තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකළ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය ආයතන සියල්ල මීතොටමුල්ල ඛේදවාචකයට වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. ඔහු මෙම අදහස් පළකරන ලද්දේ මීතොටමුල්ල කසළ ගැටලුව පිළිබඳ අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල්තැබීමේ විවාදයේ විවාදයට දින වකවානු සහිත සාක්ෂී සමඟ දීර්ඝ කතාවක් කරමිනි.
රටම අවුරුද්ද සමරද්දී කොළොන්නාවේ ජනතාවට මෙවැනි විපතක් සිදුවීම සම්බන්ධව විශේෂයෙන්ම පසුගිය රජයත් මේ රජයත් වගකිව යුතුයි. අප්‍රමාදව කටයුතු කළානම් මරණයේ උරුමය කසළ කන්දේ බරට යට නොකර තවමත් ජීවත් වෙන්න තිබුණා. ජනතාවකට ඒ ජීවත් වීමේ නිදහස වෙනුවෙට මරණයේ උරුමය ලබාදීලා තියෙනවා.
මේ රජය බලයට පත්වෙන්න කළින් මීතොටමුල්ල පොතුවිල් කුඹුර කියන වගුරු බිමට කොළොන්නාව නගර සභාව මගින් කාලයක් කුණු දමමින් සිටියා. පසුව පසුගිය රජය ලබාදුන් අධිකරණ තීන්දුවක් මගින් අක්කර දෙකක තමයි කුණු දාන්න පටන් අරගෙන තියෙන්නේ. පසුව එය අක්කර 18ක් දක්වා වර්ධනය වුණා. අපි දැකලා තියෙනවා විවිධ ප්‍රදේශවල කැලි කසළ බැහැර කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය විවිධ ක්‍රියා පටිපාටීන් හා නියෝග ලබාදෙනවා. ඇත්තටම එදා මීතොටමුල්ලට කොළඹ මහා නගර සභාව කසළ බැහැර කරනකොට මෙය සනීපාරක්ෂකව බැහැර කරන්න කියලා මධ්‍යම පරිසර අධිකාරිය තීන්දු ලබාදුන්නේත් නෑ. ඒ වගේම පසුගිය වසර 10ට එක් දවසක්වත් එක නිලධාරියෙක්වත් මේ ගැන බලන්න ආවේ නෑ. නමුත් ඒ අයට අරුවක්කාලු සහ ජා ඇළ ඉන්න පණුවොයි කුරුල්ලොයි ලොකු වුණා.
විශේෂයෙන්ම 2015 ජනාධිතිවරණයේදී ගරැ ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් අපිට පොරොන්දුවක් දුන්නා කුණු කන්ද ඉවත් කරනවා කියලා. ඒදේ තමයි මම ඒ ගමට අරගෙන ගියේ. දින 100 ආණ්ඩුව අවස්ථාවේදී එනම් 2015 මැයි මාසේ 19 වැනිදා. මීතොටමුල්ලේ ජනතාව අරගෙන මම අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යතුමා එක්ක සාකච්ඡාවකට ගියා. එහිදී උපදෙස් දුන්නා ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළකට යන්න කියලා. ප්‍රතිචක්‍රීකරණයට අදාළ අවශ්‍යතා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කරගෙන යනකොට තේරුම් ගියා මේ කුණු කන්දේ බර සීඝ්‍රයෙන් වැඩිවෙනවා. ඒ නිසා 2016 අප්‍රේල් 07 වෙනිදා පාර්ලිමේන්තුවේදී මෙගාපොලිස් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරනකොට කිව්වා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා කියලා. එය ක්‍රියාත්මක වෙද්දී අපි කිව්වා එය කඩිනම් කරන්න මෙවන් ඛේදවාචකයක් වෙන්න ඉඩ තියෙනවා කියලා.
