රටක වටිනාකම සම්පත දරුවන්ය. දරුවන්ට ආදරය කරමින් දරුවන් හොඳින් රැකබලා ගැනීමේ වගකීම හමුවේ දෙමව්පියන්ටත්, සමස්ත වැඩිහිටි පරපුරටත්, රජයටත් පැවරෙන කාර්යභාරය සුළුපටු නොවේ.
නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් ගොඩනැගීම වෙනුවෙන් මිලියන 4.5කට අධික පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන්නට ඉඩ ලැබීම පිළිබඳව අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම අතිශයින් සතුටට පත්වෙමි.* ඒ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කරමින් නිකුත් කළ නිවේදනයේ කොටසකි.
2017 අයවැය යෝජනා සඳහා අධ්‍යාපන ඇමැතිවරයා යෝජනා කළ සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2017 ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක විය. එය සිසුගත කිරීමේ ජාතික උත්සවය ඔක්තෝබර් 2දා අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණි. එයට ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයාද සහභාගි වූහ. එය පිළිබඳ පණිවුඩය ජනතාවට ගෙනයාමට රු. මිලියන ගණනාවක් වැයකර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩසටහනක් ද දියත් කෙරුණි. නමුත් අඬබෙර ගසා ආරම්භ කළ සුරක්ෂා රක්ෂණාවරණයටද අවුරුද්දක් ගතවන විට සුරක්ෂාවක් නැතිවිය.
රුපියල් මිලියන 2700කට තමයි මෙය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අධ්‍යාපන අමාත්‍යංශය ගිවිසුම්ගත වෙලා තිබෙන්නේ. රක්ෂණ ගිවිසුමට අනුව 2018 පසුගිය ඔක්තෝබර් 1 දායින් රක්ෂණය අවසන් වෙනවා. එයට පෙර සුරක්ෂා රක්ෂණය සඳහා ආණ්ඩුවෙන් ටෙන්ඩර් කැඳවනවා. එයට රක්ෂණ සමාගම් කිහිපයක් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ඒ අතරින් එක් අයෙක් තෝරා ගන්නවා. නමුත් යම්කිසි ගැටුමක් අර්බුදයක් නිසා එම ටෙන්ඩරය ලබාදෙන්නේ නෑ. ආරංචි විදිහට විදේශීය සම්බන්ධයක් ඇති සමාගමක් තමයි තෝරාගෙන සිටින්නේ. රක්ෂණය නතර වුණා. මාස දෙකකට යළිත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රක්ෂණය බාරදුන්නා. මේ මාස දෙක නොවැම්බර් 30දා අවසන් වුණා. ඊට පසු රක්ෂණය කිසිම ආයතනයකට බාරදීලා නැහැ. එලෙස අපට පැවසුවේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්ය.
මෙම රක්ෂණය දේශපාලන තීරණ මත ආරම්භ වුවද එයට යොදාගන්නේ ජනතාවගේ බදු මුදල්ය. එහි අරමුණ වශයෙන් සඳහන් වන්නේ දැයේ දරුවන් සදා සුරකින්නට යන්නයි. එහෙත් ඉන් දරුවන් සුරුකුණාද යන්න ගැටලුවකි. මේ රක්ෂණ සැලසුමට රු. මිලියන 2700ක් ආණ්ඩුව රක්ෂණ සංස්ථාවට ගෙවා තිබුණත් පසුගිය කාලය තුළ රක්ෂණ ප්‍රතිලාභ වශයෙන් සිසුන්ට ගෙවා තිබෙන්නේ රු. මිලියන 237යි. එතකොට ඉතිරිය තනිකරම රක්ෂණ සංස්ථාවට විශාල ලාභයක්. මේක කිසිම තේරුමක් නැති වැඩක්. ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් කීවේය.
අධ්‍යාපන අමාත්‍යංශය හරහා රක්ෂණ වැඩසටහන මෙහෙයුම් කටයුතු සිදුවේ. අමාත්‍යංශ වෙබ් අඩවියේ වෙනම ඉඩක් සුරක්ෂා රක්ෂණයට වෙන්ව ඇත. එමෙන්ම එහි වෙනම අංශයක්ද සුරක්ෂා සඳහා වෙන්කර තිබේ. නමුත් අප උත්සාහ කළද අමාත්‍යංශ ලේකම්වරයා හෝ සුරක්ෂා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට හැකිවුණේ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් එහි වත්මන් ස්වභාවය අපට පැවසුවේ මෙලෙසිනි.
