2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පරණ කාසි එකතු කරන විද්‍යාඥයා

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 2644

මම ඒ කාලෙ වැඩ කළේ අමෙරිකාවෙ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ. 1993 දී විතර ඒ රටේ පැරණි කාසි ප්‍රදර්ශනයක විකුණන්න තියෙන ලංකාවෙ රන් කාසියක් මම දැක්කා. අවුරුදු 1000ක් පමණ පැරුණි ලංකාවෙ රන්කාසියක් අමෙරිකාවෙදී හමුවුණාම මම පුදුම වුණා. මම ඩොලර් 160කට ඒක මිලදී ගත්තා. ඊට පස්සේ මට කාසි එකතු කිරීමේ ආසාවක් ඇති වුණා. ඒ අතරම අන්තර්ජාලයේ ලංකාව ප්‍රචලිත කිරීමේ උවමනාවක් ද මට තිබුණා. 1998 වනවිට අන්තර්ජාලයේ ලංකාව ගැන හොඳ තොරතුරැ තිබුණේ නැහැ, විදේශිකයන් ආකර්ශනය කරගන්නා තරම්.

අප සමඟ එලෙස පිළිසදරක යෙදුණේ තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගය. ගල්කිස්සේ මුහුදු සුළං වැදෙන නිවෙස්කඩක සිට ඔහු තම මතකය අවදි කළේය. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාවන් අමෙරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිය ලබන අතර ඊට පසු ඔහුට අවශ්‍ය වන්නේ තාරකා විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීමටය. ඒ සඳහා ඔහුට අවස්ථාව ලැබෙන්නේ ඕස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයෙනි. ඊට පසු නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥයකු ලෙස සේවය කරන ඔහු පසුව එරට විශ්වවිද්‍යාල කිහිපයක ද සේවය කළේය. වර්ෂ 2005 දී මව්බිමට පැමිණෙන ආචාර්ය කාවන් කාසි එකතුව තවත් පුළුල් කරගත් අතර මේ වනවිට ඔහු සතුව කාසි විසිදහසක පමණ එකතුවක් තිබේ. ඒ ලංකාවේ කාසි එකතු කරන්නන් කිහිප දෙනෙකුගේ පැරණි කාසි ද ඔහු ලබාගෙනය. පුරාවිද්‍යාව විෂයයට ද දැඩි කැමැත්තක් දක්වන ඔහු මේ දිනවල පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතුවල නිරතවෙමින් සිටී. අමෙරිකාවේ ඉගෙනගෙන එරටේ රුකියා කළත් ආචාර්ය රත්නතුංගට තම මව්බිමේ උරුමය කෙරෙහි ඇත්තේ දැඩි කැක්කුමක් බව ඔහු හා කතාබහ කිරීමෙන් පෙනුණි. ඔහු කාසිවලට දක්වන ලෙන්ගතුකම කෙතරම්ද යත් නිවසේ බිත්ති සැරසිල්ලකට පැරණි කාසි මෝස්තරයක් භාවිත කිරීමෙන් ද පෙනේ. ඔහු නිවස අලංකාර කර ඇත්තේ ද ප්‍රතිමා ආකෘති හා පුරාවස්තු ආදියෙනි. 

ලංකාවෙ කාසිවලට අවුරුදු 2500ක පමණ ඉතිහාසයක් තිබෙනවා. ඊට පසු මම වර්ෂ 2000දී ලංකාවේ ඉතිහාසය ගැන කොඩ්රිංටන් ලියපු පොතක් සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයේ පළකළා. ඒ අතරම කාසි ගැන මෙරට පළමු වෙබ් අඩවිය පටන්ගත්තේ මම 1998දී. coins.lakdiva.org යන නමින්. එහි ලංකාවේ කාසි ගැන මේ වනවිට පිටු 1000ක් පමණ තිබෙනවා. ලංකාවේ මුදල් නෝට්ටු ගැන විස්තර ඉදිරිපත් කිරීමට 2017දී මම තව වෙබ් අඩවියක් ආරම්භ කළා notes.lakdiva.org. 1785 සිට ලංකාවේ භාවිත වුණු මුදල් නෝට්ටු ගැන විස්තර එහි ඇතුළත් වෙනවා. මේ වෙබ් අඩවිවලට විශාල ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

