2025 මැයි 03 වන සෙනසුරාදා

නව පාප් වහන්සේ කවුරුන් විය හැකිද?

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05 135

ලොව පුරා වෙසෙන රෝමානු කතෝලිකයන් බිලියන 1.4කගේ ආධ්‍යාත්මික නායකයා වූ පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූයේ පසුගිය 21 වැනි සඳුදාය. ඉන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය මැයි මස 7 දින ආරම්භ වීමට නියමිතය. කොන්ක්ලේව් ලෙසින් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය තුළින් පත්කර ගැනීමට නියමිතව ඇත්තේ 267 වැනි පාප් වහන්සේය. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන්ය. යුරෝපයෙන් 53 ක්, ආසියාවෙන් 23 ක්, ලතින් අමෙරිකාවෙන් 21 ක්, අප්‍රිකාවෙන් 18 ක්, උතුරු අමෙරිකාවෙන් 16 ක් සහ ඕෂනියාවෙන් 4 දෙනෙක් වශයෙන් දැනට වයස අවුරුදු 80ට අඩු කාදිනල්වරුන් 135 දෙනෙක් නව පාප් පදවිය සඳහා තෝරා ගැනීමට සුදුසුකම් ලබා සිටිති. එහෙත් අපෝස්තලික ව්‍යවස්ථාවේ කාදිනල්වරුන් 120 කට වඩා වැඩි සංඛ්‍යාවකට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගි විය නොහැකි බව සඳහන් කරයි. ඡන්දදායක කාදිනල්වරු 120 දෙනා තෝරා ගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව Universi Dominici gregis (1996) මගින් අර්ථ දක්වා ඇති පරිදි, වත්මන් පල්ලියේ නීතිය යටතේ, ශුද්ධාසනය හිස් වන දිනයේ වයස අවුරුදු 80 වන නොඉක්මවූ කාදිනල්වරුන්ට පමණක් නව පාප්වරයකු තෝරා පත් කරගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

නව පාප්වරයකු තෝරා ගැනෙන්නේ රහස් ඡන්දයකිනි. ඒ සඳහා ඡන්දය හිමි කාදිනල්වරු 120 දෙනා රෝමයේ සිස්ටයින් දේවස්ථානයට රැස්වෙති. මෙම සමුළුව අතිශය රහසිගත ක්‍රියාවකි. අපෝස්තලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, තහවුරු කරන ලද සහ හදිසි අවශ්‍යතාවයක් ඇති අවස්ථාවන්හිදී හැර, ඡන්දය පැවැත්වෙන ප්‍රදේශයෙන් පිටත කිසිවකු සමඟ කාදිනල්වරුන්ට සන්නිවේදනය කිරීමට අවසර නොමැත. ස්වර්ගස්ථ පාප්වරයකු සඳහා පැවැත්වෙන අවමංගල්‍ය චාරිත්‍ර හා දිව්‍ය පූජාවෙන් පසුව, ඡන්දය හිමි කාදිනල්වරුන් සිස්ටයින් දේවස්ථානයට යන අතර, එහිදී ඔවුන් අභිමතය පරිදි දිවුරුම් දී මහජනතාවට එහි ඇතුළු විය නොහැකි ලෙසට දොරටු වසා දැමේ. ලොව වඩාත්ම රහසිගත ඡන්දය වන්නේ පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්ද විමසීමය.

ඔවුහු සියලු‍ බාහිර සම්බන්ධතාවලින් ඈත්ව එම දෙව් මැඳුරේ යාච්ඥා කරමින් දේව කැමැත්ත අනුව ඔවුන් අතුරින් කෙනකු නව පාප් වහන්සේ ලෙස තෝරා ගනිති. සෑම කාදිනල්වරයකුම ඡන්ද පත්‍රිකාවක තම කැමැත්ත ප්‍රකාශ කරන අතර පාප් වහන්සේ ලෙස පත්වන්නේ තුනෙන් දෙකක බහුතරයක් හිමි කරගන්නා කාදිනල්වරයාය. කිසිවකුට හෝ තුනෙන් දෙකක බහුතරයක් හිමි නොවුණහොත් මෙම ක්‍රියාව යළි යළිත් සිදුකෙරෙන අතර ඒ සඳහා දින ගණනක් හෝ සති ගණනක් ගත විය හැකිය.

