ශ්‍රී ලංකා ක්‍රිකට් හරියට දැන් ''හිඟන්නගේ තුවාලේ'' වාගේය. හැමෝම එහෙන් මෙහෙන් කෑලි කෑලි අහුලා දවසේ 'බයිට්' එකට ශ්‍රී ලංකා ක්‍රිකට් ගැනීම පුරුද්දක් වී ඇත. පාර්ලිමේන්තුව මොන කතා තිබ්බත් දවසේ කෑල්ලක් ක්‍රිකට් ගැන කතා කරන්න විපක්ෂය පුරුදු වී ඇත. ඒ මොනවා කතා කළත් අද අපට ශ්‍රී ලංකා ක්‍රිකට් අහිමි වී ඇත. ඒ ක්‍රිකට් වාරණයෙන් පමණක් නොව ක්‍රිකට් පරිපාලනයේ සිට ක්‍රීඩාංගණය වෙත ඇතුළු වන කණ්ඩායම දක්වාම ක්‍රිකට් පිරිහෙන්නට පටන් ගෙන ඇත.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ක්‍රිකට් මුව හමට තලන විට, අනෙක් පැත්තෙන් එළියේ ශම්මි ඇතුළු පරිපාලන නඩය දේශපාලන මුව හමට තලමින් ඇත. මෙහි අවසානය වුණේ ක්‍රිකට් ක්‍රීඩා තහනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් තවදුරටත් ස්ථීර කිරීම පමණි.
කෙසේ වෙතත් පසුගිය 21දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රැස්වූ අවස්ථාවේ ඔවුන් විසින් පැනවූ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහි තාවකාලික තහනම ඉවත් කිරීමට සාකච්ඡා කළත් අවසානයේ බහුතරයගේ මතය වෙනස් වී තිබුණේ එහි ප්‍රධානීන් දෙදෙනකුගේ මතය නිසාය. ඒ ඔවුන් විසින් මතුකළ විරෝධය නිසාය. ඔවුන්ගේ විරෝධය කාරණා දෙකක් මත සිදුවුණේය. එනම් අංක එකටම ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔවුන් පෞද්ගලික අත්දැකීමක සිටියේය. එනම් ෆුට්බෝල් සහ රගර් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති අත්දැකීම පළමු විරෝධය විය. දෙවැනි විරෝධය වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම හමුවේ හෝ ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කිරීමට රජය ක්‍රියා නොකිරීම නිසාය. කෙසේ වෙතත් රජයේ මතය වී ඇත්තේ එම කමිටුව ඉවත් කිරීම මේ මොහොතේ නඩුවක් එම කමිටුවට එරෙහිව ක්‍රියාත්මක වන නිසා ඊට බාධාවන සේ කමිටුව ඉවත් නොකිරීමටයි. ඒ රජයේ මතය වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිගන්නේ තවදුරටත් එය දේශපාලන මැදිහත්වීමක් ලෙසය. ඒ නිසා අවසානයේ ක්‍රිකට් තහනම තවදුරටත් ක්‍රියාත්මක විය.
මෙම රැස්වීම සඳහා රජයේ පාර්ශ්වය විසින් ජනාධිපතිවරයා පෞද්ගලිකවම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට ඊමේල් පණිවිඩයක් යොමුකර තිබුණි. එහෙත් එම ඊමේල් පණිවිඩය ලැබුණේ සභාපතිවරයාට එම රැස්වීමෙන් පසුවය. එම ඊමේල් පණිවිඩය ප්‍රමාද වුණේ මෙරටින්ද, එරටින්ද යන්න අපි දන්නේ නැත. ඇතැම්විට එම ඊමේල් පණිවිඩය රැස්වීමට කලින් ලැබුණා නම් තහනමේ තීරණය වෙනස් වෙන්න පවා තිබූ බව රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ඊමේල් පණිවිඩයට පිළිතුරු ලබාදෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දන්වා සිටියේ නුදුරේදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවයි.
