- මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි
ජාතික සමගිය සහ සංහිඳියාව ගැන බොහෝ දෙනෙක් නිතර කතා කරති. ජාතික සමගිය ගොඩනගන්නේ කෙසේ ද යන්න පිළිබඳ විවිධ සාකච්ඡා පවතී. මගේ වැටහීමනම් ජාතික සමගිය හෙවත් ජාතින් අතර සමගිය ගොඩනැගීමට සිංහල අලුත් අවුරුදු උත්සවය තරම් වෙනත් අවස්ථාවක් නැති බවය. සිංහල අලුත් අවුරුද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙසද හැඳින්වේ. සමහර අය මෙය සිංහල දෙමළ අවුරුද්ද ලෙසද හඳුන්වන බවක් දක්නට ලැබේ. එහෙත් මෙය තම වාසිය සඳහා තනාගත් ප්‍රයෝගකාරී නමක් බව කිව යුතුයි. එය එහෙම නම් සිංහල මුස්ලිම් අවුරුද්දක් ගැන සිංහල බර්ගර් අවුරුද්දක් ගැන ද කතා කළ හැකිය. එහෙත් එවැනි එක එක ජාතියට අනුකූල ලෙස ගත නොහැකිය.
සිංහල අලුත් අවුරුද්ද සිංහල - හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදිය. එයට ප්‍රධානම හේතුව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සියල්ලම සිංහලෙන් නොව හින්දු ආගමෙන් පැමිණි ඒවා වීමයි. හින්දු ආගමෙන් අපට පරිනාමය වූ චාරිත්‍ර මිස අප තනාගත් ඒවා නොවේ. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ වූයේ මිහිඳු මහ රහතුන්වහන්සේගේ ආගමනයෙන් පසුවය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඇති සෑම චාරිත්‍රයක්ම හින්දුන්ගේ චාරිත්‍ර වෙයි. අපේ මල්වර චාරිත්‍ර, මංගල චාරිත්‍ර, අවමංගල චාරිත්‍ර සියල්ල හින්දු චාරිත්‍ර වේ. සිංහලයන් ඒවා දිගටම අනුගමනය කිරීම නිසා සිංහල චාරිත්‍ර බවට පත්ව ඇත. ඉන්දියාවේ හින්දු ජාතිකයන්ගේ ආගම ද හින්දුවේ.
ජ්‍යෙතිෂයද සිංහල අවුරුදු චාරිත්‍රවලට සම්බන්ධය. ජ්‍යෙතිෂය පදනම් කරගෙන නැකැත් බිහිවී තිබේ. ජ්‍යෙතිෂය බිහිවූයේ හින්දුන්ගෙනි. ඒ තුළ ඇත්තේ ද හින්දු ආගමික චාරිත්‍ර වේ. පසුව ඒවා සිංහල අවුරුදු චාරිත්‍ර බවට පරිවර්තනය විය.
දෙමළ යනු ආගමක් නොවේ. ජාතියකි. ඒ අය හින්දු ආගම් සහ වෙනත් ආගම් අදහයි. පුරාණ ඉන්දියාව විවිධ ආගම් සහ දර්ශනවල තෝතැන්නක් බවට පත්ව තිබුණි. ඒ නිසා දෙමළ කතා කරන ජනයා විවිධ ආගම් ඇදහූ බව පෙනේ. එහෙත් සිංහල, දෙමළ චාරිත්‍ර යැයි පැවසෙන්නේ දෙමළ ජාතිවාදය පදනම් කරගෙනය. බොහෝ දෙනා පවසන්නේ අද සිංහල අවුරුදු චාරිත්‍ර ගිලිහෙමින් පවතින බවය. එය වැරදි අදහසකි. චාරිත්‍ර ගිලිහෙන්නේ නැත. ඒවා අනුගමනය කරන අය එමටය. එහෙත් මෙතැන සිදුව ඇත්තේ චාරිත්‍ර ගිලිහී යාම නොව ඒවා අනුගමනය නොකිරීමය.
රටකට යම් යම් චාරිත්‍ර ඉටුකරන්නට අපහසු අවස්ථා තිබේ. යම් යම් හේතු නිසා ඒවා ඇතැම් විට ඉටු නොවනවා ඇත. එහෙත් ඒවායේ වැදගත්කම හුවා දක්වා ඉටුකරවීමට මහන්සි ගත යුතුය. ඒවා ඉටුකිරීමට හැකි පරිදි අපේ කාලසටහන සකස් කර ගැනීම අවශ්‍ය වෙයි. එහෙත් මෙහි වටිනාකම නොදන්නෝ කතා නොකරති. අනවශ්‍යයැයි කියති. ගිලිහෙමින් පවතින බව කියති. එසේ විවිධ කරුණු ඉදිරිපත් කරනුයේ සිය නොහැකියාව වසා ගැනීමටය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙන්නේ මෙය සිංහල රටක් නිසාය. අපේ රට “සිංහල රටය” යනුවෙන් අටුවා ග්‍රන්ථවල දක්වා තිබේ. මේ වසරේදී එක්තරා ඇමැතිවරයකු නිකුත් කළ දින දර්ශනයක සිංහල හින්දු අලුත් අවුරුද්ද හඳුන්වා ඇත්තේ සිංහල ද්‍රවිඩ අවුරුද්ද ලෙසටය. සිංහල දෙමළ අවුරුදු චාරිත්‍රයැයිද දක්වා තිබේ. මෙම පටලැවිල්ල ලිහා නොගත හොත් එය ජාතික සමගිය රැකීමට ද බාධාවක් වෙනවා ඇත යන්න මගේ වැටහීම වේ.