දැනට රක්ෂණ ආවරණ ප්‍රතිලාභ ලබාදීම සඳහා අයදුම්පත්, අපි වගේම රක්ෂණ සංස්ථාවත් බාර ගන්නවා. වැඩසටහන නවත්වා නැහැ. රක්ෂණ ප්‍රතිලාභ ලැයිස්තු ලබාගන්නවා. නමුත් නිලධාරීන්ට තීරණය කිරීමට බැහැ රක්ෂණය ඉදිරියට පවත්වාගෙන යන බවට. ඒ සඳහා පවතින දේශපාලන ව්‍යාකූලත්වය පහව ගිහින් අලුත් ඇමැතිවරයෙක් පත්වී තීරණ ගත යුතුයි. එතෙක් කුමක් සිදුවේද කියලා පැවසීමට අපහසුයි.
ලංකාවේ පාසල් 11242ක් තුළ අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 45ක් නොමිලේ රක්ෂණය කිරීම භාරදූර කාර්යයකි. නමුත් සංඛ්‍යාලේඛන පිරික්සන විට පෙනෙන්නේ මේ ලාබාල වයසේ දරුවන්ට එතරම් රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍යතාවයක් නැති බවයි. රක්ෂණ සැලසුම යටතේ පාසල් දරැවකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රු.10,000 දක්වාද රෝහල් ගතවීමකදී රැ.200,000 දක්වාද, හදිසි මරණයකදී රු.100,000 දක්වාද මව හෝ පියා හදිසියේ මරණයට පත්වුවහොත් රු. 75,000ක්ද ලබාදීමට නියමිත විය. අවුරුදු 5 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ සිසුහු මෙම සැලසුමට ඇතුළත් වූහ.
රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර මාස පහකට පසු 2018 මාර්තු වනවිටත් ඉන් ප්‍රතිලාභ වශයෙන් ගෙවා තිබුණේ රු. මිලියන 27ක් පමණි. මාස 5ක් තුළ රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් පැමිණ තිබුණේ 6,600කි. ඉන් පෙනෙන්නේ ශිෂ්‍ය ප්‍රජාවගෙන් රක්ෂණ හිමිකම ලබාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් බවයි. මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ ජෝශප් ස්ටාලින් මෙසේද කීවේය.
මෙවර සිසුන්ට ලබාදුන් පෙළපොත් සියල්ලේම සුරක්ෂා රක්ෂණයේ දැන්වීමක් මුද්‍රණය කර තිබෙනවා. ඒක වැරදියි. මෙහි ප්‍රචාරණ වැඩ කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයයි. රක්ෂණ සංස්ථාවට තියෙන්නේ චෙක් එක ලියලා දෙන එක විතරයි. මේක රු. මිලියන 1500කට ඉන්දියන් සමාගමකට ප්‍රතිරක්ෂණය කරලා තිබෙනවා. ඉන් මිලියන 500ක කොමිස් එකක් ලැබී තිබෙනවා. අපි මේ කොමිස් මුදල ගැන හෙළිදරව් කළාම හිටපු අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ එම මුදලෙන් සුරක්ෂා රක්ෂණය මගින් ආවරණය නොවන රෝගවලට මුදල් ලබාදීමට අරමුදලක් හැදූ බවයි. දැන් ඒ මිලියන 500 කොහෙද කියලා අපිවත් දන්නෙ නැහැ. අපි නම් කියන්නේ මෙහෙම වියදම් කරන මුදලින් ළමා රෝහල්, පාසල්වල දන්ත ශල්‍යාගාර වගේ දේවල් හැදුවා නම් මීට වඩා ප්‍රයෝජනවත් කියලයි.
මහා පරිමාණයෙන් ප්‍රචාරය කර ආරම්භ කරන බොහෝ ව්‍යාපෘති නිසි සැලසුමකින් තොරවීම නිසා අතරමග නතර වේ. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අවසානයේ නමට පමණක් සීමා විය. සුරක්ෂා රක්ෂණයටද අත් වී ඇත්තේ එම ඉරණමයි. සැබවින්ම විශාල රක්ෂණ වාරිකයක් සමාගමකට ගෙවා ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රතිලාභ වශයෙන් ගෙවනා රක්ෂණ සැලසුමකින් ශිෂ්‍ය ප්‍රජාවට සුරක්ෂාවක් ලැබීමට වඩා සිදුවන්නේ ජනතාවගේ මුදල් නාස්තියකි.
කුසුම්සිරි විජයවර්ධන