මෙතෙක් පත්ව ඇති පාප්වරුන් 266 දෙනකුගෙන් 217 ක්ම ඉතාලි ජාතිකයන්ය. ඡන්දය පැවැත්වෙන සමස්ත කාලය පුරාම කාදිනල්වරු දෙව් මැඳුරේ දොරටු වසාගෙන තමන් අතුරින් ලොවට වඩා යහපත් සේවයක් සැලසිය හැකි කාදිනල්වරයා නව පාප්තුමන් ලෙස පත් කිරීමට තමන් මෙහෙයවන ලෙසට දෙවියන් යදිති. පළමු වටයෙන් හෝ දෙවැනි වටයෙන් පාප්තුමකු තෝරාගත නොහැකි වුවහොත් දෙව් මැඳුරේ දුම් කුලු‍නක් තුළින් කළු පැහැති දුමාරයක් නිකුත් කර තවමත් පාප්තුමකු තෝරා නොගත් බවට ජනතාවට සංඥා කෙරේ. පාප්තුමකු තෝරාගත් විට එම කුලුනින් නිකුත් වන්නේ සුදු පැහැති දුමාරයකි. ඉන් ගම්‍ය වන්නේ තමන්ට නව පාප්වරයකු පත්ව ඇති බවයි. සුදු දුමාරය නිකුත් වී හෝරාවකට පමණ පසු නව පාප්තුමන් ශාන්ත පීතර චතුරශ්‍රය දෙසට ඇති සඳැල්ල මත පෙනී සිටියි. එහිදී ජ්‍යෙෂ්ඨ කාදිනල්වරයකු ලතින් බසින් “හබිමස් පෙපම්” යනුවෙන් ප්‍රකාශ කරයි. එහි අරුත අපට නව පාප්වරයකු සිටිනවා යන්නයි.

නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට විශ්වාස කරන කාදිනල්වරුන් කිහිප දෙනකු මේ වන විට හඳුනාගෙන ඇත. ඔවුන් අතුරින් පෙරමුණ ගෙන සිටින්නේ 70 හැවිරිදි ඉතාලි ජාතිකයකු වන පියෙට්රෝ පැරොලින් කාදිනල්වරයාය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ වතිකානයේ රාජ්‍ය ලේකම්වරයා වූ ඔහු පාප් වහන්සේගේ ප්‍රධාන උපදේශකවරයා ද විය. රාජ්‍ය ලේකම්වරයා කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය වන රෝම කියුරියාවේ (ශුද්ධාසනයේ පරිපාලන ආයතනය) ද ප්‍රධානියා වෙයි. ඔහු කතෝලික ධර්මයේ පාරිශුද්ධභාවයට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගෝලීය දෘෂ්ටියකට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන බවට විචාරකයන් අදහස් පළ කර ඇත. සමලිංගික විවාහ නීතිගත කිරීම විවේචනය කරන අතර පෙර පාප්වරුන් 266 දෙනාගෙන් 213 දෙනකු පමණ ඉතාලි ජාතිකයන් වූ අතර වසර 40 ක් තුළ ඉතාලි පාප්වරයකු නොසිටි බැවින් ඔහුට එම අවස්ථාව හිමිවිය හැකි බවට අදහස් පළ වී ඇත.

පිලිපීන ජාතික ලු‍වි අන්තෝනියෝ ගෝකිම් ටේගල් කාදිනල්වරයා මේ වන විට 67 වැනි වියේ පසුවන්නෙකි. ජනතාව අතර ක්‍රියාකාරී ආගමික නායකයකු ලෙස ඔහු ප්‍රසිද්ධියක් උසුලයි. පිලිපීනයේ කතෝලික සභාව ඉතා බලගතුය. එහි ජනගහණයෙන් සියයට 80 ක් පමණ කතෝලිකයෝ වෙති. දැනට කාදිනල්වරුන්ගේ විද්‍යාලයේ පිලිපීන කාදිනල්වරුන් පස්දෙනෙක් සිටිති. ඔවුන් සියල්ලන්ම කාදිනල් ටේගල්ට සහාය දක්වන්නේ නම් එය සැලකිය යුතු බලපෑමක් වනු ඇත. ඔහු කතෝලික සභාව තුළ මධ්‍යස්ථ පුද්ගලයකු ලෙස සලකනු ලබන අතර, සමාජ ගැටලු‍ සඳහා කැපවීම සහ අභාවප්‍රාප්ත පාප්තුමා මෙන්ම සංක්‍රමණිකයන් කෙරෙහි අනුකම්පා සහගතව කටයුතු කිරීම නිසා “ආසියානු ෆ්‍රැන්සිස්”‍ ලෙස හැඳින්වේ. ගබ්සාවට විරුද්ධ ඔහු අනායාස මරණයට (අධික වේදනාවෙන් පෙළෙන තැනැත්තකු ස්ව කැමැත්තෙන් මරණය වැළඳ ගැනීමට) එරෙහි වූවෙකි.

65 හැවිරිදි ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු කාදිනල්වරයා අප්‍රිකානු ජාතිකයකු වන අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පුරවැසියෙකි. අප්‍රිකානුවන් විශාල පිරිසක් කතෝලික දහම වැළඳගෙන ඇති බැවින් මීළඟ පාප් වහන්සේ අප්‍රිකාවෙන් පත්විය යුතු බවට මතයක් ගොඩනැගී තිබේ. ඔහු වසර හතක් කිංෂාසා හි අගරදගුරු පදවිය දැරූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාදිනල් ධුරයට පත් කරන ලදී. ඔහු සංස්කෘතික වශයෙන් ගතානුගතිකයෙකි, සමලිංගික විවාහයට විරුද්ධ වූවෙකි.
පීටර් කොඩ්වෝ අපියා ටර්ක්සන් කාදිනල්වරයා 76 හැවිරිදි ඝානා ජාතික කාදිනල්වරයෙකි. ඔහු තෝරා පත් වුවහොත් වසර 1,500 ක් පුරාවට පළමු අප්‍රිකානු පාප්වරයා වීමේ ගෞරවය ඔහුට හිමිවනු ඇත. 2003 දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා යටතේ කාදිනල්වරයකු ලෙස පත් කරන ලද පළමු ඝානා ජාතිකයා ඔහුය. කාදිනල් ටේගල් මෙන්ම, කාදිනල් ටර්ක්සන් ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෝරා පත් කරගන්නා අවස්ථාවේ එම තනතුරට සුදුස්සෝ ලෙස නිර්දේශ වී සිටියහ. බොහෝ අප්‍රිකානු කාදිනල්වරුන් මෙන්, ඔහු ද ගතානුගතිකයෙකි. ඔහු තම උපන් රට ඇතුළු අප්‍රිකානු රටවල සමලිංගික සබඳතා ප්‍රතික්ෂේප කරන්නෙකි. ඝානා පාර්ලිමේන්තුව LGBTQ+ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවීමේ පනතක් ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කළ අවස්ථාවේ, සමලිංගිකත්වය වරදක් ලෙස නොසැලකිය යුතු යැයි තමා සිතන බව ටර්ක්සන් පැවසීය. 2012 දී, වතිකානු අගරදගුරුවරුන්ගේ සමුළුවකදී යුරෝපයේ ඉස්ලාම් ආගම පැතිරීම පිළිබඳව ප්‍රකාශ කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු ඒ සඳහා සමාව අයැද සිටියේය.

හංගේරියානු ජාතික පීටර් එර්ඩෝ 72 හැවිරිදි කාදිනල්වරයෙකි. අවුරුදු 51 දී කාදිනල්වරයකු බවට පත් ඔහු, 2006 සිට 2016 දක්වා යුරෝපීය අගරදගුරු සම්මේලන කවුන්සිලයට දෙවරක් නායකත්වය දී ඇති අතර කතෝලික සභාව තුළ ඉතා ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු අප්‍රිකානු කාදිනල්වරුන් අතර ජනප්‍රියත්වයක් උසුලන අතර ඕතඩොක්ස් පල්ලිය සමඟ කතෝලික සබඳතා පිළිබඳව කටයුතු කර ඇත. බුඩාපෙස්ට්හි අගරදගුරුවරයා වන අතර නව පාප් තනතුර සඳහා ඉදිරියෙන්ම සිටින්නෙකි. පවුල පිළිබඳ ඔහුගේ ගතානුගතික අදහස් පල්ලියේ ඇතැම් කොටස්වල ප්‍රසාදය දිනා ඇත. මිනිස් ජාවාරමකට සමාන බැවින් පල්ලිය සංක්‍රමණිකයන් පිළි නොගන්නා බවද ඔහු සඳහන් කර තිබිණි.

ජර්මානු ජාතික රයින්හාඩ් මාක්ස් 71 හැවිරිදි ජර්මානු ජාතික කාදිනල්වරයෙකි. ජර්මනියේ මෙන්ම වතිකානයේ ද ප්‍රබල චරිතයකි. මියුනිච් සහ ෆ්‍රීසිං හි අගරදගුරුවරයා වූ ඔහු 2013 දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් උපදේශකයකු ලෙස තෝරා ගන්නා ලදී. වසර 10 ක් පුරා ඔහු පල්ලියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව පාප් වහන්සේට උපදෙස් දුන් අතර තවමත් වතිකානුවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කරයි. කතෝලික ඉගැන්වීම්වල සමලිංගිකයන් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් කෙරෙහි වඩාත් සහනශීලී ප්‍රවේශයක් වෙනුවෙන් ඔහු පෙනී සිට ඇත. 2021 දී ජර්මනියේ කතෝලික පල්ලියේ ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම මත ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළ නමුදු එම ඉල්ලා අස්වීම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

80 හැවිරිදි මාක් ඔවෙලට් කාදිනල්වරයා කැනේඩියානු ජාතිකයෙකි. 2005 සහ 2013 පාප් තනතුරට සුදුස්සෙක් ලෙස නම් කර තිබිණි. වසර ගණනාවක් මුළුල්ලේ ඔහු ලොව පුරා රදගුරු පදවි සඳහා අපේක්ෂකයන් තෝරා ගන්නා වතිකානු අගරදගුරුවරුන් සඳහා වූ ඩිකාස්ටරිය (පල්ලියේ පරිපාලනයේ හෝ පල්ලියේ පාලනයේ නිශ්චිත ක්ෂේත්‍ර සඳහා වගකිව යුතු දෙපාර්තමේන්තුව) පාලනය කළ බැවින්, කතෝලික ධූරාවලියේ අනාගත සාමාජිකයන් පරීක්ෂා කිරීමේදී ඔහු සැලකිය යුතු හා ආකෘතිකමය වශයෙන් කාර්යභාරයක් ඉටු කර ඇත. පූජකවරුන් සඳහා බ්‍රහ්මචර්යා මූලධර්ම පවත්වා ගැනීමට දැඩි ලෙස පක්ෂව සිටින නූතන දෘෂ්ටියක් සහිත පුද්ගලයකු ලෙස ඕවෙලට් සැලකේ. ඔහු කාන්තාවන් පූජකවරියන් ලෙස පැවිදි කිරීමට විරුද්ධ වන නමුදු, කතෝලික සභාව පවත්වාගෙන යාම සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැදගත් බව ප්‍රකාශ කර ඇත.