තවදුරටත් 2016 ජූලි මාසේ 20 වෙනිදා මේ පිළිබඳ කොළඹ මහා නගර සභාවේ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරනවා ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහ අනෙකුත් වගකිවයුතු අමාත්‍යංශවලට පිටපත් සහිතව මේ කුණු ගේනඑක නවත්තන්න වෙනත් තැනකට ගෙනියන්න. ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ ප්‍රමාද වෙනවානම් වැසි කාලය ආවාම කුණු කන්ද කඩා වැටීමේ අවදානමක් තියෙනවා කියලා. ඊට පිළිතුරු වශයෙන් නාගරික කොමසාරිස්තුමා ලිපියක් යොමු කරනවා මෙගාපොලිස් ලේකම්තුමාට කසළ බැහැර කරන්න වෙනත් ඉඩමක් ඉල්ලා.
හරියටම 2016 අගෝස්තු මස 02 වැනිදා කුණු කන්ද කඩා වැටීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා කුණු ගෙනඒම නතර කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න කියලා නැවත කොළඹ මහා නගර සභාවට ලිපියක් යොමු කරනවා. දළ වශයෙන් කොළඹ නගර සභාවෙන් ටොන් 900ක ආසන්න කුණු ප්‍රමාණයක් ගේනවා. කොළොන්නාව නගර සභාවෙන් ටොන් 40කට ආසන්න කුණු ප්‍රමාණයක් මෙම ස්ථානයට ගෙන එනවා. ඊට අමතරව විවිධ පෞද්ගලික ආයතනවලින් හොරාට කුණු ගෙනත් දානවා. මේ පිළිබඳව පසුගිය ජනවාරි මාසේ මම කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස කොළොන්නාව නගර සභාවෙන් ඉල්ලුවා මුදල් අය කරගෙන කුණු ගේන එක නතර කරන්න කියලා. පසුව නාගරික ලේකම් අපිට ලිපියක් එවනවා ඒක නතර කිරීමේ බලයක් සම්බන්ධීකරණ කමිටුවට නෑ කියලා. මෙතන ස්වයං රැකියාවක් ලෙස පිට අයට කුණු ගේන්න දීලා තියෙනවා කියලා. මේ අවස්ථාවේදී කොළොන්නාව නගර සභාවේ ලේකම්ට කිසිදු වුවමනාවක් තිබුණේ නෑ ටිකට් කඩලා කුණු ගේනඑක නතර කරන්න.
පසුව මේ සම්බන්ධ මම නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නා. එය පිළිඅරගෙන ඔවුන් කොළොන්නාව නගර සභාවට ලිඛිතව එව්වා මෙතනට කුණු දාන්න එපා කියලා. ඒ 2017 ජනවාරි මාසේ 18 වැනිදා. ඒ දේත් අහන්නේ නැතිව දිගින් දිගටම කුණු දැම්මා. ඒකට පිළිතුරුක් ලෙස අපි විසින් පොලීසිය දාලා කුණු ගේනඑක නතර කළාම කොළොන්නාවේ නගර සභාව විසින් නැවත අපිට ලිපියක් මාර්ගයෙන් කියනවා. තවදුරටත් මේක නතර කරන්න සම්බන්ධීකරණ කමිටු තීරණයකට බෑ කියලා. අවසානයේදී නැවතත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලව්වා ලිපියක් එව්වා කොළඹ මහා නගර සභාවටත් කොළොන්නාව නගර සභාවටත් මෙම ස්ථානයේ තවදුරටත් කුණු දාන්න එපා කියලා. ඒක ඇහුවේ නෑ.
