2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

සී.අයි.ඩී.ය මාධ්‍ය හඹායෑම දැඩිව හෙළා දකිනවා - ශ්‍රී ලංකා කර්තෘ සංසදය

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

සී.අයි.ඩී.ය කතුවරුන් හා මාධ්‍යවේදීන් පසුපස හඹායෑම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ශ්‍රී ලංකා කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

සතොස සුදුලූනු වංචාවට අදාළව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට එරෙහිව පසුගියදා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලට අදාළව ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් තිදෙනකු සහ ඒ පිළිබඳව ප්‍රවෘත්ති සැපයූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඒ ගැන ප්‍රකාශ ලබා ගැනීමට එහි බලධාරීන් ගෙන තිබූ තීරණය ශ්‍රී ලංකා කර්තෘ සංසදය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකී.

ශිෂ්ට සම්පන්න සමාජයක රටේ සිද්ධ වෙනදේ නිවැරදිව වාර්තා කිරීම වරදක් ලෙස දකිමින් අදාළ සිද්ධි වාර්තා කළ කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් හඹා යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත්තේ කවර නම් අයිතියක්ද? එහිදී ඔවුන් සිදුකළ යුතුව තිබුණේ ඇමැතිවරයාගේ ඍජු චෝදනාවට ලක්වන පාර්ශ්වයෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර වංචාවට අදාළ පරීක්ෂණ නිසියාකාරව පෙළ ගස්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස අදාළ වංචාව හෙළිකළ මාධ්‍ය පසුපස උන්මත්තකයන් සේ නිර්ලජ්ජිතව මෙසේ හඹායෑම නොවේ.

සිය වෘත්තීය වගකීම පසෙකලා ඔවුන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, එහි සාමාජිකයන් වන දිවයින කර්තෘ අනුර සොලමන්ස් හා දි අයිලන්ඩ් කර්තෘ ප්‍රභාත් සහබන්දු මහත්වරැන් ඇතුළු සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් සී.අයි.ඩී.යට කැඳවන්නට තීරණය කළේ ඔවුන් අදාළ වංචාවට කවර නම් සම්බන්ධයක් ඇති නිසාදැයි ප්‍රශ්න කරන්නට අපි කැමැත්තෙමු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2021.09.28 දාතමින් යුතව ලංකාදීප කතුවරයාට එවා ඇති ලිපියෙහි සඳහන් වනුයේ තුෂාන් ගුණවර්ධන යන අය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ද්වේශසහගත ලෙස අසත්‍ය කරුණු ඇතුළත් ප්‍රකාශ නිකුත් කර අපකීර්තියට පත් කිරීම හා අපහාස කිරීම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැමිණිල්ලක් කර ඇති බවය.

ඇමැතිවරයාගේ පැමිණිල්ල කෙසේ වෙතත් මෙරටේ සාපරාධී අපහාස නීතිය යන්න ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් 2002 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් ඉවත් කරනු ලැබූ නීති ප්‍රතිපාදනයක් බව එම වකවානුවේද පාර්ලිමේන්තුව නියෝජනය කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නොදැන සිටීම විමතියට කරුණක් බවද කිව යුතුය.

ඒ අනුව බලන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සැප්තැම්බර් 28 වැනිදා අඟහරුවාදා පෙරවරුවේ ලංකාදීප කාර්යාලයට ගොස් එහි ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශයන් ලබාගන්නට තැත් කළේ කවර නීතිමය ප්‍රතිපාදනයක් යටතේදැයි යන්නද බරපතළ ප්‍රශ්නාර්ථයකි.

සාපරාධී අපහාස නීතිය ශ්‍රී ලංකාවේ නීති පොතෙන් කටුගා දමා ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ වත්මන් නීති රාමුව තුළ එහි ඍජු පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පසෙකලා කතුවරුන් හා මාධ්‍යවේදීන් පසුපස හඹායෑමේ නිර්ලජ්ජිත විහිළු සහගත ක්‍රියාදාමය මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ තර්ජනයක් මෙන්ම අනතුරැ සංඥාවක් බවද මෙහිලා නැවතත් පිළිකුළෙන්, අප්‍රසාදයෙන් හා ජුගුප්සාවෙන් යුතුව දැනුම් දෙමු.

සිසිර පරණතන්ත්‍රී
ලේකම්, ශ්‍රී ලංකා කර්තෘ සංසදය