2019 මාර්තු 02 වන සෙනසුරාදා

අනේ ඕකගේ සරම කැඩීයං.... අමුඩේ අමතක වෙලා තිබීයන්...

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 427

YouTube Hit අමුඩෙ
YouTube Channel - Saman Lenin සමන් ලෙනින් 
Subscribe – 22297
Category – Song / Lyrics – Dilshan Pathirana
Views – 597K

මේ අලුත් වැඩක්. අපි කතා කරන්නේ YouTube හරහා ජනාදරයට පත්වුණ නිර්මාණයක විශේෂතා. රිදී තිරයට පුංචි තිරයට අපේ මාධ්‍ය කාලේ තියන ඉඩකඩ YouTube වෙනුවෙනුත් ලබාදෙන්න කාලේ හරි. ඒ නිසා අපි හදසරින් පළමුවෙන්ම මේ අලුත් වැඩේට අතගැහුවා.

සමන් ලෙනින් අපි කවුරුත් දන්න ගායකයෙක්. ඔහුට තියෙන්නේ ලාංකික අනන්‍යතාව මුසුවුණු හඬ පෞරැෂයක්. මකුළුලුව, ලයනල් රංවල, රෝහණ බැද්දගේ වැනි ජන සංගීතයේ ප්‍රවීණයන්ගේ පරපුරේ මේ යුගයේ සලකුණ ඔහු. මෑතක සමන් අත ගහපු වැඩ අතරින් YouTube Hit වුණ වැඩක් තමයි අමුඩේ වීඩියෝ එක. ඇත්තට ඒක ටික වෙනස් වැඩක්. ඒ නිසාම Sri Lankan YouTube Hit Video Clip ගැන අපේ කතිකාවතේ අද තේමාව තමයි අමුඩේ.

අපි මේ මුලින්ම මේ Video එක ගැන කතා කරමු. මේක ලෝ බජට් වැඩක්. ලොකේෂන් තුන හතරක තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතාම සරල කැමරා කෝණ තමා භාවිතා කරලා. විශේෂ කලා අධ්‍යක්ෂණයක් සිද්ධවෙලාම නෑ. මේ කරුණු කාරණා මොනවා වුණත් මේක ලක්ෂ පහකට අධික පිරිසක් YouTube හරහා නරඹලා තියෙනවා. මේ ජනප්‍රියත්වයට හේතුවුණ රහස් කිහිපයක්ම තියෙනවා. දැන් අපේ කතාව ඒ ගැන.

කිසිම සැකයක් නෑ සමන් ලෙනින් කියන්නේ ලොකු ෆෑන් බේස් එකක් තියෙන YouTube කෙනෙක්. ඔහුගේ චනල් එකට Subscribe විතරක් 22k වගේ තියනවා. ඔහු YouTube එක හරහා වැඩකරන්න පටන් අරන් තියෙන්නේ අද ඊයේ නෙවෙයි. ඒ නිසාම සමන්ගේ වැඩක් එළියට ආවම ටග්ගාලා බලන පිරිසක් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ජන සංගීත ඇසුරේ බිහිවෙන නිර්මාණවලට පුංචි තිරයේ වෙන්වෙන ඉඩ අඩුයි. නමුත් සැලකිය යුතු රසික පරපුරක් මේ වටා ඉන්නවා. ඔවුන් තමන්ගේ රසාස්වාද හොයා යන්නේ YouTube හරහා. ඒකත් මේ වැඩේ හිට් වෙන්න ලොකු හේතුවක් වුණා.

ඒත් ඇයි මෙච්චර Views මේකට ලැබුණේ? අමුඩේ වීඩියෝ එකේ තේමාව හරි අපූරුයි. මේ වස් කවියක්. කතාව සරල කිව්වොත් තමන් ආදරය කරන ගෑනු ළමයව බලන්න මනමාලයෙක් එනවා. ඒ මොහොතේදී ගමේ තරුණයෙක්ට දැනෙන වේදනාව. ආවේගයෙන් යුතුව ප්‍රකාශ කරනවා වස් කවියක ආකෘතියෙන්. මේ නිර්මාණය ඉතා සරල වචන භාවිතයෙන් ඉදිරිපත් වෙන්නේ. එහෙත් ඊට සමන්ගේ ගැඹුරු ලාංකික හඬ පෞරුෂය මුසුවුණාම රසිකයා අමන්දානන්දයට පත්වෙනවා.

මඟුල එහෙනම් තීන්දුයි දැන් 
කීවොතින් හොර කපුවා එසැණින්
අලුත් නෑකම් සභා මැද්දේ
අනේ ඕකගේ සරම කැඩීයං....

මතුපිටින් හාස්‍ය රසයක් මතු වුණත්, මෙහි සංදර්භය තුළ මානවීය ප්‍රකාශයක් තියනවා. ඕනෑම චිත්ත පීඩාවක් තුළ මතුවෙන චෝදනාත්මක ද්වේශසහගත සිතුවිලි අමුඩේ වස් කවි ගීතය තුළින් මනාවට නිරෑපණය වෙනවා.
ඇත්තට මේ නිර්මාණය YouTube මාධ්‍යයට සරිලන නිර්මාණයක්. එහි රූප භාෂාව ඉතාම සරලයි. නමුත් ප්‍රකාශනය ඉතා ගැඹුරුයි. ඒ අනුව සමන් ලෙනින්ගේ තෝරාගැනීම අතිසාර්ථකයි කියන එක තම අවසානයේ අපිට පේන්න තියෙන්නේ.

අම්මාගේ කට වචන ගිලීයං
තාත්තාට වෙන වැඩක් වැටීයං
කාගේ හරි හිත තදට රිදීයං
අනේ ඕකගේ සරම කැඩීයං
මොකක් හරි හේතුවක් හින්දා...
අමුඩේ අමතක වෙලා තිබීයන්...

(ලබන සතියේ තවත් YouTube වැඩක් එක්ක හමුවෙමු.)

► Text - Nisal   /   Pic – Internet