පසුගිය ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මධ්‍යම පරිසර අධිකාරියට නියෝගයක් දුන්නා කසළ වෙනත් ස්ථානයක බැහැර කිරීමට අනුමැතිය ලබාදෙන්න කියලා. නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට කොළොන්නාවේ ජනතාවට වඩා වෙනත් ස්ථානයක සිටින කුරැල්ලොයි පණුවොයි ගැන හිතලා එම නියෝග ක්‍රියාත්මක කළේ නෑ. ඊට පසුව ජනවාරි මාසේ 18 වෙනිදා නැවතත් මොවුන්ව කැඳවලා ජනාධිපතිතුමා මෙම නියෝගයම ලබලා දෙනවා. එය පදනම් කරගනිමින් ජනවාරි මාසේ 23 වෙනිදා මධ්‍යම පරිසර අධිකාරිය කොන්දේසි 15කට යටත්ව කුණු වෙනත් ස්ථානයකට ගෙනියන්න අවසර ලබාදුන්නා. නමුත් ඒ නියෝගයේ තියෙන නිර්ණායක පිළිපදිමින් කසළ වෙනත් ස්ථානයකට බැහැර කරන්නවත් කොළඹ මහා නගර සභාවට වුවමනාවක් තිබුණේ නෑ. ඇයි මොකක්ද හේතුව කුණු අදින්න පමණක් අවුරුද්දකට රුපියල් බිලියනයකට වඩා කොළඹ මහා නගර සභාව වියදම් කරනවා. මේකෙන් සෑම සියලු දෙනාටම පගාව යනවා. ඒ නිසා අපිට කුණු වුණාට ඒ අයට මීතොටමුල්ල තුළ මැණික් සහ කුණු තමයි තිබුණේ. එය මුදල් හම්බකිරීමේ මාර්ගයක් වෙලා තිබුණා.
බැරිම තැන අපි මාර්තු මාසේ 06 වැනිදා මේ ප්‍රදේශයේ ජනතාවත් සංඝයා වහන්සේත් එක්ක පාරට බැහැලා විරෝධතාවයක් දියත් කළා. ඊට පස්සේ පළාත් පාලන ඇමැතිතුමා අපිට සාකච්ඡාවකට එන්න කියල ලබාදුන්නු පොරොන්දු ප්‍රකාරව තාවකාලිකව උද්ඝෝෂණය නතර කළා. නැත්නම් අපි අඛණ්ඩ උපවාසයකට යන්න හිටියේ.
ගිය අවුරුද්දේ ජූලි මාසේ 20 වැනිදා කොළඹ මහා නගර සභාවට ලිඛිතව දැනුම් දුන් පරිදි ඔවුන් මේ දේ තේරුම් ගත්තා නම් ඒ වෙනුවෙන් සක්‍රීයව ක්‍රියාකලානම් ඔවුන්ට සෑබෑ වුවමනාවක් තිබුණානම් මාස 02ක් ඇතුළත විකල්පයක් හොයාගන්න තිබුණා. විකල්පයක් හොයාගත්තානම් ඔක්තෝබර් මාසේ ඉඳලා මේ වෙනකම් බැලුවොත් මාස 06 ඇතුළත ආපු ටොන් 180,000ක් වන කුණු වෙනත් තැනකට දාන්න තිබුණා. ඒ නිසා තවත් බර වැඩි වුණා.
2017 පෙබරවාරි මාසේ 20 වැනිදා මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි ලිපියක් යැව්වා කොළඹ මහා නගර සභාවේ කොමසාරිස්වරයාට මේ නිවාස දැන් ඉරිතලලා තියෙනවා. තාප්ප ඉරි ගිහින් තියෙනවා. කිසියම් වූ මොහොතක මේ ගොඩනැගිලි කඩා වැටෙයි කියලා බියෙන් ජනතාව ඉන්නවා කියලා. ඒ නිසා මේ ජනතාවට වන්දි මුදලක් ලබාදෙන්න කියලා. මේ ලියුමට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. ඒ නිසා තමයි මම දිගින් දිගටම කියන්නේ මේක ස්වභාවික ආපදාවක්වත් අත්වැරදීමක්වත් නෙමෙයි තීරණ ගැනීමේ ප්‍රමාදය සහ කඹ ඇදිලි නිසා තමයි මේ දේ වුණේ කියලා. මේ සාක්ෂි හොඳටම ප්‍රමාණවත් ගෙවුණු අවුරුදු දෙකේදී හෝ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න.
