2018 ජුලි 14 වන සෙනසුරාදා

කඳසුරිදුන් පුදන නිසි පිළිවෙත

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3061

ලාංකික ජනතාවගේ ජන ජීවිතය හා බැඳුණු දෙවිවරුන් අතරින් ප්‍රධානතම දෙවි කෙනකු වන්නේ කතරගම දෙවියෝය. බොහෝ දෙනා වසරකට වරක් හෝ කතරගම ගොස් දෙවියන් වැඳ පුදාගෙන බාර හාර වී එන්නේ පුරුද්දකට මෙනි. මේ කතරගම ඇසළ පෙරහර මංගල්‍ය සමයයි. මේ සමයේ බෞද්ධ, හින්දු ජනයා ලක්ෂ ගණනින් කතරගමට පැමිණෙන්නේ ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලය වැඳපුදාගෙන දේවාශිර්වාදය ලබාගැනීමටයි. එහෙත් නිසි පිළිවෙළට කතරගම වැඳපුදා ගන්නේ කෙලෙසදැයි බොහෝ දෙනාට අවබෝධයක් නැත. මේ සටහන කතරගම වන්දනාවේ යන සැමට නිසි අයුරින් කතරගම වැඳපුදාගැනීම සම්බන්ධව දළ අදහසක් ලබාදීමටය.

බෞද්ධයන් කතරගම දෙවියන් බෞද්ධ දෙවි කෙනකු ලෙස හඳුන්වන අතර හින්දුහු හින්දු දෙවි කෙනකු ලෙස හඳුන්වනු ලබති. හින්දු දේවකතා, පුරාණයන් සහ ලාංකික ජනප්‍රවාද තුළ කතරගම දෙවියන් පිළිබඳ විවිධ මතවාද තිබේ.

කතරගම දෙවියන් යනු බුදුන් වහන්සේට හා ධර්මයට ගරු කරන දෙවි කෙනකු ලෙස ඇතැමුන් සලකනු ලබති. ඇතැම් ජනප්‍රවාදවල උන්වහන්සේ සෝවාන් මාර්ගඵල ලාභියෙක් ලෙසද තවත් තැනක බුදු බව පතන බවද සඳහන් වෙයි. ඒ අනුව කතරගම පුදබිමට ඇතුළු වන බෞද්ධයන් කිරිවෙහෙර සෑරදුන් වන්දනාව පළමුකොට සිදුකළ යුතු බව කතරගම දෙවියන් පවා අනුදැන සිටින බව කියැවේ. කිරිවෙහෙර වන්දනා කරන බැතිමතුන්ට කිරිවෙහෙර හා මහා දේවාලය අතර මාර්ගයේ ගමන් කර පිටුපස වාහල්කඩින් රුහුණු කතරගම මහ දේවාල භූමියට ඇතුළු විය හැකිය. මහ දේවාල මළුවට ඇතුළු වන බෞද්ධයන් මුලින්ම වන්දනා කළ යුත්තේ කිරි විහාරයයි. කිරි විහාරය යනු දේවාල භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාව සහිත බුදුමැඳුරකි. ඉන් අනතුරුව තෙවනුවට වන්දනා කළ යුත්තේ එම පරිශ්‍රයේම පිහිටා ඇති අෂ්ඨඵල බෝධින් වහන්සේටයි. මෙලෙසින් බෞද්ධයන්ට අදාළ සියලු වන්දනා කටයුතු සිදුකිරීම කතරගම පුදබිමට පිවිසෙන සැමගේ පළමු කාර්ය විය යුතුව ඇත.

මෙම වන්දනාවෙන් අනතුරුව මීළඟට වන්දනා කළ යුත්තේ ගණදෙවි කෝවිලයි. කතරගම දෙවියන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස දේව සාහිත්‍යයේ සලකනු ලබන්නේ ගණ දෙවියන්ය. කතරගම දෙවියන්ට බාරහාරවීම්, බාරහාර ඔප්පු කිරීම්, පුදපූජා පැවැත්වීමට බැතිමතුන්ට ඉඩ සැලසේ. මහ දේවාලය වැඳපුදා ගැනීමෙන් අනතුරැව තේවානි අම්මාන් කෝවිල සහ වල්ලි අම්මා දේවාල වැඳපුදා ගැනීමටත් අවකාශය සැලසේ. බොහෝවිට ලාංකිකයෝ වල්ලි අම්මා දේවිය වැඳ තේවානි අම්මාන් කෝවිල වන්දනා කරති. තවත් පරිබාහිර දේවාල හා සිද්ධස්ථාන මේ බිමේ පවතින අතර බැතිමතුන්ට පසුව මෙම ස්ථාන වන්දනා කිරීමට හැකියාව පවතී.