අලුත් අවුරුද්ද ජාතික උත්සවයකි. එහි ආගමක් නැත. සෑම ජාතිකයාටම විවෘතය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සැමටම එක්වී මෙම ජාතික උත්සවය සමරන්නට නොහැකි ඇයිද? ජාතික සමගිය ගැන නිරතුරුව කතා කරන සැම දෙනාටම එකට එකතුවී මෙම ජාතික උත්සවය සැමරිය යුතුය. එසේ නැතුව එය එකම රටේ සෙසු අය බලා සිටියදී සිංහල ජාතිකයන් පමණක් සැමරිය යුතු උත්සවයක් නොවේ. සෑම ජාතිකයාම එකට කා බී එක්ව අවුරුදු චාරිත්‍ර පැවැත්විය යුතුය. අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වි යුතුය. රටක ජාතික සමගිය ඇති කළ හැක්කේ ඒ රටේ ජාතික චාරිත්‍රවල අභ්‍යන්තරයට කිඳා බැසීමෙනි. මෙය රට කරවන අයට නොවැටහීම කනගාටුවට කරුණකි.
අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ආදි රටවල විවිධ ජාතීහු ජීවත් වෙති. එම රටවල නොයෙක් උත්සව ඇත. ඒවායේදී සැම ජාතිකයන්ට එකට එක්ව ඒවා සමරනු දැකගත හැකිය. ඔබ සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද, මැලේ ද, ඉංග්‍රීසි ද ආදී වශයෙන් සොයා නොබලයි.
ඒ නිසා අපේ රටේ ද සියලු ජාතීන් එක්ව උත්සව සැමරීම කළ යුතුය. එයට අවශ්‍ය පරිසරය ගොඩනැගීම වගකිව යුත්තන්ගේ යුතුකමකි. එසේ නැතිව වෙනම උත්සව පවත්වා ජාතික සමගිය ගොඩනැගීම ගැන කතා පැවැත්වීම වැරදි වේ. එලෙස පිටස්තරව සිට ජාතීන් අතර සමගිය ගොඩනැගීම අසීරුය. වගකිවයුත්තන් එයට වැඩපිළිවෙළක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙම චාරිත්‍ර ඉටුකිරීමට සැවොම අනුගත විය යුතුය. එසේ නොකරන්නේ අපේ සංස්කෘතියට අනුගත නොවන පිරිසයි. මුල් කාලයේදී එය ගමේ පන්සලෙන් ඉටුවූ අතර එය අද ජනමාධ්‍යයෙන් කළයුතුවේ. එලෙස චාරිත්‍ර වාරිත්‍ර ඉටු නොකිරීම ජන ජීවිතයට අයහපත් ලෙස බලපායි. යම් සංස්කෘතියකට අනුගත නොවන අයට එහි බලපෑමක් ද නැති බව කිව යුතුය. පවුල් පසුබිම කෙසේ වුවද ඉටුකිරීම වැදගත්ය. තම තමාට ඇති හැකි හැටියට කටයුතු කළ යුතුය. ජාතික සමගිය පිළිබඳ කතා කර සිංහල අය පමණක් අවුරුදු නැකැතට වෙනම කිරිබත් කෑ යුතු නොවේ. එයින් ජාතික සමගියක් ඇති නොවේ. අතීතයේ අපේ බොහෝ ගැමි ගෙවල්වල ආහාර පාන වෙනත් ජාතීන් සමඟ හුවමාරු කරගත් අවස්ථා ඇත. මේ තත්ත්වය අද ද ස්වේච්ඡාවෙන් ගොඩනැගිය යුතු අතර බලහත්කාරයෙන් කළහැකි දේවල් නොවේ.
ජ්‍යොතිෂය හා අලුත් අවුරුදු චාරිත්‍ර අතර ද විශාල බැඳීමක් තිබේ. අලුත් අවුරුද්ද ආරම්භ වෙන්නේ ජ්‍යොතිෂය නිසාය. යමෙකුට ජ්‍යොතිෂය විශ්වාස කළ නොහැකි නම් ඔහුට අවුරුදු චාරිත්‍ර සිතට එකඟව ඉටුකළ නොහැක. ජ්‍යෙතිෂය ද හින්දු සංස්කෘතියට සම්බන්ධ නිසා එමගින් හින්දු බලපෑම ද ඇතිවේ. අලුත් අවුරුද්දේ ග්‍රහයන් මාරැවන බව ජ්‍යොතිෂය පිළිගනී. එය එම විෂයට අදාළ දෙයකි. එම ජ්‍යෙතිෂ විෂය පිළිගන්නා අය එය නිවැරදියයි අදහසයි. ජ්‍යෙතිෂය පිළිනොගන්නේ නම් අවුරුදු චාරිත්‍ර පිළිගැනීම කළහැකි නැත. ජ්‍යෙතිෂය අනුව කෙනෙකුට නරකයැයි කියන දෙය සැමටම නරක නැත. එසේම කෙනෙකුට යහපත් කියන දෙය අනෙකාට යහපත් නොවිය හැකියි. එය එකිනෙකාගේ පිළිගැනීම අනුව සිදුවේ.
ශතවර්ෂාධික කාලයක් පැවතගෙන එන ජ්‍යොතිෂය බොරුයයි කිව නොහැක. එය පිළිගැනීම හෝ නොගැනීම වෙනත් කරුණකි. අද අපේ සංස්කෘතිය තුළට කිඳා බැස තිබේ. එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්ව ඇත. ඒ නිසා කටට ආ පලියට බොරුයැයි කිව නොහැක. අවුරුදු චාරිත්‍ර ජ්‍යෙතිෂය මත පදනම් නිසා එහි යම් සත්‍යයක් තිබේ. එහි ප්‍රතිඵල ලැබෙන්නේ අනුගමනය කරන අයගේ චිත්තධාරා අනුවය. සිංහල සංස්කෘතිය නොසලකන අය සිටිය හැකිය. ඒ අය එය නොසැලකීම වෙනත් කරුණකි. යමකු සඳහා කේන්ද්‍රයක් තනන්නේ එය බලන අය සිටින බැවිනි. විශ්වාස කරන හා නොකරන අයද සිටිය හැකිය. එය ඒ අයගේ මතය අනුවයි. විශ්වාස කරන අය නිවැරදියැයි ද නොකරන අය වැරදියයිද පටු සරල රේඛාවකින් බෙදාවෙන් කළ නොහැකිය. සංස්කෘතිය යනු පොදු පිරිසකගේ මතයකි. එය වෙනස් කිරීමට තනිව කළ නොහැකිය. එසේම එය නිවැරදි ද වැරදි ද යන්න අනුගමනය කරන අයගේ මතය අනුව තීරණය වේ.
එසේම අවුරුදු චාරිත්‍ර ද ඉටුකරන අය සිටින අතර ඉටුනොකරන අයද වෙති. ඉටුකිරීම නිවැරදි යැයි නොකිරීම වැරදියැයි කිව නොහැක. එය ඒ ඒ අයගේ අදහස් අනුව තීරණය විය යුත්තකි. එසේම අවුරුදු චාරිත්‍ර විධි හුදු සරල විනෝදයට පමණක් ඉටුකරන අය අද රටේ වැඩිය. එහෙත් ඒවායේ හරය වටහාගෙන සමාජයට පාඩමක් ගෙන දෙනසේ ඉටුකළ යුතුය. රටක සැමදෙනා එක්ව එකම වෙලාවට ආහාර ගැනීම, හිසතෙල් ගෑම, වැඩ අත්හැරීම, වැඩ පටන් ගැනීම කොතරම් අගේද? එයින් ඒ අය අතර සහජීවනය එකමුතුකම සපථ කරයි. එහෙත් මෙහිදී අප සැලකිවයුත්තේ මෙය සිංහල ජාතිකයන් පමණක් පෞද්ගලිකව සිදු නොකර පොදුවේ සෑම දෙනාටම පුළුල් කළයුතු බවය. එවිට සරල තත්ත්වය එයට වඩා අර්ථවත් වෙනු ඇත. එක රටක සිටින එක ජාතියක් පමණක් නොව සියලු ජාතීන්ම සියලු අවස්ථා තම තමාට පෞද්ගලික නොව සැමට පොදු බව වටහාගෙන ක්‍රියාකළ යුතුය.
ජාතික සමගිය ඇති කිරීම හුදු සටන් පාඨයක් හෝ දේශපාලන වැකියක් කර නොගෙන එය සැමවිට ප්‍රායෝගිකව ඉටුකිරීම වැදගත් වේ. ඒ සඳහා සිංහල අවුරුද්ද සැමරෙන වකවානුව සැම දෙනාටම ඉතාම වැදගත් වෙයි. අපේ රටේ ජාතික සමගිය ඇති කිරීම අවශ්‍ය බව අපට මතක් වන්නේ යම් අයහපත් සිද්ධියක් සිදුවූ විටය. එහෙත් එයට පෙර ජාතික සමගියේ වැදගත්කම ගැන ජනතාව තුළ අදහසක් ඇති කිරීම සෑම දෙනාගේම වගකීම වේ. එය ආණ්ඩුවේ හෝ වෙනත් අංශයකින් කළයුතු නොවේ. අප අප තුළින්ම ක්‍රියාත්මක විය යුතුය.
► සටහන :- යසවර්ධන රුද්රිගු