මම ලංකාවෙ කාසි ගොඩාක් අන්තර්ජාලයේ eBay වගේ ඒවායින් අරන් තියෙන්නේ. හැබැයි ලංකාවෙදී නම් ඇණවුම් කරලා ගන්න බැහැ. මෙහාට එනකොට හොරකම් කරනවා. ඒ නිසා 2005ට පෙර අමෙරිකාවෙදී තමයි ගොඩාක් කාසි මම මිලදී ගත්තේ.* ඔහු සිනහාවෙමින් පැවසුවේය.

තම කාසි එකතුව වර්ග කර ඵලක සේ සකස් කර ඇති ආකාරය අපට දැකගත හැකිවිය. ඒ අතර පැරණිම කාසි වර්ග වූ ස්වස්තික කාසිද තිබුණි. ඒවා ඊයම් සහ තඹ මිශ්‍රණයකින් සකස් කර ඇත.

ස්වස්තික කාසිවල තිබෙන අලියා සලකුණෙන් බුදුදහම නිරූපණය වෙනවා. බෝ ගසෙන් බුද්ධත්වය ලැබීම පෙන්නුම් කරනවා. ස්වස්තිකය ධර්මය ප්‍රචාරය කිරීම සංකේතවත් කරනවා. ඔහු විස්තර කරයි.

අනුරාධපුර යුගයේදී මෙරට භාවිත කළ කාසි වර්ග අතර මුලින්ම කියැවෙන්නේ කහාපණය. ඒවායේ කොටා තිබුණු සංකේත නිසා හස්එබූ කාසි වශයෙන් හැඳින්වේ. මේ කාසි වටකුරු, ඍජුකෝණාශ්‍රාකාර හෝ චතුරස්‍රකාර ලෙස විවිධ හැඩවලින් දැකගත හැකිය. කහපණ සාදා ඇත්තේ රිදීවලිනි. ඉර, හඳ, ඇත, බල්ලා, ගස ආදී විවිධ සංකේත මේ කාසිවල ඇතුළත්ය. ඉන්දියාවේ නිෂ්පාදිත කහපණ කාසිද ඒ කාලයේ වෙළෙඳුන් මාර්ගයෙන් මෙරටට ලැබී තිබෙන බවට විශ්වාස කෙරේ. මෙරට කාසි නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දීය කාසි අනුගමනය කරමිනි. කහපණ කාසි අප රටේ භාවිත කර තිබෙන්නේ ක්‍රි.පු. 3 සියවසේ සිට ක්‍රි.ව. 1 සියවස දක්වා කාලයේදීය. අනුරාධපුර යුගයේ මුල් භාගය වන එකල මේ රටේ අක්ෂර වශයෙන් භාවිතා වුණේ බ්‍රාහ්මීය අක්ෂර මාලාවකි. අනුරාධපුරය, වෙස්සගිරිය, සීගිරිය, දැදිගම, මිනුවන්ගොඩ, අම්බලන්ගොඩ, තිස්සමහාරාම, අකුරැගොඩ, මාන්තොට, පදවිය, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ රැසකින් කහාපණ කාසි හමුවී තිබේ. ඊට පසු හමුවන්නේ ස්වස්තික කාසිය.

ක්‍රි.පූ. 2 සිට ක්‍රි.ව. 2 සියවස් දක්වා මෙරට භාවිතා වුණු කාසියක සිටගෙන සිටින කාන්තාවකගේ රැවක් නිරෑපිතය. ඒවා හඳුන්වන්නේ ලක්ෂ්මී තහඩු කාසි යනුවෙනි. ආචාර්ය කවන් සතුව එවැනි කාසි කිහිපයක්ම දැකගත හැකිය. මේවා වාත්තු කර හෝ තඹ තහඩු මත අච්චු ගැසූ ආකාරයට හෝ නිෂ්පාදනය කර තිබේ. වාත්තු කළ වර්ගයට අයත් කාසියක දිග අගල් 1.25ක් වේ. කාසි සඳහා 60%ක් ඊයම් ද සීයයට 15ක් තඹ ද මිශ්‍රකර තිබේ. නෙළුම් මලක් මත සිටින මේ කාන්තා රැව දෙපසින් පැන නැගි නෙළුම් දඬු දෙකක් දෑතින් අල්ලාගෙන සිටින ආකාරය නිරූපිතය. 

