2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

පොලිස් පරීක්ෂකයෙක් ඇවිත්

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

විද්‍යාර්ථීන් සහ නිල වශයෙන් පත් කරගත් විවේචකයන් කලා කෘතියක් ලෙසින් පිළිගන්නේ නම් එය කලා කෘතියක්යැයි සැලකීම සෑම යුගයකම සහ සෑම සමාජයකම පවතින ලද්දකි. දැනමුත්තන්ගේ පිළිගැනීම නිසා පමණක් රජුගේ හෝ රජයේ ආධාර සහ සහනාධාර ලැබීම හෝ නොලැබීම තීන්දු වීම තවමත් එසේම සිද්ධ වේ.

කලා වෘත්තියක නියැ‍ලෙන්නට නොහැකි වූවත්, ආදායමයක් උපයා නොගත්තා වූවත්, හදවතේ තෙරපෙන කලාත්මක කුසලතාවය මහජනතාවට ඉදිරිපත් කරන්නට ගත් වෑයම් ඉතිහාසයේ පටන් අද දක්වා නොමඳව ලොව ඇති බව පෙනී යයි. එදා සීගිරියේ කුරුටු ගී සහ මෙදා ඉන්ටනෙට් කල්ලි ඊට කදිම උදාහරණයකි.

පාරම්පරික උරුමයක් හැටියට ශිල්ප සංගමයක (ගිල්ඩ්) අවසරය පමණින් ආදායමක් උපයාගත හැකි ආකාරයෙන් කලා නිර්මාණයක යෙදෙන්නට පුද්ගලයකුට අවසරය ලැබීම කොතරම් දරුණු ක්‍රියාකලාපයක් වූවාදැයි අවබෝධය අද ජීවත්වෙන්නකුට පුදුමයක් වේවි. අපිට ඒ පසුබිම ගැන රසවත් කතාවකින් හෙළිදරව් කරන්නෙ Dominic Smith ලියූ The Last Painting of Sara De Vos පොතෙනි.

17 වැනි සියවසේ ඕලන්ද කලා ශිල්ප ශාස්ත්‍ර සංගමය (ගිල්ඩ්) වෘත්තීය කලාකරුවාගේ ජීවිතයේ සෑම අංගයක්ම පාලනය කරයි. සුප්‍රසිද්ධ රෙම්බ්‍රෑන්ඩ්, වර්මීයර් වැන්නන් සාමාජිකයන් වූ ඒ ගිල්ඩ් තීන්දු කරන්නෙ චිත්‍රයක් ඇන්ඳම එහි අත්සන ගහන්න කාට ද අවසර දෙන්නෙ යන්නය. ඕලන්ද කාන්තාවන්ට ගිල්ඩ් ඔස්සේ චිත්‍ර ශිල්පී වෘත්තියට ඇතුළු වෙන්න අවසර ලැබෙන්නෙ 17 වැනි සියවසේදීය. මුල්ම වරට කාන්තාවන් 25 දෙනෙක් එහි සාමාජිකත්වය ලබාගන්න තරමට දක්ෂතා අතින් සමත් විය.

ශිල්ප ශ්‍රේණි බලමණ්ඩලයක අනුමැතිය නොමැතිව කලා නිර්මාණයක නියැලීමට සහ එය අලෙවියට හැකියාව බටහිර රටවල මුල්වරට ලැබෙන්නේ කාර්මික විප්ලවයෙන් පසුව රටවල් අතර ඕපපාතිකව නැඟ ආ නිර්බාධ වෙළඳාම නිසයි. ජේන් ඔස්ටින්, චාල්ස් ඩිකන්ස්, බ්‍රොන්ටෙ සහෝදරියන්, එයින් මනා ඵල නෙලා ගත්තවුන් වූහ. කලාවේ දියුණුව සලසන නාමයෙන් එය අතලොස්සකට සීමාකර තබාගන්නට යොදාගත් විවිධ ක්‍රමවේද එහි දී බිඳ වැටුණි. නිදහසේ හුවමාරුව ලොව නන් දෙසින් හට ගනිද්දී, අනෙක් සෑම මිනිස් වෑයමක් සේම, කලා කුසලතාවයෙන් යුතු වූවන් ද තම නිර්මාණ මහජනතාවට ඉදිරිපත් කර එයින් ආදායමක් උපයාගන්නට මාර්ගයක් සොයා ගත්හ.

යම් අයෙක් තමන්ගේ ඉදිරිපත් කිරීම කලා නිර්මාණයක් යැයි කියන්නේ ද, එය කලා නිර්මාණයක් වේ යැයි අදහස එහි දී බිහි විය. අද පවතින්නේ එයයි.

කලා කෘතියක් අගැයුමකට ලක්කරන ආකාරය අද දෙයාකාරයි. ඈත අතීතයේ පටන් එන හුරුවට තවමත් විද්‍යාර්ථීන් සහ නිල වශයෙන් පත් කරගත් විවේචකයන් වෙතින් හැදෙන බලමණ්ඩලයක් විසින් අගය කළ යුතු යැයි තීන්දු කරන නිර්මාණ එක ආකාරයකි. මහජනතාව විසින් කලාකරුවාගේ නිර්මාණ මිල දී ගැනීම තුළින් ඒ අයගේ වෑයම අගයන එක අනෙක් ආකාරයයි.

වැඩියෙන්ම ආචාර ධාර්මික වූ ද, බහුතරයට වැඩියෙන්ම අවස්ථා පාදාන්නා වූ ද, වැඩියෙන්ම සමාජයට හිතකර වූ ද තත්ත්වයක් පෑදෙන්නේ නිර්බාධ වෙළඳපොළ ක්‍රමය නිසා යැයි මේ සටහන් කියවන්න එන අය දැන් අවබෝධ කරගෙන සිටිය යුතු කාරණයක්! තාමත් අවබෝධ වෙලා නැත්නම් අද වෙනිසියුලාව ගැන ඩිංගක් හොයා බලන්න!!!

මුදල් හොයාගැනීම සඳහා යමෙක් කලා කටයුතුවල නියැලෙනවායැයි හෑල්ලු කරන අය සත්‍යයෙන්ම අකමැති විවිධාකාර කලා වෑයම් වෙළඳපොළේ තියෙනවා දැකීමටද? නැත්නම් තමන්ගේ අදහස් උදහස්වලට එරෙහි කලා නිර්මාණ තියෙනවා දැකීමටද? එහෙමත් නැත්නම් කලා නිර්මාණවල ප්‍රමිතියක් ආරක්ෂා කරගන්නට බලමණ්ඩලයකට හැකියැයි තවමත් සිතීම නිසාද?

“පොලිස් පරීක්ෂකයෙක් ඇවිත්” නාට්‍ය ලියන්නේ ජේ. බී. ප්‍රීස්ට්ලි නමැති බ්‍රිතාන්‍ය නාට්‍යකරුවා විසිනි. ඉංග්‍රීසි නාට්‍ය කලාවේ සම්භාව්‍ය නාට්‍යයක් හැටියට පත්වෙනවා සේම, ප්‍රීස්ට්ලි ලියූ හොඳම කෘතිය හැටියට සැලකෙන ඒක මුල් වතාවට රඟ දැක්වෙන්නේ 1945 සෝවියට් යුනියනයේය. එය සතියකින් ලියූ නාට්‍යයකි. ඒ නිසා එය රඟ දක්වන්නට ඒ නාට්‍ය සමයේ එංගලන්තයේ රඟහලක් කුලියට ගන්නට නොහැකි වී ඇත.

නමුත් ඇයි ඉංග්‍රීසි නාට්‍යයක්, ඉංග්‍රීසි කතාකරන රටවල් තියෙද්දී සෝවියට් යුනියනයට යන්නෙ?!

කතාවට පාදක වෙන්නෙ 1912 වසර. එය දිගහැරෙන්නෙ රෙදි වියන මෝලක් අයිති ධනවත් ආතර් බර්ලින්ගේ නිවහනේ. රාත්‍රී ආහාර සාදයකදී ගූල් යැයි කියාගත් පොලිස් පරීක්ෂකවරයා ඇවිත් එහි සිටින සියල්ලන්ගේම හදවත් බිය ගන්වන, කකියන, කම්පා කරවන ලෙසින් කරන තතු හෙළිදරව්වෙනි.

කතා වස්තුව (ප්ලොට්) එක, දෙබස් සහ ජවනිකා ගලායන ආකාරය අති විශිෂ්ටයි. පාඨක, ප්‍රේක්ෂක හදවතට “දැනෙන විදියට” රචකයා එහි දී උදහසට ලක්විය යුතු චරිතවලින් අනුකම්පාවට ලක්විය යුතු චරිතයට “වික්ටෝරියන්” ආකල්පවලින් සැලෙකන ආකාරය මනාවට දිග හරියි.

එවැන්නක් රස වින්ඳනයෙන් පසුව අපි අහන්න ඕන ප්‍රශ්න ගොඩක් තියනවා.

එංගලන්තයේ නොවූවා නම්, එවැනි ධනවතකුගේ නිවහනක රාත්‍රී ආහාර සාදයකට කිසිවෙකුත් නොදන්නා පොලිස් පරීක්ෂකයකුට ඇතුළු වෙන්නට ඉඩ ලැබේවිද (සෝවියට් යුනියනයේ වුවත්)?!!

එක වැරදි තෝරාගැනීමක් පසුපස තවත් වැරදි තෝරාගැනීම් ගණනාවක් හඹා එනවාද?

සමාජ සුබසාධනය සඳහා “දුප්පත් නීති” ගෙනැවිත් ඒ සඳහා පත් කරගත් බලමණ්ඩල විසින් පවත්වාගෙන ගිය ක්‍රමවේදය අසරණයන්ට සහනයක් වෙනුවට දැඩි අසාධාරණයක් සිදු වූ බව 1945 වෙද්දී එංගලන්ත සමාජයට අමතක වී ගිහින්ද?

කලා නිර්මාණයක් විචාරය කරද්දී, අපි කළ යුත්තේ එහි කලාත්මක පැත්ත ගැන සැලකීම පමණක්ද?

කැඩපත තුළින් අපි බලන්නේ සම්පූර්ණ පිළිබිඹුව දිහාද? නැත්නම් යම් අංගයක් දිහා පමණක්ද?

අරුණි ශපීරෝ‍

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00