රොබට් ප්‍රෙවොස්ට් 69 හැවිරිදි ඇමෙරිකානු ජාතික කාදිනල්වරයෙකි. චිකාගෝ හි උපත ලද ඔහුට පාප් තනතුර සඳහා අවශ්‍ය ගුණාංග රාශියක් ඇති බව සැලකේ. වසර දෙකකට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ අගරදගුරුවරුන් සඳහා වූ ඩිකාස්ටරියේ ප්‍රධානියා ලෙස මාර්ක් ඕවෙලට් වෙනුවට ප්‍රෙවොස්ට් තෝරාගත් අතර, නව අගරදගුරුවරුන් තෝරා ගැනීමේ කාර්යය ඔහුට භාර දුන්නේය. ඔහු එහි අගරදගුරු පදවියට පත් කිරීමට පෙර පේරු හි මිෂනාරිවරයකු ලෙස වසර ගණනාවක් සේවය කළේය. ප්‍රෙවොස්ට් ඇමෙරිකානුවකු ලෙස පමණක් නොව, ලතින් ඇමෙරිකාව සඳහා වූ පාප්තුමාගේ කොමිසමේ ප්‍රධානියා ලෙස සැලකෙයි. ඔහු ප්‍රතිසංස්කරණවාදියකු ලෙස සලකනු ලැබේ.

පියෙර්බැටිස්ටා පිසාබෙල්ලා කාදිනල්වරයා ද නව පාප්වරයා ලෙස පත්වීමට සුදුසුකම් ඇති කාදිනල්වරයෙකි. ඉතාලියානු ජාතිකයකු වන ඔහු 60 වැනි වියේ පසුවන්නෙකි. වයස අවුරුදු 25 දී පූජකවරය ලද ඔහු වර්තමානයේ ජෙරුසලමේ වාසය කරයි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වසර පහකට පෙර ඔහු ජෙරුසලමේ කාදිනල්වරයා ලෙස පත් කළ අතර ඊශ්‍රායල සහ පලස්තීනුවන් පිළිබඳ සහ ගාසා තීරයේ සිදුවන යුද්ධය පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහිත කාදිනල්වරයෙකි.

කැනේඩියානුවකු වන මයිකල් චර්නි 78 හැවිරිදි කාදිනල්වරයෙකි. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාදිනල්වරයකු ලෙස පත් කරන ලද ඔහු ලොව පුරා පුණ්‍ය කටයුතු සහ මිෂනාරි කටයුතු සඳහා ප්‍රසිද්ධ කතෝලික පල්ලියේ ප්‍රමුඛ පෙළේ නිකායක් වන ජේසු නිකායේ සාමාජිකයෙකි. පැරණි චෙකොස්ලොවැකියාවේ උපත ලද අතර, ඔහුගේ පවුල ඔහු කුඩා වියේදී කැනඩාවට සංක්‍රමණය විය. ලතින් ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ බහුලව සේවය කර ඇති මයිකල් චර්නිකාදිනල්වරයා එහිදී අප්‍රිකානු ජේසු නිකායික ආධාර ජාලය ද ආරම්භ කළේය. මයිකල් චර්නි කාදිනල්වරයා ප්‍රගතිශීලීන් අතර ජනප්‍රිය වන අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සමීප යැයි සැලකේ. ඔහු දැනට වතිකානුවේ මානව සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ඩිකාස්ටරියේ ප්‍රධානියා වෙයි. ශක්තිමත් අපේක්ෂකයකු වුවද, කාදිනල්වරුන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පසු යළිත් වරක් ජේසු නිකායික පාප්වරයකු තෝරාගනු ඇතැයි සිතිය නොහැකිය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05