2019 මාර්තු 23 වන සෙනසුරාදා

මට දෙන්න මීයො කැරපොත්තො ඉන්න මාළු පාන් එකක්!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 162

මරදාන ඩීන්ස් පාරේ පිහිටි පිටින් හොඳ පෙනුමට තිබූ බේකරියකට පිටුපස කොටසට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරින් ඇතුව වූ මොහොතේ දුටු දෙයින් ඔවුහු තැති ගත්හ. මීයෙක් ඔවුන් දෙසට පැමිණෙමින් සිටියේය. බියට පත්වූ මීයා එකවරම පාන් පිළිස්සීමේදී භාවිතා කරන තැටියක් ඇතුළේ සැඟවුණේය. පාන් පුළුස්සන ස්ථානයේ බිම දූවිල්ලෙන් පිරී තිබුණි. පිටි මෝලිය සකසන මේසයද දූවිල්ලෙන් පිරී තිබුණු අතර ඇතැම් තැටිවල පුස් බැඳෙමින් තිබුණි. කැරපොත්තකුද එහාමෙහා දුවමින් සිටි අතර ඌ සැඟවී ගත්තේද මේසය යට ගොඩ ගැහී ඇති පිටි මලු අතරේය. එම පිටි මලු ද කාලය ඉකුත් වී බොහෝ කාලයක් ගිය පිටි මලුය. ඒ අසල බිම පරණ බනිස් හා හිස් බෝතල් විසිරී තිබුණි.

මේ සියල්ලම මෙසේ දිස්වෙද්දී බේකරිය ඉදිරිපස පෙනුම හාත්පසින්ම වෙනස් විය. තමන් මෙයින් මිලදී ගනු ලබන්නේ කෑමට නුසුදුසු ආහාර බවට කිසිදු සැකයක් නොමැතිව පාරිභෝගිකයෝ පාන් බනිස්, ප්‍රේස්ට්‍රි මිලදී ගනිමින් සිටියහ. එම වැටලීම් සිදුකළ මහජන සෞඛ්‍ය නිලධාරියෙක් පරණ බනිස් පිළිබඳව බේකරිය අයිතිකරුගෙන් විමසීමේදී අයිතිකරුගේ පිළිතුර වූයේ “ඒවා කුණු ට්‍රැක්ටරයට දැමීමට සූදානම් ඒවා” බවය. නමුත් නිලධාරින්ගේ මතය වූයේ එම පරණ බනිස් වේලා පාන් කුඩු ලෙස අලෙවි කිරීම සඳහා තබාගත් ඒවා බවය.

හදිසියේම පාන් පිළිස්සීමට ගන්න තැටි අතුරින් විශාල මීයෙක් මතුවිය. කැරපොත්තන් ද සිටිනා බව දැකගත හැකිවිය. බේකරියේ කෙළවරක වන්නට තිබූ ශීතකරණයක සොසේජස් පැකට් කිහිපයක් සහ අඩක් සීනි සම්බෝල පිරවූ භාජනයක් ද දැකගත හැකිවිය. ඇතුල්වන තැනම අල්මාරියක තිබූ චොක්ලට් කේක් එක දූවිල්ලෙන් වැසී තිබුණි. පාරිභෝජනයට සුදුසු මෙම සියලු ආහාර වර්ග විනාශ කර දමන්න යැයි බේකරිය අයිතිකරුට නියෝග කෙරුණු අතර ඔහුට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කෙරෙනු ඇත.

කොළඹ නගරයේ දින දෙකක් තුළ මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් කෑම කඩ සහ හෝටල. රෙස්ටූරන්ට් එකසිය පනහකට වඩා වටලමින් සිදුකළ සෝදිසි මෙහෙයුමේ මෙය එක් අවස්ථාවක් විය. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණිගේ අධීක්ෂණයෙන් මෙම වැටලීම සිදුකෙරැණි.

“සෞඛ්‍ය ආරක්ෂාවට නුසුදුසු ආහාර වර්ග විකුණන, සකස්කරන හෝ ප්‍රදර්ශනයට තබන කෑම කඩවල අයිතිකරුවන්ට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්.”

වෛද්‍ය විජයමුණි පවසයි.

බොරැල්ල හා මරදාන ආශ්‍රිත කෑම කඩ එකසිය හැට දෙකක් තම කණ්ඩායමේ පරීක්ෂාවට ලක්වූ බවත් එයින් පනස් හයකට එරෙහිව නඩු පවරන බවත් ඔහු පවසයි.

“අඟහරුවාදා රෙස්ටූරන්ට් සහ කෑම කඩ හැට අටකුත් බදාදා අනු හතරකුත් පරීක්ෂා කරන්නට අපිට හැකිවුණා.”

ඔහු පවසයි.

පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකරන කෑම කඩ සහ රෙස්ටූරන්ට් වහාම වසා දැමීමට හැකි බලයක් තමන්ගේ වැටලීම් කණ්ඩායම්වලට ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් මත ඉදිරි මාස කිහිපය තුළදී කොළඹ දිස්ත්‍රික්කය පුරාම ඇති අතර අලෙවිසල් පරීක්ෂා කිරීමට සැලසුම් කරන බව ඔහු පවසයි.

“සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සෞඛ්‍යා රක්ෂිත නොවන කෑම පාරිභෝගිකයින්ට අලෙවි කරන්නට කටයුතු කරන කෑම කඩ, හෝටල්, රෙස්ටූරන්ට් අයිතිකරුවන් සම්බන්ධයෙන් අපි නිරන්තර පරීක්ෂා කිරීම් විශාල වශයෙන් අප්‍රේල් මාසේ සිදුකරනවා.”

ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සතිය තුළදී කොළඹ ඩීන්ස් පාරේ වැටලීම් සිදුකළ මහජන සෞඛ්‍ය නිලධාරී කණ්ඩායමේ පරීක්ෂාවට ලක්වූ එක් රෙස්ටූරන්ට් එකක ඉදිරිපස ඉතා ප්‍රසන්න පෙනුමකින් යුක්ත විය. එහෙත් එහි මුළුතැන්ගෙය දින ගණනාවකින් ජල පොදක් නුදුටු අපිරිසිදු එකක් විය. එම රෙස්ටූරන්ට් එකේ සේවකයන් විසි දෙනකු සේවය කළද පැවති තත්ත්වය එයයි. එහි පොළොවද දූවිල්ලෙන් පිරී තිබූ අතර ලුනූ පොතු සහ අන්නාසි කෑලි බිම විසිරී තිබුණි. මෙම තත්ත්වය සතියක් පමණ කාලයක් එහි තිබුණු බවට සලකුණු ද විය. එහි අසල විවෘතව තිබූ කුණු බාල්දි වටා මැස්සෝ කැරකෙමින් සිටියහ. මුළුතැන්ගෙය අසල තිබූ කුඩා අඳුරු කාමරයේ ශීතකරණ පහක් විය. එයින් දැඩි දුඟදක් ද පැතිරෙමින් තිබිණි. භාගයට සැකසූ කොත්තු රොටි මලු, ගෝදම්බර රොටි සහ කෑලි කැපූ කැරට් එක් ශීතකරණයක තිබුණි. රාත්‍රී කාලයේ දී එම ශීතකරණ විදුලි විසන්ධි කර තිබීම හේතුවෙන් ශීතකරණයට ජලය ගලාගොස් තිබුණි.

තවත් ශීතකරණයක ගබඩා කර තිබුණේ කුණුවෙමින් තිබූ පිසින ලද මස් සහ ශීත කළ එළවළුය. ඒවා බොහෝ කාලයක් තිබූ බවට සලකුණු තිබේ.

මේ අපිරිසුදු තත්ත්වය පිළිබඳව නිදහසට කරුණු ඇසූවිට එහි අයිතිකරු පැවසුවේ. “කුණු ලොරිය පැමිණෙන තුරු නරක් වූ ආහාර මෙම ශීතකරණයේ තබන බවය.” එහෙත් කුණු වූ ආහාර ශීතකරණවල තබාගැනීම සඳහා කිසිමවකු විදුලිය භාවිත නොකරන බවත් එම ආහාර එලෙස ගබඩා කර ඇත්තේ අලෙවි කිරීම සඳහා බවත් මහජන සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

තවත් කාමරයක විදුලි උඳුනක් මත පාන් ගොඩ ගසා තිබූ අතර ඒ මත මී බෙටිද ගොඩ ගැසී ඇති බවට ඔවුන්ට දක්නට ලැබුණි. මෙම හෝටල් හිමිකරුට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

සෞඛ්‍යයට අහිතකර ආහාර විකුණන හෝටල් හිමිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට නිලධාරින් කටයුතු කළයුතු බවද වෛද්‍ය සසංක රණසිංහ ද ප්‍රකාශ කරයි. බොහෝමයක් හෝටල් හිමිකරුවන් රුපියල් 2000 – 10000 වැනි සුළු දඩයක් ගෙවා නිදහස් වන බැවින් එම දඩය ඉහළ දැමිය යුතු බවද වෛද්‍ය රණසිංහ ප්‍රකාශ කරයි.

මෙවැනි හෝටල් හඳුනාගත් වහාම ඒවා වසාදැමීමේ බලතල තම කණ්ඩායමට ලබා දෙන්නේ නම් මෙවැනි වැරදිවලට හසුවන හෝටල් හිමිකරුවන් තමන් නිවැරදි වනතුරු ව්‍යාපාරයෙන් ඈත් කර තැබිය හැකි බවද ඔහු පවසයි.

හෝටල්, කෑම කඩ, රෙස්ටූරන්ට් හිමිකරුවන්ට සෞඛ්‍ය ආරක්ෂක ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීම අනිවාර්යයෙන් කළයුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආහාර පරීක්ෂකවරුන් විසින් කරනු ලබන මෙම වැටලීම් සම්බන්ධයෙන් නගරාධිපතිවරු ද ඔවුන්ගේ අදහස් පළකළහ.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පැවසුවේ තම නගර සභා සීමාව තුළ දැඩි ලෙස ආහාර තත්ත්වය පරීක්ෂා කිරීම් සිදුවන බවත් දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ගාලු නගරයේ ආහාර පිළිබඳව විශේෂයෙන් විමසිල්ලෙන් පසුවන බවත්ය.

මහනුවර නගරාධිපති කේසර සේනානායක ප්‍රකාශ කරනුයේ මෙවැනි පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

The Sunday Times පුවත්පත ඇසුරෙනි

►දිශානි ජයමාලි කරුණාරත්න