මේ සිද්ධිය වුණාට පස්සේවත් අපි පාඩම් ඉගෙන ගත යුතුයි. අපි සිංගප්පූරුවේ දියුණුවේ මට්ටමට අපේ රට ගේන්න උත්සහ කරනවා. ඒ වගේම දියුණු වෙමින් පවතින තැන ඉඳලා දියුණු රටක් බවට පත්කරන්න උත්සාහ කරනවා. නමුත් කසළ පිළිබඳ බලයක් ඇති කිසිදු අමාත්‍යංශයක් හා අධිකාරියක් නෑ. ඒ නිසා තමයි මේ බෝල පාස් කිරිල්ල සිදුවුණේ. ගිය අවුරුද්දේ ජූලි මාසේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට එතුමට උත්තරයක් දෙන්න බෑ මොකද ඒකට හේතුව එතුමාගේ අමාත්‍යංශයට බලයක් නෑ. මේ සම්බන්ධව මහා නගර සංවර්ධන අමාත්‍යංශයටවත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටවත් ඍජු වගකීමක් නැති නිසා ඔවුන්ට වගකීම භාරගන්න බෑ. ඒ නිසා මේ ජීවිතවලින් වන්දි ගෙවපු ජනතාවට කරන්න තියෙන ලොකුම ගෞරවය තමයි මේ දැන් තියෙන කසළවලින් හෝ ඉදිරියට ගොඩගැසෙන්න තියෙන කසළවලට ශ්‍රී ලාංකික කිසිදු පුරවැසියෙක්ට මෙවැනි ආපදාවන්ට ලක්නොවීම පිළිබඳ අවශ්‍ය මූලික පියවර මේ රජය විසින් වහාම ගත යුතුයි.
හැමෝම කියනවා කොළඹ කුණු එපා කියලා. කථානායකතුමා කොළඹ නගරාධිපතිවෙලා ඉන්නකොට තමයි එදා ඒ මුල්ම විසඳුම දෙන්න හැදුවේ. ඒක කරන්න දුන්නේ නෑ. එදා විසඳුම දුන්නානම් බ්ලූමැන්ඩල් කුණු කන්දත් නෑ මීතොටමුල්ල කුණු කන්දත් නෑ. මෙවැනි ඛේදවාචක වෙන්නෙත් නෑ. දළ වශයෙන් කොළඹට දෛනිකව ලක්ෂ 20ක ජනතාවක් එනවා. ඔවුන් ගේන බත් පැකට් එකේ පොලිතීන් කොළය නැවත අරගෙන යනවාද? ඒ නිසා තමයි ප්‍රසිද්ධ කියමනක් තියෙන්නේ ටොපි ඒගොල්ලන්ට කොළේ අපිට කියලා. මේ පිළිබඳව විධිමත් ජාතික වැඩපිළිවෙළක් ගෙන ඒමේ අවශ්‍යතාවය සියලුම දෙනා තේරුම් ගනියි. පසුගිය කාලේ කුණු ගේන්න එපා කියලා පාරට බැහැලා උද්ඝෝෂණය කරපු අය අඩුම තරමේ කොළොන්නාවේ සිදුවීමට ශෝක ප්‍රකාශයක්වත් නිකුත් කළේ නෑ. ඇත්තටම ටොන් 35 ගානේ කොළොන්නාව නගර සභාවේ කුණු දැම්මානම් විතරක් කුණු කන්දක් එන්නේ නෑ. කොළඹ මහා නගර සභාව ගේන්නේ මුළු ලංකාවේම කුණු.
මේ සිද්ධියෙන් පසුවත් කොළොන්නාවේ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලීම් කිහිපයක් ඉල්ලලා තියෙනවා. නැවත මීතොටමුල්ලට කුණු ගේන්න එපා කියලා. ඒක සදාතනික තීරණයක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මෙතන අලුත් ආර්ථික කලාපයක් හදලා කොළොන්නාවේ වාණිජ වටිනාකම වැඩි කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ කටයුතු ඉෂ්ට කරයි කියලා හිතෙනවා. මගේ අත්දෙකම පිරිසිදුයි, කුණු නෑ මගේ අතේ ඒ නිසා කුඩුකාරයා, කොමිස්කාරයා, හොරා කියන්න බෑ. ඉඩම් ගොඩකළා කියන්න බෑ. ඒ නිසා මේ ව්‍යසනයත් එක්ක සමහර පුද්ගලයෝ රහසින්වත් ජාතිවාදී නොවූ මට ජාතිවාදී විරෝධය මතුකරන්න උත්සහ කළා. ඒ විරෝධය හා චෝදනාවලින් අළු මත යළි මම නැගිටිනවා යැයි පැවසීය.