ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණයේ වේෂ නිරූපණ ශිල්පියා ඔබයි. නාරදට ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
මෙම චිත්‍රපටය සඳහා අනුරුද්ධ අයියා (අනුරුද්ධ ජයසිංහ) තමයි මට කතා කළේ. ඊට පෙර මම අනුරුද්ධ අයියගේ නිර්මාණයකට දායක වෙලා තිබුණේ නැහැ. නමුත් අනුරුද්ධ අයියට මාත් එක්ක නිර්මාණයක් කරන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒ අනුව තමයි අනුරුද්ධ අයියා මාව මේ නිර්මාණයට දායක කරගත්තේ.
මේක අභියෝගයක් නේද?
ඔව්... අනිවාර්යයෙන්ම. කොහොමත් මම මගේ ජීවිතේ අභියෝගවලට කැමති කෙනෙක්. ලංකාව තුළ මේක් අප් ආටිස්ට් කෙනෙක් ගැන තියෙන ආකල්පය එච්චර හොඳ නැහැ. සම්මාන උළෙලකදී වුණත් ඇතැම් විට වේෂ නිරූපණ ශිල්පියාව එච්චර පිළිගැනීමක් නැහැ. ඔවුන්ට කිසි වටිනාකමක් ලබලා දෙන්නේ නැහැ. බොහෝ දෙනා කියන්නේ රජ කතාවක රැවුල් කොණ්ඩ තමයි නියම වේෂ නිරූපණ කියලයි. එයාලා හිතන්නේ ඒවා තමයි වැඩ කියලා. නමුත් ලෝකය ගැන බලද්දි ඒවා වැඩ නෙවෙයි. ඇත්තටම මේක මට ලැබුණු අභියෝගයක්. ජීවත් වෙලා හිටපු, දැකපු, මිනිස්සු ආදරය කරපු, සමහර මිනිස්සු වෛර කරපු පුද්ගලයකු නැවත මැවීම අභියෝගයක් තමයි. රෝහණ විජේවීර කියන්නේ ලංකාවේ අවධානය දිනාගත්තු චරිතයක්. ඉතින් එවැනි චරිතයක් වේෂ නිරූපණය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
කමල් අද්දරආරච්චි මුලින්ම වේෂ නිරූපණය කරද්දී ඇතිවුණු අභියෝග මොනවද?
අනුරුද්ධ අයියා මුලින්ම මට කිව්වා රෝහණ විජේවීරට රඟපාන්නේ කමල් අයියා කියලා. ඊට පස්සේ අපි මොනවද කරන්න ඕනෙ කියලා තීරණය කරන්න මට සිද්ධ වුණා. ඒ වෙනුවෙන් අදාළ තාක්ෂණය මොකද්ද ආදිය තීරණය කරන්න මට සිද්ධ වුණා. මම මුලින්ම විජේවීරගේ පින්තූරයකුත්, කමල් අයියාගේ පින්තූරයකුත් අරගෙන ඒ දෙක දිහා බලාගෙන පොඩ්ඩක් වෙලා ඉඳලා සංසන්දනය කළා. ඊට පස්සේ අපි මුලින්ම කරපු දේ තමයි දත් සකස් කිරීම. ඒ වෙනුවෙන් අපි කමල් අයියා එක්කම දත් විශේෂඥවරයකු ළඟට ගිහින් ඒ සැලැස්ම හදාගත්තා. ඒ වෙනුවෙන් අපි දහ පාරක් විතර මහන්සි ගත්තා. දත් සෙට් එක හදාගෙන තමයි අපි ඊළඟ පියවරට යොමු වුණේ.
විජේවීරගේ චරිතයේ අවදි දෙකක් චිත්‍රපටය නිරූපණය වෙනවා නේද?
ඔව්... එක අවදියක් රැවුල හා කොණ්ඩය වවාගත්තු අවදියයි. අනිත් අවදිය තමයි ඔහු වෙස්වලාගත් අවදිය. ඒ වෙස්වලා ගත්ත අවදිය වෙද්දි ඔහු රැවුල කපනවා. විජේවීරගේ රැවුල තියෙන කාලේ පින්තූර කිහිපයක්ම අපි ළඟ තිබුණා. නමුත් වෙස්වලා ගත්තු කාලයේදී පින්තූර තිබුණේ එකයි හෝ දෙකයි. ඉතින් ඒ දේවල් ගලපලා තමයි අපි වේෂ නිරූපණය කරන්න පටන්ගත්තේ. කොහොමටත් මට හිතෙන විදිහට අපි මේක් අප් ටෙස්ට් පහකට වැඩිය කළා. දත් හදලා දත් දාගෙන අපි කමල් අයියගේ අච්චුවක් ගත්තා. ඒ මූණ අරගෙන ඒක උඩ අපි මේක් අප් කර කර බලලා තමයි නිවැරදි මේක් අප් එකට අපි සූදානම් වුණේ.
රන්මිහිතැන්නේ රූගත කිරීම් කරද්දී නළු නිළියන් සහ අතිරේක නළු නිළියන් විශාල ප්‍රමාණයකට වේෂ නිරූපණය කරන්න සිද්ධ වුණා නේද?
ඔව්... කමල් අයියගේ මේක් අප් එකට අනිවාර්යයෙන්ම පැය දෙකහමාරක් විතර කාලයක් ගත වුණා. ඉතින් මේ නිර්මාණයේදී තවත් බොහෝ පිරිසකට මේක් අප් කරන්න සිද්ධ වුණා. ඒ චරිතත් පින්තූර නැතත් ලංකාව ඇතුළේ වුණ මිනිස්සු. ඒ අතරේ පින්තූර තිබුණ චරිත කිහිපයක්ම තිබුණා. විශේෂයෙන් විජේවීරගේ බිරිඳ වගේම සෝමවංශ අමරසිංහ වගේ අයගේ චරිතත් මේ සිනමා නිර්මාණයේ තිබුණා. ඒ නිසා මේ නිර්මාණය කරද්දී මේ චරිත ගැන මම වගකියන්න ඕනේ. ඒ නිසා තියෙන සම්පත්වලින් පුළුවන් තරම් ඒ චරිත මවන්න මම හැමවෙලේම උත්සාහ කළා.
මේ වෙනුවෙන් කාලවේලා වෙන්කරගත්තේ කොහොමද?
අපි පාන්දර නැගිටලා මේක් අප් කළේ නැහැ. අපි රෑ වෙනකල් ෂූටිං කරපු නිසා බොහෝ වෙලාවල අපි හැමෝම නිදාගත්තේ පාන්දර දෙක තුන වෙනකොටයි. ඉතින් පහුවදා උදේ හත අට වෙද්දි තමයි ආයෙමත් ෂූටිං පටන්ගත්තේ. ඒ නිසා කොහොමටත් අපි පහේ ඉඳන් තමයි අපේ වැඩ පටන්ගත්තේ. මෙම නිර්මාණයේ අවදි දෙකක් තිබුණනේ. ඔය පීරියඩ් දෙක ඇතුළේ මේ හැම චරිතයකම රූපය වෙනස් වෙනවා. හැබැයි රූගත කරද්දි එකදිගට ඒ රෑපය වෙනස් වන කොටස සියල්ල කරලා ඉවර කරන්න අපිට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා බොහෝ දෙනකුගේ එක දවසේ මේක් අප් දෙවිදිහකට වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. ඇත්තටම මේක අභියෝගයක්. හැබැයි අනුරුද්ධ අයියා ඇතුළු අපි හැමෝම අවසානයේදී ඒ අභියