බරණැස් නුවර මහ සිටුතුමාට හිටියේ එකම දුවයි. ඈ රූප සොබාවෙන්ද යුක්තයි. දනට පිනට මනාපයි. ඒ වුණත් උඩඟුයි. සැරපරුෂයි. මේ කුමාරිය මාසයකට දෙකට වරක් උයන් සිරි නරඹන්න යනවා. ඒ දෝලාවකින්. දැසි දස්සන් පිරිවරා. එතුමිය එන බව ආරංචි වුණාම දෙපස දුගී දුප්පත්තු රැස් වුණා. ඒ කුමරිය ඔවුන්ට මිහිරි ආහාර පාන බෙදන නිසා. ඔවුන් ඒවා පොර කකා ගත්තා. කුමරිය ඉන් සතුටක් ලැබුවා.
මේ මාවත කිට්ටුව රොඩි ගම්මානයක් තිබුණා. එහි අසීමිත නුවණක් ඇති රොඩී තරැණයෙක් හිටියා. ඔහු පින්පුරවන්නෙක්. නම මාතාංග. රොඩි කුප්පායමේ අනෙක් අය සමඟ ඔහු ඇසුරට ගියේ නෑ. තමන්ගේ පාඩුවේ සිටි කෙනෙක්.
මඟ දෙපස ඔල්වරසන් හඬ මැද උයන් කෙළියට සිටු කුමාරිය යනවිට මාතාංගද ඒ මඟ අයිනේ හිටියා. ඔහු කුමරිය දෙන ආහාර ගන්න ගියේ නෑ. බලාගෙන හිටියා. මාතාංග ඇඳගෙන උන්නේ රොඩි ජනතාවට ආවේණික ඇඳුම්. කුමරිය ඔහු දැක්කා. කවුද අර අමුතු මිනිසා. ඈ ළඟ උන් සේවිකාවගෙන් ඇසුවා.
උත්තමිය. ඒ රොඩියෙක්.
මේ අහංකාර පරවස කුමරිය එය අසා කලකිරැණා. ඔහු දැකීම අප්‍රිය කළා. ගමන නතර කළා. ආපසු හැරුණා. සිටු මැඳුරට ගියා. සුවඳ පැනින් නෑවා.
ඒ අතර එම මාවතේ කෝලහාලයක් වුණා. ඒ කුමරිය ආපසු ගිය නිසා ලැබෙන්න තිබූ ආහාර ලැබුණේ නැති අය මාතාංග වට කරගත්තා. එම්බල රොඩිය තොප නිසා අපට ලැබෙන්න තිබූ කෑම බීම නොලැබී ගියා. කියමින් ඔහුට පහර දුන්නා. සිහි නැතිවෙනකම් පහර දුන්නා. ඔවුන් ඔහු මැරුණා කියා හිතුවා. එතැන දමායන්න ගියා. ටික වෙලාවක් ගියා. මාතාංගට සිහිය ආවා. නැගිට්ටා. ඇඟට අමාරැයි. ඔහු කල්පනා කළා. මට මිනිස්සු පහර දුන්නේ අහංකාර කුමරිය නිසයි. ඇයට හොඳ පාඩමක් උගන්වන්නම් යැයි සිතුවා. සිටු මැදුර ළඟට ගියා. දොරටුව ළඟ නිදාගත්තා. දොරටු පාලකයෝ ඔහු එළවන්න හැදුවා. පලක් වුණේ නෑ. ඔහු සෙලවුණේවත් නෑ. ඔවුන් ගිහින් සිටුතුමාට කිව්වා. ඔහු කුමක්ද ඉල්ලන්නේ යැයි ගිහින් අහන්න එතුමා කිව්වා.
දොරටු පාලකයෝ ගියා. තොපට කුමක් ද ඕනෑ ඇසුවා.
මට දිට්ඨ මංගලිකා කුමරිය ඕනෑ. ඇය දෙන තුරු යන්නේ නෑ. මෙතැන මැරෙනවා. කිව්වා.
දොරටුපාලකයෝ බිය වුණා. ඒ බව සිටුතුමාට කිව්වා.
මොනවා මගේ දුව රොඩියකු ඉල්ලනවා. ඌට පිස්සු ඌ ඔතන උන්නාවේ. උඹලා පලයල්ලා. කියා සිටුතුමා කෝපයෙන් කෑ ගැසුවා. දොරටුපාලකයන් යන්න ගියා. මාතාංග නොසෙල් වී එතැනම උන්නා.
දින දෙක තුනක් ගෙවුණා. මේ රොඩි මිනිසා නැගිට්ටේ නෑ. ඔහුගේ උපවාසය ගැන මුළු බරණැසම පැතිරැණා.
හත් දවසක් ගෙවුණා. මාතාංග මළ මිනියක් වගේ වුණා. එය සිටුතුමාට අවනම්බුවක් වුණා. සිටුතුමා බලාගත් අත බලාගෙන උන්නා. මේ වනවිට දිට්ඨ මංගලිකා කුමරියගේ උඩඟුකම බිඳී ගිහින්. එතුමිය පියා හමුවට ආවා. පියාණෙනි. මේ විනාශය නතර කළ යුතුයි. මම තීරණයක් ගත්තා. ඒ මාතාංග සමඟ යන්න. ඊට මට අවසර දෙන්න.