හින්දු බැතිමත්හු කතරගම පැමිණෙන විට මුලින් වැඩසිටි කන්ද බලා යති. ඊට හේතුව වන්නේ හින්දු දේවකතා පුරාණයට අනුව ස්කන්ධ දෙවියන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ මුල්කාලීනව මෙම වනය ආශ්‍රිත කඳු මුදුනේ වැඩසිටි බව සඳහන් වීමයි. ඉන් අනතුරුව මැණික් ගඟ වෙත පැමිණ නා පිරිසුදු වී මහ දේවාල භූමියට ගොස් පළමුවෙන් ගණදෙවි වන්දනාවේ යෙදෙති. හින්දු බැතිමතුන්ද මහ දේවාලයට ගොස් පූජා ආදිය පවත්වනු ලබන්නේ ඊට පසුවය. තේවානි අම්මාන් කෝවිල වන්දනා කරනු ලබන හින්දුන්ගෙන් බොහෝ දෙනා වල්ලි අම්මා දෙවොලත් වන්දනා කරති. මෙම ක්‍රමවේදය හින්දු බැතිමතුන් විසින් අනුගමනය කරනු ලබන්නේ ඔවුන්ගේ විශ්වාසය හා ඇදහිලි මත පදනම්වය.

කතරගම දෙවියන් වන්දනාවට යන හැමදෙනාම පාහේ පූජා වට්ටියක් රැගෙන යති. පිළිවෙත් පිළිබඳ සඳහනේ දී ඒ පිළිබඳ සිහිපත් කිරීමත් වැදගත් වේ. බොහෝ විට කඩපිල්වලින් මිලදී ගන්නා පළතුරැ වට්ටි තුළ ඇති පළතුරු හොඳ තත්ත්වයේ නැත. දෙවියන් උදෙසා යමක් පිළිගන්වන විට එය තමා විසින්ම සාදා පිරිසුදුව පිළියෙළ කිරීම ඉතා වැදගත්ය. බැතිමතුන් වන්දනාව සඳහා කතරගම එන්නේ බොහෝ කාලයක් බලාසිට සැලසුම් කිරීමෙන් අනතුරුවය. එවන් තත්ත්වයක් තුළ හොඳ තත්ත්වයේ පළතුරු තමන් විසින්ම සකස් කර දෙවියන් වෙනුවෙන් පිළිගැන්වීම දේව කැමැත්තද වනු ඇත.

මේ වන විටත් පැවැත්වෙන ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයත් සමඟ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කතරගම ප්‍රදේශයට පැමිණෙති. ඔබද එලෙස මේ උතුම් පුදබිම වෙත පියනගන්නට සූදානම් වී සිටිනවා විය හැකිය. නිවැරදි පිළිවෙත් ඉටුකිරීමට මේ පුදබිම තුළදී ඔබ කටයුතු කරතොත් ඔබට දේවාශිර්වාදය වැඩි වැඩියෙන් හිමිවනු ඇත. පුදබිමේ අනාගතය වෙනුවෙන් පරිසරයට වන හානිය අවම කිරීමටද සියලු බැතිමතුන්ට වගකීමක් තිබේ. තවද දෙවියන් වැඳීම සහ පූජා පැවැත්වීම සමඟම දෙවියන් බුදුන් අනුදත් මාර්ගයේ ගමන් කිරීමටද සියල්ලෝ උත්සාහ කළ යුතුය. මන්ද, දෙවියන් ප්‍රිය කරන්නේ ගුණගරැක යහපත් මිනිසුන්ටය.

(වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව ප්‍රකාශයට පත්වන සුරිඳුනි කතරගම සඟරාවේ සංස්කාරක නිමල් ජයවීර මහතා සමඟ පැවැත්වූ සංවාදයක් ඇසුරිනි.)

 චමිඳු නිසල් ද සිල්වා