2025 මැයි 31 වන සෙනසුරාදා

ලංකාවේ අනුදිත් සිටි ලෝක රූ රැජන තරගයේ අමුතු කතා

 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:03 213

72 වැනි ලෝක රූ රැජන තේරීමේ තරගය මේ වන විට ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පැවැත්වෙමින් තිබේ. මැයි 7 වැනිදා ආරම්භ වූ මෙම තරගය මැයි 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලාංකීය සුරූපිනියක වන අනුදි ගුණසේකර එම තරගය නියෝජනය කරන හෙයිනි. මෙම ලිපිය ලියන මොහොත වන විට ඇය හෙඩ් ටු හෙඩ් අභියෝගයේ අවසන් කරගකාරියන් 20 දෙනා අතරට තේරී තිබිණි. ආසියාවේ හොඳම අවසන් තරගකාරියන් 5 දෙනා අතරට අනුදි නම්කර ඇති අතර, එය ඓතිහාසික ජයග්‍රහණයකි. මෙම කොටසේ අවසන් තරගකාරියක් ලෙස තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද ඇයයි. මෙම වසරේ Head to Head සහ ටැලන්ට් යන වට දෙකෙහිම අවසන් තරගකාරියක් වූ ආසියාවේ එකම තරගකාරිය බවට පත්වෙමින් අනුදි තවත් වාර්තාවක් ද පිහිටුවා ඇත. 

ඇය මිස් වර්ල්ඩ් බහු මාධ්‍ය අභියෝගයේ (Miss world multimedia challenge) ආසියාවේ අනුශූරිය බවට පත් වූවාය. ලෝක රූ රැජන තරගයකදී ශ්‍රී ලාංකිකයකු එම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව එයයි. ලෝක රූ රැජන තරගයට සහභාගි වූ තරගකාරියන් 108 දෙනකු අතරින් තෝරාගත් ඉහළම ගෝලීය ජයග්‍රාහිකාවන් 8 දෙනා අතරටද ඇය එක් විය.

ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වූයේ සිය දේශනයේදී ධම්ම පදයේ එන “සබ්බ පාපස්ස අකරණං” නමැති ගාථාවෙන් එම කතාව ආරම්භ කළ හෙයිනි. එම තරගාවලියට සහභාගි වන තරගකාරියන් සමාජ සේවා ව්‍යාපෘතියකටද සහභාගි විය යුතු වන අතර, අනුදිගේ ‘සහේළී’ ව්‍යාපෘතිය ඔසප් දරිද්‍රතාව පිළිබඳ කෙරෙන දැනුම්වත් කිරීමකි. අනුදි ගුණසේකර පසුගිය වසරේ පැවති මිස් ශ්‍රී ලංකා තරගය ජයග්‍රහණය කළාය. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිනියකි.
මෙම තරගාවලියට සහභාගි වූ 24 හැවිරිදි එංගලන්ත රූ රැජන වූ මිලා මැගී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර එම තරගයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ. පෞද්ගලික හේතු මත ඇය තරගාවලියෙන් ඉවත් වූ බවට මුලදී වාර්තා වුවද එම තීරණය පිටුපස ඇති සත්‍යතාව මේ වන විට හෙළිදරව් වී ඇත. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වන “ද සන්” පුවත්පතට ප්‍රකාශයක් කරමින්, මැගී, තරගාවලිය තමන් අපේක්ෂා කළ සුන්දර වටපිටාවෙන් තොර වූ බවට ප්‍රකාශ කර ඇත. එය තම අරමුණු සමඟ නොගැලපෙන බව ඇය සඳහන් කර ඇති ඇය, “මෙම තරගය තවමත් තිබෙන්නේ අතීතයේ සිරවෙලා. සදාචාරාත්මකව මට එහි කොටසක් විය නොහැකියි. තරගාවලිය අතරතුර මා ගණිකාවක බඳු හැඟීමක් ඇතිවූ බවටත්, එහි සංවිධායකයන් තමන් අන් අය සතුටු කිරීම සඳහා යොදාගත් බවටත්,” ඇය චෝදනා කර තිබේ. ධනවත් පිරිමි අනුග්‍රාහකයන් ඉදිරියේ ගමන් කරවීමට සැලැස්වීමෙන් පසු තරගයෙන් ඉවත්වීමට තමා තීරණය කළ බව මිලා පවසා ඇත.
“අමුත්තන් හය දෙනකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැනු ළමයි දෙදෙනෙක් හිටියා. සංවිධායකයන් අපෙන් බලාපොරොත්තු වුණේ හවස් වරුව පුරාම ඔවුන් සමඟ අසුන්ගෙන ඔවුන්ට කෘතගුණ සැලකීමක් විදිහට ඔවුන් සතුටු කිරීමටයි. එය වැරදියි කියා මම හිතුවා. මම මෙහි පැමිණියේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා අතින් අතට යන්න නෙවෙයි. ලෝක රූ රැජන තරගයට වටිනාකමක් තිබිය යුතුයි.

එක් අවස්ථාවක මා වැදගත් දේවල් ගැන සාකච්ඡා කරන්න උත්සාහ කළත් මේසයේ සිටි පිරිමි එයට උනන්දුවක් දැක්වුවේ නැහැ කියලා පැහැදිලි වුණා. ඒ වෙනුවට මට අපහසුතාවක් දැනුණු අමුතු කතා එතැන සිදුවුණා.”

තරගකාරියන් සැමවිටම වේෂ නිරූපණය කළ යුතු බවත්, උදෑසන ආහාරයේ සිට දවස පුරා සාද ගවුම්වලින් සැරසී සිටිය යුතු බවත්, උත්සවය සඳහා ඔවුන්ගේ මූල්‍යමය දායකත්වය අගය කිරීමක් ලෙස මැදිවියේ පිරිමින් සමඟ කතාබහේ නිරතවීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවත් ඇය ප්‍රකාශ කර ඇතැයි “ද සන්” පුවත්පත සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක හා සමාජ සේවිකාවක වන ලෝක රූ රැජන සංවිධානයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ජූලියා එව්ලින් මෝර්ලි මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මිලා මැගී ලෝක රූ රැජන තරගාවලියෙන් ඉවත්වීම පිළිබඳව බ්‍රිතාන්‍ය පුවත්පත්වල පළවන වාර්තා පිළිබඳව ලෝක රූ රැජන සංවිධානයේ අවධානය යොමුවී ඇති බවයි.

මිලා මැගී ලෝක රූ රැජන තරගයෙන් ඉවත්ව යෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ, තමාගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධ හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් ඇය තරගයෙන් ඉවත් වන බව මිලා සඳහන් කළ බවයි. මවක සහ මිත්තණියක ලෙස හා ලෝක ලෝක රූ රැජන තරගාවලියේ සභාපතිනිය ලෙස තමන් මිලාගේ තත්ත්වය වටහාගෙන ඇයට යළි එංගලන්තයට යාමට අවස්ථාව සලසා දුන් බවද මිලා මැගී තරගාවලියේ අත්දැකීම් සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ එක්සත් රාජධානියේ ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කර ඇති අතර, මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ තමන් සමඟ ඇය ගත කළ කාලය පිළිබඳ යථාර්ථය නොවන බවද ඇය ප්‍රකාශ කර තිබේ. ලෝක රූ රැජන තරගය සත්‍ය, ගෞරවය සහ අරමුණක් සහිත සුන්දරත්වය පිළිබඳ වටිනාකම් සඳහා කැපවී සිටන බවද, මෙවැනි චෝදනා හෝ පුවත් පළ කිරීමට පෙර එහි සත්‍යතාව මෙන්ම තොරතුරුවල ඇති නිරවද්‍යතාව පිළිබඳව අවධානයක් යොමු කරන ලෙසද ඇය ප්‍රකාශ කර තිබිණි.

මිලා මැගීට යළි නිවෙස බලා යෑමට තමන් උපකාර කළ බවට ලෝක රූ රැජන සංවිධානය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මිලාගේ මව වන කැතරින් රසල් මෙලෙස පවසා තිබේ.

“ඔවුන් මිලාව අලු‍යම 3 ට කුලී රථයක නංවා ආපසු යැවීමට කටයුතු කළා. ඇගේ ගුවන් ගමන සංවිධානය කිරීමටත්, පවුම් 600 ක ගුවන් ගාස්තුව ගෙවීමටත් සිදුවූයේ මටයි. ලෝක රූ රැජන සංවිධානයෙන් ඇයට කිසිදු උපකාරයක් ලැබුණේ නැහැ.” යනුවෙන් පැවසී යැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.

මිස් වර්ල්ඩ් 2025 තරගයෙන් ඉවත් වූ මිලා මැගී වෙනුවට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා 2024 එංගලන්ත රූ රැජන තරගයේ අනුශූරිය වූ චාලට් ග්‍රාන්ට් තෝරාගෙන තිබේ. ලෝක රූ රැජන තරගාවලියක් අතර මැද තරගකාරියන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2023 චෙක් ජනරජයේ රූ රැජන වූ ජස්ටිනා සෙඩ්නිකෝවා මුලින් තරගයට සහභාගි වුවද පසුව ඇය වෙනුවට ඉදිරිපත් කෙරුණේ ඇඩෙලා ස්ට්‍රොෆෙකෝවාය. 2023 ටියුනීසියාවේ රූ රැජන වන අමිරා අෆ්ලි වෙනුවට ලැමිස් රෙඩිසි පත් කරන ලදී. හෙළිදරව් නොකළ හේතු මත බෙලීස් හි නොලියා හර්නැන්ඩස් තරගයෙන් ඉවත් වූ අතර, ඇය වෙනුවට ෂයාරි මොරටයා ඇතුළත් කෙරිණි. 2024 අයිවරි කෝස්ට් රූ රැජන වූ මාරි එමානුවෙල් ඩයමාලා වෙනුවට අනුශූරිය වූ ෆටූමාටා කූලිබාලි ඇතුළත් කෙරිණි. 2024 කේමන් දූපත් රූ රැජන වූ ලැටේෂියා බුෂ් වෙනුවට අනුශූරිය වූ ජාඩා රමූන් පත් කරන ලදී. කාම්බෝජයේ මනිටා හැන්ග් පෞද්ගලික හේතු මත ඉවත් විය. ඇය වෙනුවට ජූලියා රසල් තෝරා ගැනිණි.