මේ ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා කවුන්සිලය තුළ අපේ ක්‍රිකට් ගැන සාකච්ඡා වන මොහොතේ අපේ ක්‍රිකට් පුහුණුකරුවන් ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ බහින් බස්වීම සිදුවූ බව පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර සිටියේය. ඒ පන්දු රැකීමේ සහ පන්දුවට පහරදීමේ පුහුණුකරු නවීඩ් නවාස් අතර ඇතිවූ බහින්බස් වීමක්ය. කණ්ඩායමේ කඩාවැටීම ගැන මෙහිදී සාකචඡා කර ඇති අතර මෙම පුහුණුකරුවන් දෙපළ එකෙනෙකාගේ දුර්වලතා සම්බන්ධයෙන් චෝදනා එල්ල කරගෙන ඇත. එහිදී මාරාවශේෂයන් කෑගසමින් පුහුණුකරුවන් හැසීරී ඇති බවත් ඊට මැදිහත් වූ මහේල ජයවර්ධන පවා කෑ මොර දුන් බවත් එම මාධ්‍ය වාර්තාකර සිටියේය. කණ්ඩායමේ අඩුපාඩු රණ්ඩු නොවී කතාකර ගැනීමට නොහැකි පුහුණුකරුවන් ටිකක් මැද දක්ෂ කණ්ඩායමක් නිර්මාණය කරවීමට හැවේදැයි අපට සැකයක්, අවිශ්වාසයක් ඇත. ඒ ගැන පුදුමයක්ද නැත. පසුගියදා අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මාධ්‍ය ඉදිරියේ හැසිරුණු ආකාරයත් සමඟ විනය ගැන ලොවටම හොඳ හැටි කියා දුන්නේය.
මේ අතර පසුගියදා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි මාධ්‍ය හමුවක් කැඳවමින් මෙරට ලෙජන්ඩ් කෙනෙක් ගැන අමු අමුවේ චෝදනා එල්ල කළේය. ඔහු ක්‍රිකට් ලෝක කුසලානයක් නැවත ගැනීම සම්බන්ධයෙන් කැමැත්තක් නැති බව කීවේය. පුළුවන් නම් පැමිණ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ බාරගන්න ලෙස අභියෝග කළේය. එසේ බාරගන්නේ නම් ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරුගේ වැටුප ලබාදෙන බවද ඔහු කීවේය. එසේම මෙවර ලෝක කුසලාන තරගාවලියට වනිඳු හසරංගත්, දුෂ්මන්ත චමීරත් කපා දැමුවේ අමාත්‍යවරයා විසින් බවත්, ඒ සඳහා උපදෙස් දුන්නේ ඉහත කී ලෙජන්ඩ් බවත් හෙතෙම කීය. එසේම එහිදී හොඳම දේ කීවේ ශම්මි නැවත ක්‍රිකට් සභාපතිත්වය සඳහා ඉදිරිපත් නොවන බවයි.
කෙසේ වෙතත් ඔය කියන ඇමතිවරුන්ටත්, ලෙජන්ඩ්ලාටත්, සභාපතිලාටත්, ලේකම්ලාටත් ක්‍රිකට් ක්‍රීඩා ගොඩනගන්න කල්පනාවක් නැත. ක්‍රිකට් කණ්ඩායම නැමැති වැල පැත්තට යමින් ඇති මොහොතක ඔවුන් වටේම බැන බැන යන අතට මැස්ස ගසමින් සිටින්නේය. මෙම ක්‍රීඩකයන්ගෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත එන නවක සිසුන් කවුද යන්න පේන තෙක් මානයක නැත. එම තරුණ ක්‍රීඩකයන් සඳහා ලැබෙන්න තිබූ හොඳම අවස්ථාව වූයේ 19 පහළ ලෝක කුසලාන තරඟාවලියයි. අවාසනාවට එය දැන් දකුණු අප්‍රිකාව වෙත මාරු වී තිබේ. ඒ මේ රටේ ක්‍රිකට් පාලකයන් සහ දේශපාලකයන්ගේ කෙරුවාව නිසාය. මේ නිසා නවක තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීමක් අහිමි විය.
කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රටේ පාලකයන් සහ ක්‍රීඩා පාලකයන් එක්ව එහාට මෙහාට කඹ ඇදිල්ල නිසා දිනෙන් දෙන වලපල්ලට යන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව බවයි. ලෙජන්ඩ්ලා යැයි කියාගන්නා ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන් එක්ව සිදුකළ ක්‍රිකට් පාලනයද අපිට මතකය, කාලයක් සූදු කෙලියේ සිටි අය කළ පාලනයද අපිට මතකය. ඒ අයගෙන් ගිලිහෙන විට ඒ අයගේ හෙංචයියන්ට බලය මාරුකළ හැටි මතකය. ඒ නිසා අපිට කියන්නට ඇත්තේ ''කොළ කඩ කඩ අපට පෙන්වමින්, වෙස් මුහුණු බැඳන් ආවට අප රැවටෙන්නේ නැති බවයි.
I ගයාන් ගාල්ලගේ