අද මගේ ජංගම දුරකතනයෙන් ලෝකයේ ඉන්නා මගේ ඕනෑම මිතුරකු සමඟ (ඔහු/ඇය නිදානොසිටී නම් හෝ කර්යයබහුල නොවන්නේ නම්) සිතූ සැණින් අදහස් හුවමාරු කරගත හැකිය. අවශ්‍ය නම් වීඩියෝ ඇමතුමක් මගින් ඔහුගේ/ ඇයගේ මුහුණට මුහුණලා සන්නිවේදනයේ යෙදිය හැකිය. වඩාත් පහසු සහ අවම වියදම් යන ක්‍රමය වන්නේ ඔවුන් සමඟ chat කිරීමයි. පුවත්පතක් හරහා හෝ මිතුරකු හරහා හඳුනාගත් පිටරට පෑනේ මිතුරකු සමඟ අදහසක් හුවමාරු කරගන්නට එකල සති දෙකක්වත් අවට වශයෙන් කාලය ගතවූයේය. එහෙත් පොදුවේ එකල සමාජය ගතකළේ ඉවසිලිවන්ත කලබල රහිත ජීවිතයක් නිසා කාලයක් ඉවසා සිටීම කාටත් අසීරු වූයේ නැත. ඒ කාලයේ රටේ පොදු ජීවිතාපේක්ෂා කාලය (මේ වනවිට වසර 75ක් තරම්වන) මෙකල තරම් වැඩි ජීවිතාපේක්ෂක කාලයක් නොවුණත් ජීවිත ගෙවුණේ කලබලයකින් හෝ තරගයකින් තොරවයි. පෑනේ මිතුරන්ට ලිපි තැපැල් කළ ආකාර දෙකකි. වටේට නිල් සහ රතු ඉරි ඇඳි සුදු පාට Air Mail කවරයේ බහා ලිපියැවීම පළමු වැන්නයි. දෙවැන්න Aero grime පතේ ලියා යැවීමයි. දෙවැන්න පළමු වැන්නට වඩා ලාභදායි විය. අද පිටරට යවන්නට කවරයකට මුද්දර ගැසීමට යන වියදමෙන් Data මිලදී ගත්විට සියදෙනකු පමණ සමඟ පමණ Chat කළහැකිය.
පුවත්පත්වලින් හඳුනාගත් පෑනේ මිතුරු ඇසුර ද බොහෝ අය වර්ධනය කරගත්හ. එමගින් ඒ ඒ රටවල විස්තර, ඡායාරූප, ක්ලැන්ඩර්, විසිතුරු භාණ්ඩ එකල හුවමාරු වූයේය. පිටරට ඉන්න පෑනේ මිතුරකුට “තේ කොළ'' රාත්තලක් යවන්නට ඒ කාලයේ ඒ හැටි මුදලක් වියදම් වූයේ නැත. පිටරට මුද්දර වැඩිපුරම දැකගත්තේ පෑනේ මිතුරන් එවූ ලියුම් නිසාය. රූපවාහිණියෙන්, රූපවහණය නොවූ ඒ කාලයේ පිටරට පින්තූර දැකගත්තේ පෑනේ මිතුරන් එවූ Picture Post Cardවලිනි. ජපානයේ සකුරා මල්වල පින්තූර, කබුකි නාට්‍ය රෑප, කිමෝනා හැඳගත් ළඳුන්ගේ රූප අප දැකගත්තේ ජපානයෙන් පෑනේ මිතුරන් එවූ ක්ලැන්ඩරවලිනි. නවසීලන්තයේ ස්වදේශීක ජනයා දුඹුරු වර්ණ ගෝත්‍රිකයන් බව අප දැනගත්තේ එරටේ පෑනේ මිතුරන් එවූ බෝනිකන් නිසාය. එකල ලෝකය තුළ හුදෙකලා නොවී ලෝ තොරතුරු පුවත්පත් මගින් හඳුනාගත් පෑනේ මිතුරන්ගෙන් අපි දැනගත්තෙමු. පෑනේ මිතුරන්ට ඉංග්‍රීසියෙන් ලිපි යැවීමට පුරුදු වීම නිසා මා දන්නා කිහිප දෙනෙකුගේම ඉංග්‍රීසි ලිවීමේ හැකියාව හොඳින්ම වර්ධනය වූයේය.
කාලයක් පුරා පෑනේ මිතුරකු සමඟ ලිපි හුවමාරු කරගෙන ඇතිවූ බැඳීම ක්ෂණිකව ජංගම දුකරතනයෙන් Chat කොට ඇති කරගන්නා බැඳීමට වඩා වෙනස් ප්‍රබල බැඳීමක් වූයේය. එය අධ්‍යාත්මය හඳුනාගැනීමක් හා සමාන වූයේය.
සමහරු පිටරට රාජ්‍ය නායක නායිකාවන් සමඟ පවා මෙසේ ලිපි හුවමාරු කරගත්තෝය. එංගලන්තයේ රැජින සමඟ කාලයක් පටන් ලිපි හුවමාරු කරගන්නා කිහිප දෙනෙක් අප රටේ තවමත් සිටිති. ලිපියක් යැවීම Chat කොටනවාට වඩා අනෙකාගේ අධ්‍යාත්මය හඳුනාගනිමින් කරන කැපකිරීමක් වැන්න. අපේ සමීපතම රටක රාජ්‍ය නායිකාවක් මෙරටට පැමිණි විට වරක් තමා තරුණ කාලයේ පටන් අඳුනන සංගීතඥයකු පෞද්ගලිකව හමුවන්නට ගියාය. ඔවුන්ගේ මිතුරු ඇසුර පසුකාලයක වර්ධනය වී තිබුණේ ලිපි හුවමාරැව නිසාය.
මිනිසා නම් සත්ත්වයා සමාජ සත්වයෙකි. ඔහුට තනිව ජීවත්වන්නට නොහැකිය. ඒ අනිත් මිනිසා සතුන්ට වඩා දුර්වලයෙකි. මිනිසාට හුදෙකලාව ඉන්නට නොහැකිය. ඔහු අනෙක් අය සමඟ සන්නිවේදනයේ යෙදිය යුතුය.
සන්නිවේදනයේ නොයෙදෙන මිනිසා ශරීරයෙන් එපමණක් ජීවිතය ගෙවන්නෙකි. ඔහු නිරන්තරයෙන්ම අනෙක් මිනිසුන් සමඟ අදහස් හුවමාරු කරගත යුතුය.
අද දින සමාජ වෙබ් අඩවිවල සැරිසරමින් අදහස් හුවමාරු කරගන්නෝ තරුණයෝ පමණක් නොවෙති. විශ්‍රාම සුවයෙන් කල්ගෙවනා වියපත් බොහෝ දෙනා සමාජ වෙබ් අඩවිවල සක්‍රියව අදහස් හුවමාරු කරගනිමින් සිටිති. ඒ අය තරුණ කාලයේ ලිපි ලියමින් අනෙකාගෙන් ප්‍රතිචාර එනතුරු දින ගණන් සති ගණන් ඉවසා සිටිය අයයි.
සමන් පුෂ්ප ලියනගේ