කිර්ගිස්තානයේ අරියට් සංජරෝවා ද නිශ්චිත නොවන හේතු මත ඉවත් වූ අතර, පසුව ඇය වෙනුවට අයිෂාන් චනචේවා පත් කරන ලදී. නැමීබියාවේ ඇල්බර්ටිනා හයිම්බාලා තරගයෙන් ඉවත් වූ අතර, ඇය වෙනුවට සෙල්මා කමන්යා පත් කරන ලදී. මෝල්ඩෝවාවේ මයිකායෙලා නිකොලෙව් වෙනුවට ඇන්ගෙලිනා චිටයිකා පත් කෙරිණි. මොරිෂස් හි කිම්බර්ලි ජෝසප් වෙනුවට වෙන්නා රැම්නා ආදේශ කෙරිණි. බල්ගේරියාවේ එල්විරා යෝර්ඩනෝවා ලෝක රූ රැජන සංවිධානයට අනුබද්ධ නොවන සංවිධානයක් සමඟ ගිවිසුමක් අත්සන් කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත් වූ අතර, ඇයගේ ජයග්‍රහණය අත්හැරීමට සිදුවිය. ඇය වෙනුවට ටියෝඩෝරා මිල්ටෙනෝවා ආදේශ කරන ලදී.

තරගකාරියන් සඳහා ලබා දුන් අභියෝගය පුරාම ප්‍රධාන තේමාවක් වූයේ කාන්තා ආරක්ෂාව, අධ්‍යාපනය සහ බලගැන්වීම යන මාතෘකාය. බ්‍රසීලය, සුරිනාම්, කේමන් දූපත්, ගයනාව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල තරගකාරියන් එහිදී කැපී පෙනිණි. ලෝක රූ රැජන තරගයේ එක් අංශයක් වන හෙඩ්-ටු-හෙඩ් අභියෝගය, ආශ්වාදජනක කතා සහ ආකර්ෂණීය සමාජ දැක්මකින් සමන්විත විය. එහිදී ආසියා-ඕෂනියා, යුරෝපා, අප්‍රිකා, ඇමෙරිකා සහ කැරිබියානු යන කලාප හතර කැපී පෙනිණි.
2025 වසරේ ලොව පුරා සිටින තරගකාරියන් 107 දෙනකු තම සමාජ සේවා මුලපිරීම් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ඉදිරිපත් කරනු ඇත. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෞඛ්‍ය සේවා, දේශගුණික විපර්යාස සහ ප්‍රජා සංවර්ධනය වැනි අර්ථවත් ක්‍රියා සඳහා තරගකාරියන්ගේ පෞද්ගලික කැපවීම සෑම ව්‍යාපෘතියකින්ම පිළිබිඹු කරනු ඇත. මෙම වටයේ ඉහළම දක්ෂතා දක්වන අය අර්ධ අවසන් පූර්ව වටයට (ඉහළම 40) ඍජුවම ඇතුළත් වන අතර එමගින් ඔවුන් 2025 ලෝක රූ රැජන කිරුලට එක් පියවරකින් සමීප වනු ඇත.

රූප සුන්දරත්වය කිසියම් අරමුණක් උදෙසා භාවිත කිරීම ලෝක රූ රැජන සංවිධානයේ මෙහෙවර වේ. 1972 දී ජූලියා මෝර්ලි විසින් නිර්මාණය කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සමාජයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට දරන උත්සාහය සඳහා සුදුසු තරගකාරියන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමයි. එය තරගයේ කේන්ද්‍රීය තේමාව පිළිබිඹු කරයි.

සංවිධායකයන් සහ තෙලන්ගානා තොරතුරු සහ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවට අනුව, මෙම වසරේ ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති සුවිශේෂී ලෙස බලපෑම් කර ඇති අතර, ඒවායින් බොහොමයක් ගැටුම්වලින් පීඩාවට පත් කලාපවල, දුරස්ථ ප්‍රජාවන්හි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි ගැටලු‍ ආමන්ත්‍රණය කරයි. තරගකාරියන් වීඩියෝ වාර්තා චිත්‍රපට, ඉදිරිපත් කිරීම් සහ සජීවී ප්‍රශ්නෝත්තර හරහා ජූරි සභාව සමඟ ඔවුන්ගේ තොරතුරු බෙදාගනු ඇත.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා