2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

සෞඛ්‍ය ලොක්කොත් ඇතුළට යැවූ ඖෂධ ජාවාරම

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 189

ඖෂධ හිඟය, හදිසි ඖෂධ මිලදී ගැනීම, බාල බෙහෙත් ආනයනය, එන්නත් විෂ වීම හරහා නිකරුණේ රෝගීන් මිය යාම වැනි සිදුවීම් හා කාරණා මෙරට සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුදයකට පත් කළේය. බාල හා හොර ඖෂධ හේතුවෙන් රෝගීන්ට වූ හානිය හෝ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ අසරණ රෝගීන්ට මෙතෙක් සාධාරණයක් ඉටුකර නැත.

මේ ගැන සෞඛ්‍ය වෘත්තීයවේදීන්, විද්වතුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව ගණනාවක් චෝදනා නගමින් අදහස් ප්‍රකාශ කළහ. මේ අතර ''අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව'' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබිණ. එමගින් ඉල්ලා තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ''ඉමියුනොග්ලොබීන්'' නැමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් 20 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ. සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂකවරුන් වන වෛද්‍ය කපිල වික්‍රමනායක, දේවගාන්ති සොලමන්, ගණකාධිකාරී හිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අය එසේ අත්අඩංගුවට පත්වූහ. මොවුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබීය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරාතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීමට යොමුවූ අතර ඊට ඉහතදී ඔවුන්ට එරෙහිව ගුවන් ගමන් තහනමක්ද ලබාගෙන තිබිණ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබියදී එහි සැපයුම්කරු මීට පෙර දිනකදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සුගත් ජනක ප්‍රනාන්දු නැමැත්තකු වන අතර ''අයුසුලේට් බයෝටෙක් ෆාර්මා'' සමාගමේ හිමිකරුය. එම පුද්ගලයා මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි.

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ හෙවත් ඉමියුනොග්ලොබීන් නැමැති ඖෂධ එන්නත් කුප්පි 22,500ක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුකර ඇති බව අනාවරණය කොටගෙන ඇත. මෙම ජාවාරම සඳහා තවත් පුද්ගලයන් කිහිප පෙළක් සම්බන්ධ බැවින් ඔවුන් අධිකරණය මගහැර විදෙස් ගතවීමට හැකි බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඇතුළු 9 දෙනෙක් වෙත ද විදෙස් ගමන් තහනමක් නිකුත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙනී සිටියාය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් හදිසි මිලදී ගැනීම යටතේ පස්දෙනකු විසින් සමන්විත ඇගයීම් කමිටුවක් විසින් කළ මිල කැඳවීම මත මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ මිල කැඳවීමක් හරහා බාල ඖෂධ තොගය ගෙන්වා තිබෙන බවද අනාවරණය වී ඇත. මෙම ඖෂධ තොගයේ තත්ත්ව පාලනය පිළිබඳව තහවුරු කර ගන්නා ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇතැයි හෙළි වී ඇතත් වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂකවරයා ඒ බව තහවුරු කර නැතැයිද හෙළි වී ඇත.

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කළ පසුව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලය ඉබි යතුරු දමා වසා ආරක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළාය. රහස් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙසද ඇය උපදෙස් දුන්නාය. ඒ අනුව අපරාධයට වගකිව යුතු ප්‍රධානම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සැකකරුවන් ඉදිරි දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ඩබ්ලිව්.ඕ.ආර්. සහතිකය ගොනුවට ලැබුණු පසු එම සහතිකය ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කර ඇද්ද යන්න සොයා බැලීමේ වගකීම සැකකරුවන් සිව්දෙනාටම ඇතැයිද ඒ සඳහා උපාධියක් අවශ්‍ය නොවන බවද කියා සිටියාය.

මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය වික්‍රමනායක මහතා විශේෂඥ පුහුණුවක් සඳහා 2022/01/04 වැනිදා විදෙස්ගත වී 2022/12/16 වැනිදා නැවත පැමිණ ඇති බවත් අදාළ සිද්ධියේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කොට ඇත්තේ ඔහු විදෙස්ගතව සිටියදී බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා තිබිණි. එසේම රහස් පොලිසිය එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විමර්ශනය කර නැති බවද අධිකරණයට දන්වා ඇත. මේ අනුව සාලිය පීරිස් මහතා පෙන්වා දී ඇත්තේ සේවාදායකයා යටතේ සේවකයන් 500ක් පමණ සේවය කරන බවත් ඖෂධ 14000 කට අධිකව පරීක්ෂා කිරීමට පැවරී ඇති බවත්ය. සේවාදායකයා තනතුරේ වැඩ බාරගැනීමට පෙර ලේඛනය ඉදිරිපත් කර ඇති බව පවසා ඇත. මෙහිදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබුණේ කවදා වැඩ බාරගත්තත් එම කටයුත්තට අදාළ රාජකාරිය ඉටුකළ යුතු බවය. මේ අතර දෙවැනි සැකකරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නැතැයි කී සාලිය පීරිස් මහතා මෙම ඖෂධ ගෙන්වීම සඳහා ටෙන්ඩරය දීමට මුල් වූ ඇමැතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කළ යුතු යැයිද කීවේය.

මේ අතර තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායිකාව සිද්ධියේ සැකකාරියක පමණකැයිද රජයෙන් කියන ඩබ්ලිව්.ඕ.ආර්. ලේඛන පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇයට නැතැයිද සේවාදායිකාවට දුන් කූඨ ලේඛනයක් නිසා ඇය නොමඟ ගොස් ඇතැයිද මේ නිසා ඇයට ඇප නියම කරන ලෙස ද ඉල්ලා සිටියේය. සැකකාර නෙරංජන් ධනංජය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු සමඟ හෝ කුමන්ත්‍රණය කර නැතැයිද ටෙන්ඩර් පත්‍රය ඔහුට ලැබුණු පසුව වව්චර් පත සකස් කිරීම පමණක් සිදුකර ඇතැයිද කීය.

අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේදී අනිවාර්යයෙන්ම දූෂණ ක්‍රියාවක් ඇතැයි කීවේය. සැකකරුට අපරාධය තනිව කළ හැක්කක් නොවන බවත් ඒ පසුපස අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සිටින බවත් එන්නත් මිලදී ගැනීම්වලට අත්සන් කර ඇත්තේ බබාලා නොවන බවද කියමින් මෙම සිදුවීමේ මහ මොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව පවසා හැකිනම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කොට තිබුණේ මීට පෙර නඩුව කැඳවූ නොවැම්බර් 15 වැනිදාය. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉදිරියේ කරුණු දක්වමිනි.

ව්‍යාජ ලිපිලේඛන භාවිත කරමින් ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වෙමින් හදිසි මිලදී ගැනීම මත මානව ප්‍රතිදේහ එන්නත් තොගය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. මේ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් ණය මුදල්වලින් මුදල් වෙන් කරවාගෙන ඇති බවත් හෙළි වී ඇත. 

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල විය. නමුත් ඊට එරෙහි නිසි පියවරක් ගනු නොලැබූ අතර ඔහුගේ අමාත්‍ය ධූරය පමණක් මාරු කිරීමට කටයුතු කෙරිණ. මේ පිළිබඳ චෝදනා නගන බොහෝ පාර්ශ්ව පවසන්නේ ඖෂධ ජාවාරමට හිටපු ඇමැතිවරයා ද වගකිව යුතු බවයි. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර