2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

සියලු හදවත් කම්පනය කළ දෙවසරක පාස්කු කඳුළ

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 46

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර දෙකක් ගතවී අවසන්ය. නමුත් තවමත් මෙම ප්‍රහාරය හේතුවෙන් මරණ සහ ජීවිත හානි සිදුවූ මිනිසුන්ට සාධාරණයක් හිමිවී නැත. 2019 අප්‍රේල් විසි එක්වැනිදා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේත්, මඩකලපුව සියෝන් දෙව්මැඳුර ඇතුළු හෝටල් කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් සමඟ ජීවිත දෙසීය හැට නවයක් විනාශ විය. එපමණක්ම නොව තවත් බොහෝ පිරිසකට හානි සිදුවූ අතර අදටත් ඇවිදගන්න බැරි, ලෝකය දකින්නට බැරි නැගිටගන්නට බැරි රෝගීහු මෙම බෝම්බ ප්‍රහාරයෙන් තම ආබාධිත ජීවිතවලින් වන්දි ගෙවති.

පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකක් ගතවූ මේ මස විසි එක්වැනි දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විශේෂ ආගමික වතාවත් සිදුවුණි. කිතුණුවන්ගේ පාස්කු මංගල්‍යය අමතක නොවුණු අමිහිරි මතකයන් එක්කරලමින් මෙම වැඩසටහන පැවැත්වූයේ මෙහිදී මෙදින රටේ බොහෝ දේවස්ථානවලට දැඩි ආරක්ෂාවක් පනවා තිබියදීය. නමුත් ඉහළ නිලධාරීන් පිරිසක් මෙම පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තොරතුරු දැන සිටියද ඒ සම්බන්ධව මේ ආකාරයට ආරක්ෂාකාරී පිළිවෙන් අනුගමනය නොකිරීම මේ මහා විනාශයට හේතුවීම ලොකුම කනගාටුවයි.

මෙහිදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ පැවැති “දෙවසරක පාස්කු කඳුළ” අනුස්මරණ වැඩසටහනට පවත්වන ලද්දේ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ද ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති ඉන්දීය, ඇමරිකානු ඇතුළු විදෙස් තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක්ද මෙම සැමරුම් උළෙලට පැමිණ සිටියහ.

මීට අමතරව තම ආදරණීයයන්ගේ ජීවිත හැරයාමෙන් හිස්වුණු ජීවිත වෙනුවෙන් හඬා වැළපෙන අය මෙන්ම තවත් ආබාධිත වුණු රෝගීන් බොහෝමයක් ඉටිපන්දම් දල්වා යාඥා කිරීම සඳහා කොච්චිකඩේ ශන්ත අන්තෝනි දෙව්මැඳුරට පැමිණ සිටියහ.
පෙරවරු අටයි හතළිස් පහට ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සීනුව නාදකොට මියගිය පුද්ගලයන් සිහිපත් කොට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි. මෙම වෙලාවේදීම රටේ සියලුම දේවස්ථානවල සීනුව නාදකොට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව එකම වෙලාවකදී රටේ සියලුම දේවස්ථානවල සීනුව මෙන්ම විහාරස්ථානවල ඝන්ඨා නාදකොට මෙම පිරිස සිහිපත් කොට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

පසුව මෙම ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කොට පහන් දැල්වීමද සිදුකෙරුණි. මෙහිදී රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත  නාහිමියෝ අනුශාසනාවක් පැවැත්වූහ.

“මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඔබ සියලුදෙනාට මතක ඇති. එදා අපිට ඇතිවූ වේදනාව අපිට අමතක නැහැ. අනුරාධපුරයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ යට අතුරා තිබූ සුදුවැලි තලය අහිංසක සෑදැහැවතුන්ගෙන් හැලුණු රුධිරයෙන් රතුපාටින් වර්ණ ගැන්වුණු අවස්ථාවේදී අපිට ඇතිවූ හදගැස්ම හා වේදනාව අපිට තාමත් දැනෙනවා. ඒ නිසා අපිට ඔබේ හදවතේ ඇතිදේ තේරුම් ගත හැකියි. ඔබේ ඒ හදගැස්ම හා වේදනාව අපිට දැනෙනවා. නමුත් අපි කවදාකවන් හින්දු කෝවිල් වෙත ප්‍රහාර එල්ල කරන්න උපදෙස් දුන්නේ නැහැ. ඒකට හේතුව වන්නේ ත්‍රස්තවාදය හා ආගම් අතර කිසිදු සබඳතාවයක් නැති බව අපි දැන සිටීමයි. අපේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ රජතුමා සතු වියයුතු යුතුකම් පිළිබඳව සඳහන් වෙනවා. රජතුමා හෙවත් රජයේ මූලික වගකීම ජනතාවගේ ආරක්ෂාව සැලසීමයි. නමුත් මේ වගකීම පසුගිය රජය විසින් ඉටුනොවුණු බව ඉතාමත් පැහැදිලියි. වරිතමාන රජය විසිනුත් ප්‍රමාණවත් අවධානයක් මේ සම්බන්ධයෙන් නොයෙදුණු බවට රටවාසි හැම පැත්තෙන්ම චෝදනා එල්ලවන අවස්ථාව අපි දකිනවා.” යැයි පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ “දෙවසරක පාස්කු කඳුළ” අනුස්මරණ උළෙලේදී තම දේශනය අතරවාරයේදී මෙසේ අදහස දැක්වූහ.

“මේ මිනිස් සංහාරය සිදුකළේ කවුරුන්ද, එම මීනිමැරුම සිදුකළේ කාගේ වුවමනාවටද යන්න රටට හෙළි කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවත් ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් මේ වනවිටත් අපොහොසත් වී තිබීම අප සිත්හි විශාල ප්‍රශ්නයක් නඟන දෙයක්. රටේ සෙසු අපරාධ සම්බන්ධව කෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්ෂමතාවයකින් හා විනිවිදභාවයකින් සිදුවී වරදකරුවන් නීතිය අහිමුවට ගෙන එන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙද්දී මේ කුරිරු මිනීමැරුම කෙරෙහි එදා පැවැති රජයත් දැන් බලයේ සිටින වත්මන් රජයත් පෙන්වන උදාසීන දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳ අපිට ඇතිවන්නේ බලවත් ශෝකයක්* යැයි පැවසුවේය. 

මීට අමතරව උන්වහන්සේ දේශනාව අතරේදී මුස්ලිම් සොයුරු සොයුරියන්ගෙන් ඉල්ලීමක්ද සිදුකළහ.

“ඔබ ඔබේ ආගම ගැඹුරින් අදහන්න තිබෙන උද්යෝගය සහ වුවමනාව ඔබට කිසිදු සම්බන්ධයන් නැති වෙනත් අයට සහ කණ්ඩායම්වල ආත්මාර්ථකාමි අරමුණ ඉෂ්ඨ කර ගැනීමට අත කොලුවක් බවට පත්වන ගෝලීය වැඩපිළිවෙළ තේරුම් ගන්න. අන්තවාදය ප්‍රතික්ෂේප කරන්න එඩිතරවෙන්න.”

පසුව දිවි අහිමිවූවන් සිහිකරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බොහෝ ජීවිත අහිමි කළ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද  අනුස්මරණ වැඩසටහනක් සංවිධාන කර තිබුණි. එම දේවස්ථානයට ඇතුළුවන තොරණ නිර්මාණ කර තිබුණේ බෝම්බයෙන් දිවි අහිමි වූවන්ගේ ඡායාරෑප යොදා ගනිමිනි.

මෙම ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට සාධාරණය ඉටුකරන‍ ලෙස ඉල්ලමින් පියතුමන්ලාගේ හා කන්‍යා සොහොයුරියන්ගේ සහාභාගීත්වයෙන් එදින සවස පා ගමනක් සිදුකෙරුණි. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසලින් ආරම්භ කළ මෙම පාගමන කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ළඟාවුණි. කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම පාගමන සඳහා පියතුමන්ලා කන්‍යා සොහොයුරියන් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝමයක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වුවද වසර දෙකක් අවසන් වුවද තවමත් මෙම අහිංසක මිනිසුන්ගේ ජීවිත උදුරා ගත්තවුන්ට දඬුවමක් හිමිවූයේ නැත. විපතට පත්වූවන්ට සාධාරණයක් ඉටුවූයේ නැත. ඒ සාධාරණය ඉටුවන තුරු මුළුරටක් බලා සිටී.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