මේ කාසිවලට ලක්ෂ්මී කියන නම දැම්මේ අවුරුදු 100කට විතර කලින් සුද්දෙක්නේ. සාමාන්‍යයෙන් ලක්ෂ්මී අත් හතරකින් තමයි දක්වන්නේ. මේ රූපයේ තිබෙන්නේ අත් දෙකයි. ඒ නිසා මම නම් හිතන්නේ මේ පාර්වතී හෝ මායා දේවිය වියහැකි බවයි. මේ කාසි ලොකු ඒවා මෙන්ම කුඩා කාසිද දැකගත හැකියි. විවිධ ප්‍රමාණ  5 – 6කින් මේ කාසි නිකුත් කර තිබෙනවා. ආචාර්ය කාවන් පැවසුවේය.

අනුරාධපුරය, යාපනයේ වල්ලිපුරම්, තිරැකේතීශ්වරම් සහ කන්තරෝඩෙයි, මන්නාරම, මුලතිව්, හලාවත, තිස්සමහාරාමය ඇතුළු ප්‍රදේශවලින් ලක්ෂ්මී කාසි හමුවී තිබේ.

මම මුලින්ම කාසි එකතුව පටන් ගත්තේ රන් කහවනු කාසියකින් කියලා කිව්වනේ. ඒක 8 වන ශත වර්ෂයේ කහවණු 1/8 කාසියක්. ග්‍රෑම් 4.5ක් පමණ බරයි. අපේ රටේ 7 – 8 සියවස්වල මේ කාසි භාවිතයේ පැවතුණා.

අනුරාධපුර යුගයේදී හමුවන තුන්වැනි කාසි වර්ගය සිංහ කාසිය. තඹ ලෝහයෙන් නිෂ්පාදිත මේවායේ එක් පැත්තක සිංහ රෑපයක් ද අනෙක් පැත්තේ කුඩා තිත් තුනක් හෝ හතරක් ද දැකගත හැකිය. ක්‍රි.ව. 3 – 4 සියවස්වල මේ කාසි භාවිත කර තිබේ. අනුරාධපුරයෙන් සහ උතුරේ කරන ලද කැණීම්වලදී සිංහ කාසි හමුවී තිබේ

රන් ලෝහයෙන් හෝ රන් ආලේපිත කොට තිබුණු මේ කාසි කහවණුව, අඩ කහවණුව (1/2), පල (1/4) හා අක (1/8) වශයෙන් භාවිතයේ පැවතුණි. කාසියේ මුහුණත දැකිය හැක්කේ නෙළුම් දණ්ඩක් මත සිටින මිනිස් රැවකි. එම රුව දෝතියක් වැනි ඇඳුමක් ඇඳසිටී. සමහරු පවසන්නේ එය ධනයට අධිපති කුවේර බවත් අනෙක් පස ඇත්තේ සංඛ හා පද්ම රෑ බවත්ය. අනුරාධපුර යුගයේදී පිටරට හා පැවති වෙළඳ සබඳතා හෙළිකරන ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු කාසි රැසක් ද විවිධ ප්‍රදේශවලින් හමුවී තිබේ.

පොළොන්නරැ යුගයේ කාසි රාශියක් ද ඔහුගේ එකතුවේ දැකගත හැකිය. රාජරාජ චෝල, නිශ්ශංකමල්ල, චෝඩගංග, ලීලාවති රුජින, ධර්මාශෝකදේව ආදි රජවරැ නිකුත් කළ කාසි ඒ අතර තිබේ. ඊට අමතරව මේ කාලයේ රාජාධිරාජ, රාජේන්ද්‍රෙද්ව ආදී චෝල රජවරැද පළමුවන විජයබාහු සහ පළමුවන පරාක්‍රමබාහු රජුද කාසි නිකුත් කර තිබේ. චෝල බලය පරාජය කරමින් පොළොන්නරැවේ කිරුළු දැරූ පළමුවන විජයබාහු (1055 - 1110) කාසිවල තම නම ඇතුළත් කර නිකුත් කළ පළමු රජු වශයෙන් ඉතිහාසගත වේ. ඊට පසු පොළොන්නරු යුගයේ ආරම්භයේ සිට දඹදෙණි යුගය අවසානය දක්වාම රජුගේ නම යොදා කාසි නිකුත් කිරීමේ සිරිතක් පැවතුණි. පළමුවන විජයබාහු කාසිවල තම නම දැක්වූයේ ශ්‍රී විජයබාහු ලෙසිනි. පළමු පරාක්‍රමබාහු, ශ්‍රී පරාක්‍රමබාහු ලෙසින් ද සාහසමල්ල, ශ්‍රීමත් සාහසමල්ල ලෙසින් ද ධර්මාශෝක රජු ශ්‍රී ධර්මාශෝකදේව ලෙසද තම නම කාසිවල සටහන් කර තිබුණි. මේ කාලයේ ඉන්දියාවෙන් පැමිණි දෙමළ අක්ෂර සහිත සේතු කාසි ද භාවිතයේ පැවතුණි.

10 වැනි සියවසේ සිට මසුරන් නමින් රන්කාසි විශේෂයක් ද භාවිතයට පැමිණියත් 13 වැනි සියවස වනවිට රන් වෙනුවට තඹවලින් සෑදු මසුරන් කාසි භාවිතයට පැමිනුණි. 

දඹදෙණි යුගයේදී තුන්වන විජයබාහු සහ දෙවන පරාක්‍රමබාහු තම නමින් කාසි නිකුත් කළහ. මස්ස සහ පනම නම් රිදී කාසි අප රටේ භාවිත වූයේ 16 වැනි සියවස වනවිටදීය. රන්පනම සහ රන්මස්ස මේ කාලය වනවිට පාවිච්චි වුණේ දුලබ වශයෙනි. තන්ගම් මස්ස, පොඩි තන්ගම, රිදිය යන කාසි ද පසුව භාවිතයට පැමිනුණි. තඹවලින් සෑදු සල්ලි නම් කාසි වර්ගය ද භාවිත විය. සල්ලිය අද භාවිත වන සතයට සමාන වූවකි. රිදියක වටිනාකම සල්ලි 64ක් විය. මහනුවර රාජධානි කාලයේ ලැරින්, දඹදෙනි කාසි, කොකු කාසි සහ තන්ගම ආදී කාසි වර්ග රුසක් ද භාවිත කොට තිබේ.

මට තිබෙන ප්‍රශ්නය තමයි ආසාවෙන් මහන්සියෙන් එකතු කළ මේ කාසි එකතුවට කරන්නේ මොකක්ද කියනඑක. එංගලන්තෙ හිටියා නම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට බාරදුන්නා නම් ඒගොල්ල ප්‍රවේසමින් බලාගන්නවා. රුකගන්නවා. ඒත් අපේ රටේ කාටද බාරදෙන්නේ. අපේ කෞතුකාගාරයට 2012 දී හොරු පැනලා කාසිත් සමඟ කොච්චර වටිනා බඩු අරන් ගියාද? ඒ කාලේ කෞතුකාගාරෙ තිබෙන කාසි එකතුව ගැන වාර්තාවක් හදන්න බාර දුන්නෙත් මට. හැබැයි පස්සෙ ඒ වාර්තාව ගැන සඳහන්ක්වත් නෑ.

ආචාර්ය කාවන් අවසානයට සඳහන් කළේය. ඒ අතරම අපේ රටේ මහ බැංකුවෙන් නිකුත් කරන සමහර කාසි අපට ලබාගැනීමට අපහසු වුණත් අන්තර්ජාල අලෙවි අඩවිවල ඕනෑතරම් වැඩි මුදලට ලබාගත හැකි බවද ඔහු පැවසුවේය.

 කුසුම්සිරි විජයවර්ධන  

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:05