සිටුතුමා දුකට පත්වුණා. එහෙත් දැන් වෙන කළ යුතු දෙයක් නෑ. දුවගේ තීරණයට කැමැති වුණා. දෙදෙනාම මාතාංග ළඟට ගියා. දුව බාරදුන්නා. ආපසු ආවා. දිට්ඨ මංගලිකා මාතාංග ළඟ ඉඳ ගත්තා. මට සමාවෙන්න දැන් මා ඔබේය. ඔබගේ බිරියයි. දැන් මගේ උඩඟුකම් නැත. නිහතමානීය. අපි සතුටින් ජීවත් වෙමු. නැගිටින්න. අපි ඔබේ නිවෙසට යමු.
ඔබ නිසා මා හොඳ හැටි ගුටි කෑවා. සත් දිනක් නිරාහාරව සිටියා. මට යන්න ඇඟට පණ නෑ. මා ඔසවා ගෙන යන්න යැයි ඉල්ලුවා. දිට්ඨ මංගලිකා ඔහු ඔසවාගෙන බොහොම අමාරුවෙන් ගෙන ගියා. මඟ දෙපස වැසියෝ බලා සිටියා. අනේ අපොයි වුණු දෙයක් කිව්වා. වෙන මොනවා ඔවුන් කියන්නද?
ඔවුන් රොඩි ගමට ගියා. කීප දවසක් මාතාංගගේ ගෙදර සිටියා. මාතාංග කල්පනා කළා. මේ කුමරිය මොන සැප සම්පත් වින්ද තැනැත්තියක්ද? ඇයට ඒ කිසිවක් දෙන්න මට බැහැ. ඔහුට සිතුණා.
මාතාංග දිට්ඨ මංගලිකා ළඟට ගියා. සොඳුර මා කැලයට යනවා. ඉක්මනට එනවා. කිව්වා. ඇය කිසිවක් කිව්වේ නෑ.
ඔහු වනගත වුණා. පැවිදි වුණා. බවුන් වැඩුවා. සත් දවසක් එසේ කළා. අෂ්ට සමාපත්තිය උපදවාගත්තා. ඍද්ධි බලයෙන් විත් රොඩි ගම් දොරට බැස්සා. දිට්ඨ මංගලිකාට එය ආරංචි වුණා. පෙරමඟට ගියා.
ඇයි ස්වාමිනි මා අනාථ කොට පැවිදි වුණේ යැයි ඇසුවා. අඬන්න පටන් ගත්තා.
සොඳුර ඇඬීම නවත්වන්න. සතුටු වන්න. මගේ සැමියා ලෙහෙසි පහසු කෙනෙක් නොවේ මහා බ්‍රහ්මයා කියා නුවර වැසියන්ට කියන්න පහළොස්වක සඳ බලන්න කියන්න කිව්වා.
දිට්ඨ මංගලිකා එනුවර වැසියන්ට මගේ සැමියා මහා බ්‍රහ්මයා. ඔබට ඔහු දැකගන්න පුළුවන් පසළොස්වක පෝයදාට පුන්සඳ පලාගෙන එනවා යැයි කිව්වා.
පසළොස්වක උදාවුණා රාත්‍රියේ සඳ පෑව්වා. මිනිස්සු උඩ බලාහිටියා. මාතාංග උතුමා සඳ මැද උන්නා. කසී රට දෙළොස් යොදුන් බරණැස් රට පුරා ගුවනින් ගියා. රොඩි ගමට බැස්සා. බ්‍රහ්මණ බැතිමත්තු රොඩි ගෙදරට ගියා. ඒ ගෙදරට සුවඳ පැන් ඉස්සා. පිරිසුදු කළා. පහන් දැල්වූවා. මාතාංගට ඔවුන් වැඳ නමස්කාර කළා.
පසුව මාතාංග දිට්ඨ මංගලිකා කුමරියගේ නාභිය පිරිමැද්දා. ඈ ගැබිනියක් වුණා. සොඳුරිය ඔබ ගැබිනියක් වී ඇත. පුතෙක් ලැබෙයි. ඔබ දෙදෙනාම යසසින් අගතැන් පත්වෙයි. ඔබගේ පය සෝදනා ජලය රජවරුන්ගේ අබිසෙස් ජලය වෙයි. ඔබ ස්නානය කළ ජලය වටිනා ඔසුවක් වෙනවා. එම දියගෙන යම් රෝගියකු නෑවොත් සියලු රෝග සුව වෙනවා. කෝපගති නැති වෙනවා. ඔවුන් ඔබට මසුරන් දහස් ගණනින් දෙනවා. එබැවින් දුක් වෙන්න එපා කිව්වා.
එදින වැලනොකැඩී බ්‍රාහ්මණ භක්තිකයෝ ආවා. ඒ සැමටම මාතාංග උතුමා ආශිර්වාද කළා. පසුදා රාත්‍රිය උදා වුණා. දිට්ඨ මංගලිකාට සොඳුරිය දැන් මා යා යුතුයි කිව්වා. ජනීජනයාට පෙනෙන්න සඳ මඬලට පැන්නා.
බ්‍රාහ්මණ භක්තිකයෝ එදින එහි පහන් කළා. පසුදා දිට්ඨ මංගලිකා රන්සිවිගෙයක තබාගෙන එනුවර වටා ගෙන ගියා. මහාබ්‍රහ්මයාගේ බිරිය කියා එපුර වැසියෝ සුවඳ මල් පිදුවා. වැඳ නමස්කාර කළා. එසේ යනවිට රෝගි අය එතුමියගේ දෙපා වැන්දා. නිරෝගී වූවා. මසුරන් දුන්නා. එසේ දිගටම සිදු කෙරුණා. දොළොසේ යොදුන් බරණැස් නුවර පුරාම ගියා. ගමන නිමවෙන කොට අටළොස්කෙළක් වස්තුව ලැබුණා.
මාතාංග ජාතකය ඇසුරින්