2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

මී මැස්සා ලොව අංක 1ට

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 1273

මිනිසා සිතන්නේ ලෝකයේ පැවැත්මට වඩාත් වැදගත් ජීවියා තමන් හැටියටය. නමුත් විද්‍යාඥයන්ට අනුව නම් ඒ තැන සැබෑවටම හිමිවිය යුතුව ඇත්තේ මීමැස්සාටය.  ලන්ඩනයේ රාජකීය භූගෝලවිද්‍යා සමාජය විසින් පැවත් වූ විද්‍යාත්මක සංවාදයකදී ද අර්ත් වොච් ජාත්‍යන්තර ආයතනයේ විද්වතුන් මේ අපූරැ එළිදරව්ව සිදු කළේය. එහිදි ඔවුන් පෙන්වා දුන් භයානක අනතුරක් නම් මී මැස්සන් ලෝකයට අහිමි වන්නට සැරසෙන එනම් වඳ වීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින ජීවීන් විශේෂයක් බවය. එය එසේ වුවහොත් සමස්ත ලෝකයේම ජීවින් වඳ වී යාමේ අනතුරකට මුහුණ පා සිටින බවය.

නවතම අධ්‍යයනයන් විසින් පෙන්වා දෙන්නේ ලෝකයේ සිටි මී මැසි ගහණයෙන් 90%ක් පමණම මේ වන විට ලෝකයට අහිමි වී ඇති බවයි. ඇමෙරිකන් විශේෂඥයෙකු වන චාල්ස් රොබට්සන් විසින් විසි වන සියවසේ මුල් භාගයේ දී වාර්තා කරන ලද්දේ ඒ වන විටත් ලොව සිටි මී මැසි විශේෂ 109න් අඩක්ම විනාශ වී ගොස් තිබූබවය. මෙම අර්බුදයේ මහත් කනස්සල්ලට හේතුවන කාරණාව ප‍්‍රණීත සහ පෝෂ්‍යදායී ආහාර අයිතමයක් වන මීපැණි අතුරුදන් වී යාම පමණක් නොවේ. මී මැස්සන් පැණිවලටත් වඩා මනුෂ්‍ය ජීවිත සහ පෘථිවියේ පරිසර පද්ධතිය සඳහා තීරණාත්මක ලෙස බලපෑමක් සිදු කිරීමය.

ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 70%ක් රඳා පවතින්නේ මී මැස්සා මතය. එය තවත් ආකාරයකට කිවහොත් ලෝකයේ ආහාර වර්ග 100කින් 70කම පැවැත්මට මී මැස්සාගේ මැදිහත් වීමක් ඇත. මිනිසුන් ආහාරයට ගන්නා ශාකවලින් තුනෙන් දෙකක් සහ ගෝලීය ආහාර බෝග නිෂ්පාදනයෙන් තුනෙන් එකක් කෙලින්ම සත්ත්ව පරාගණය මත රඳා පවතී. ඒ අනුව ලෝකය පුරා අනුභවයට ගන්නා සෑම ආහාර බෝග වර්ග තුනෙන් එකකම සාර්ථක අස්වැන්න ප්‍රමාණය පරාගනය මත රඳා පවතී. තවමත්, මිහිමත සත්තුන්ගේ ප‍්‍රාථමික සහ ප්‍රධාන ආහාර මූලය ශාඛවන බැවින් ප‍්‍රාථමික පරාග වාහකයන් පිරිසක් වන මී මැස්සන් මිහිමතින් අතුරුදන්වීම, නැත්නම් ඔවුන් ගහනය අඩු වීම, ගෝලීය ආහාර බෝග නිෂ්පාදනයට අහිතකර ලෙස බල පා පෘථිවිය මත ජීවයට දරුණු ප‍්‍රතිවිපාක අත්කර දෙනු ඇත.

ලෝකයේ සපුෂ්ප ශාක විශේෂ බොහොමයක් පරාගනය වන්නේ සත්ත්වයන් මගිනි. මෙහිදි වඩාත් පොදු පරාගවාහකයා වන්නේ මී මැස්සන්ය. විශේෂයෙන් මී මැස්සන් පැවැත්ම සඳහා තමන්ගේ සමූහය මත ර‍‍ඳා පවතින බැවින්, යම් උවදුරකදි අනුක‍්‍රමයෙන් එකිනෙකා මිය යනවා වෙනුවට සමස්ත ප‍්‍රජාවම එකවරම විනාශ වේ. එනම් මුළු ජනපදයම බිඳ වැටී යයි. උදාහරණයක් වශයෙන්, මී මැසි ජනපදයක් බිඳ වැටීමේ දී, පැණි සහ මැසි රැජන ඉතිරිව සිටියත් අනෙක් මී මැස්සන් බොහොමයක්ම සාමාන්‍යයෙන් අතුරුදන්ව යති. එය ඔවුන් මගින් පරාගනය වන ශාඛවල පැවැත්මට කෙලින්ම හානිකරයි. මිහිමත වෙනත් කිසිදු තනි සත්ත්ව විශේෂයක් මිනිසුන් වන අප පොදුවේ ලබා ගන්නා ආහාර නිෂ්පාදනයේ දී එතරම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු නොකරන බැවින්, මී මැසි ගහනය වැනසී යාමේ ප‍්‍රතිවිපාකය අපේ ආහාර දාමයට කෙළින්ම බලපාමින්, අපේ පැවැත්ම සඳහා දැවැන්ත තර්ජනයක් මතු කරනු ඇත. එසේම මීමැස්සා සම්බන්ධ තවත් වැදගත් කාරණයක් චිලීහි මී මැසි පාලනය පිළිබද ව්‍යවසායකත්ව සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළිව තිබේ. එයට අනුව පෙන්වා දෙන්නේ මී මැස්සා යනු කිසිදු ආකාරයක දිලීර, වෛරස්, හෝ බැක්ටීරියා ආදී වූ කිසිදු රෝග කාරකයක් ප්‍රවේණිගත ලෙස ගෙන නොයන එකම ජීවියා ලෙසයි. ලෝකයට මී මැස්සා එතරම් වැදගත්ය.

විද්වතුනට අනුව මී මැසි ජනපද බිඳවැටීමේ අක‍්‍රමතාවය (Honeybee Colony Collapse Disorder – CCD), යන සහලක්ෂණය මී මැස්සන් ගහනය අඩු වීම සඳහා ප්‍රබල හේතුවකි. එය ඉතා ඉක්මනින් විසඳුම් සෙවිය යුතු අර්බුදයක් ලෙස හඳුනා ගෙන ඇත. 2007 සිට 2013 දක්වා, මිලියන 10 කට වැඩි මී වද ප‍්‍රමාණයක් මේ තත්ත්වය නිසා අහිමි වී ඇති බව ඇස්තමේන්තු කර ඇත. මීට අමතරව මී මැස්සන් විශාල සංඛ්‍යාවක් මිය යාම හැරැණු කොට, නොනැසී සිටින මී මැස්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද ලක්ව තිබෙනුයේ බරපතළ තර්ජනයකටය.

මේ සදහා ලෝකයේ විවිධ කලාපවලින් විවිවධ හේතු හුවා දැක්විය හැකි බව මෙම අධ්‍යයන විසින්ම පෙන්වා දී ඇත. මේ අතර ප්‍රධාන හේතුව ලෙස මතු කර දක්වන්නේ වනාන්තර විනාශය හේතුවෙන් මී මැස්සන්ට මී වද බැඳීම සදහා සුදුසු ආරක්ෂිත ස්ථාන නොමැතිවීමයි. ඒ හැරුණ විට ඔවුන් සදහා පැණි ලබා ගැනීමට මල් අවම වීම, පාලනය නොකළ හැකි පරිදි මිනිසා විසින් කෘමි නාශක භාවිතය, පසෙහි සිදුවන වෙනස් කම් ආදිය ද ලෝකයේ මී මැසි ගහණය වෙනස් වීමට බලපාන අනෙකුත් හේතූන්ය. ස්විට්සර්ලන්තයේ තාක්ෂණය පිළිබඳ ෆෙඩරල් අධ්‍ය්‍යන ආයතනය විසින් අවධාරණය කරන්නේ ජංගම දුරකථන භාවිතය මී මැස්සන් වඳ වීමට එක් හේතුවක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන පරිදි දුරකථන ඇමතුම් අවස්ථාවලදී නිපදවෙන තරංග මගින් මී මැස්සාගේ දිශානතිය වෙනස් කරන බවයි. එනම් තමන් යා යුත්තේ කොහේටදැයි යන්න ඔවුන්ට සංවේදනය වන දිශාව දුරකථන තරංග මගින් වෙනස් කරන බවයි. එමගින් ඔවුන්ගේ ජීවිතය අනතුරට ලක් වේ. වගා අස්වනු අවස්ථාවලදී සිදු කරන දුම් ගැසීම්ද මී මැස්සන් වඳ වීමට බලපාන තවත් හේතුවකි. කොලොම්බියාවේ 34%ක් මී මැස්සන් මිය ගොස් ඇත්තේ වගා බිම්වල භාවිත කරන විෂ හේතුවෙනි.

මී මැස්සන් ලෝකයට අහිමිවීම නවතා ගැනීම සදහා ක්‍රම වේදයක් පවතීද? මෙම ගැටලුව සදහා විසදුම් කිහිපයක්ම ඉදිරිපත්ව පවතීත එහි ප්‍රධානතම කරුණ වන්නේ වගාබිම් ආශ්‍රිතව සිදු කරනු ලබන විවිධ පුරුදු වෙනස් කිරීමයි. ඊට අමතරව යෝජනා කරන විසඳුම් 3කි. කෘමි නාශක වර්ග තහනම් කිරීම, සම්පූර්ණයෙන්ම ස්වාභාවික කෘෂිකාර්මික විකල්ප මාර්ගයන් යෝජනා කිරීම,මී මැස්සන්ගේ ජීවන ක්‍රියාවලිය සහ ඔවුන්ට පවතින බලපෑම් ගන අධ්‍යයනයන් අඛණ්ඩව සිදු කිරීම ඒවාය.

සුගත්