කහ හෝ සුදු ඉර නමින් හඳුන්වන පදික මාරුව දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවත් ඒ මත මසකට අනතුරු 6-7 ක් සිදුවන බවත් එමගින් දින 10කට වරක් පදිකයෙක් මියයන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. එමෙන්ම ගත වූ වසර 11ක් තුළ පදික මාරුවේ වූ අනතුරැවලින් පුද්ගලයන් 1000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර 2010 වර්ෂයේදී පමණක් 120 දෙනකු මරණයට පත්ව තිබෙන බව හා එය වසරකට වාර්තාවූ ඉහළම අගය ලෙස ඒ මහතා පෙන්වා දෙයි.
පදික මාරුවේ අනතුරු නිසා වසරකට අවම වශයෙන් 80 දෙනකු මියයන බවට දත්ත වාර්තා වන අතර ඉන් අහිමි වන්නේ රැකගත යුතු වටිනා මිනිස් ජීවිත වේ. මේ අතුරින් බහුතරය පාසල් වියේ දරුවන් බවද සඳහන් කළ යුතුය. සෙසු පිරිස වැඩිහිටියන් වුවද මේ අනතුරැ සඳහා පූර්ණ වශයෙන් රියැදුරන් වගකිවයුතු නැත. පදිකයන්ගේ නොසැලකිල්ල, කල්පනාවෙන් තොරවීම හා ඉවසීමෙන් තොරවීම මරණවලට හේතූන්ය. එමෙන්ම මෙරට පවතින අක්‍රමවත් හා අපිළිවෙලින් යුත් මාර්ග පද්ධතියද ගැටලුවක් වී තිබේ.
අතීතයේ මාර්ග අනතුරු බහුලව වාර්තා වී ඇත්තේ යුරෝපීය රටවලිනි. ඒ රථවාහන බහුලව භාවිත කිරීමත් සමඟය. නමුත් දැන් එවැන්නක් වාර්තා නොවන අතර රථවාහන භාවිතය අවම බවද කියති. මේ වන විට මාර්ග අනතුරු බහුලව වාර්තා වන්නේ ආසියාතික රටවල හා දියුණු වෙමින් පවතින රටවලය. මේ තත්ත්වය ලංකාවේ වර්ධනය කෙරෙහි බලපාන්නට ක්‍රමවත් නීති සහ බරපතළ දඬුවම් නොමැතිකම සහ රථවාහන හා රියැදුරන් පිළිබඳ මධ්‍ය තොරතුරැ ඒකකයක් නොමැති වීම බලපාන බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙයි. එමෙන්ම වාහන නැවැත්වීමේ බලය අධිකාරියකට පැවරීමද, වැරදිකරුවන්ට ස්වයංක්‍රීයව දඩ කොළ ලබාදීමේ ක්‍රමයක් නොමැති වීමද හේතුවක් බව කියයි.
ඇතැම් ප්‍රදේශවල වංගුව, පාසල, රෝහල, බස් නැවතුම්පොළ ආදී ස්ථානවල තිබෙන පදික මාරැ අක්‍රමවත් බවත් ඒවා ස්ථාපිත කොට ඇති ස්ථාන නොගැලපෙන නිසා අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පදික මාරැ සහ ආලෝක සංඥා පුවරු ස්ථාපනය කරන අතර එහි ඉංජිනේරුවරුන්ගේ අවධානය මේ සඳහා යොමුවන්නේ ද යන්න ගැටලුවකි.
මාර්ගය භාවිතයේදී රියැදුරන්ට මෙන්ම පදිකයන්ට මාර්ග විනය අත්‍යාවශ්‍ය බවත් එය ප්‍රගුණ කළ යුතු බවත් ඔහුගේ අදහසය. ඒ අනුව මාර්ගයේදී ජංගම දුරකතන භාවිතය වැරදිය. මාර්ගයේ හෝ පදික වේදිකාවේ ගමන් කරන විට දෙදෙනකුට හෝ ඊට වැඩි පිරිසක් වශයෙන් ගමන් කිරීම අනතුරකට හේතූවකි. වාහනය පෙනි පෙනී මාර්ගය හරහා ගමන් කිරීම මරැවාට අඬගැසීමකි. එවැනි විටෙක ඉවසීමෙන් මඳක් බලා සිටියේ නම් අනතුරු වැළකෙනවා නිසැකය. මෙරට පවතින අක්‍රමවත් මාර්ග, ආලෝක සංඥා හා පදික මාරු නිසා රියැදුරන් අධික පීඩනයෙන් කටයුතු කිරීම වැළකිය නොහැකිය. මේ නිසා පදිකයන්ද දැඩි අවබෝධයකින් ගමන් කළ යුතුය. කෙසේ නමුත් කහ ඉරක් පෙනෙන මානයේදී විනයගරැක රියැදුරන් රථයේ වේගය අඩු කරමින් පාලනයකට නතු කළ යුතුය.
මේ වන විට මාර්ග අනතුරු අතර යතුරුපැදි අනතුරු බහුලය. දෙවැනි තැන හිමිව ඇත්තේ පදිකයන් අනතුරට ලක්වීමටය. තෙවැන්න ත්‍රීරෝද රථ අනතුරුය. අනතුරුවලට හේතු අතර නවීන තාක්ෂණය හා දුරකතන භාවිතය මුල්තැන ගනී. මේ අනුව තමුන්ගේ ආරක්ෂාව අනුන්ට පවරා ගමන් කිරීම හෝ ධාවනය කිරීම අනතුරු බහුල වීමට ප්‍රධාන සාධකයකි. මේ නිසා ආචාරශීලී ගමන හා හැසිරීම කාගේත් ආරක්ෂාවට හොඳය. මෙවැනි යහපත් ආකල්ප නොවීම මත අනතුරු සිදුවීම බහුලය.
ප්‍රධාන මාර්ග ආශ්‍රිතව පැවති උප නගර මේ වන විට වර්ධනය වී එකම නගරයක් වශයෙන් දකින්නට ලැබේ. බොහෝ ස්ථානවල පැහැදිලි මාර්ග සංඥා නොමැත. තිබුණත් ඊට වඩා ඇස යොමු වන්නේ වෙනත් වෛවර්ණ දැන්වීම් පුවරු වෙතය. බොහෝ පදික මාරු ස්ථාන මැකී ගොස්ය. ඇතැම් පදික මාරු ඇත්තේ බස් නැවතුම මධ්‍යයේය. එමෙන්ම ඇතැම් නගරාශ්‍රිතව පදික මාරුවලට ඉහළින් පෙලිකන් ආලෝක කණු ඉදිකර තිබීම රාත්‍රියේදී පදික මාරුව හඳුනා ගන්නට පහසුවකි. මේ තත්ත්වය පිට පළාත්වල දකින්නට නැත. පූර්ණ වශයෙන් මාර්ගය අඳුරේ පැවතීම සහ පදිකයන් රාත්‍රියට අඳුරු පැහැ ඇඳුම් භාවිත කිරීමද අනතුරුවලට හේතුවක් වී ඇත.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයේ නිරත රියැදුරු මහත්වරුන්ගේ සේවා කාලය ඇතැම් විට අනවශ්‍ය ලෙස දීර්ඝ වීම පදික මාරුවේ හා මාර්ග අනතුරැ රුසක් සිදුවන්නට හේතුවකි.
වර්ෂාව සහිත දිනයන්හිදී පදික මාරුව නොපෙනීම සාමාන්‍ය තත්ත්වයකි. මේ දිනවල පදික මාරුව දැඩි අවදානම්ය. එය භාවිත කිරීමේදී අතිශය කල්පනාකාරී විය යුතුය. යුරෝපීය රටවල හිම වැටීම නිසා ඔවුන් පදික මාරුව කහ වර්ණයෙන් නිර්මාණය කොට ඇත්තේ හඳුනා ගැනීමේ පහසුවටය. එය උදාහරණයක් කොටගෙන ඝර්ම කලාපීය රටවලත් පදික මාරුව කහ පාටින් යෙදුවද එය අසාර්ථකය. මෙයත් අනතුරුවලට හේතුවකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඝර්ම කලාපීය රටවල මාර්ග සලකුණු හා පදික මාරැව සුදු පැහැයෙන් නිර්මාණය කරන්නට නියම කොට ඇත්තේ එබැවිනි. එම උපදේශය මත මාර්ගයේ කෙළවර දෙපස හා මැද වෙන්වන තීරුවද සුදු පැහැයෙන් නිර්මාණය කර තිබේ. යම් හෙයකින් සංවර්ධනය කොට අවසන් වූ මාර්ගවල දෙපස කෙළවරේ සුදු ඉරි නොතිබුණේ නම් පදික මාරැවේ හෝ මාර්ගයේ සිදුව ඇති අනතුරුවලට වඩා වැඩි සංඛ්‍යාවක් සිදුවීමට ඉඩ තිබුණි.
කතාව හා සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර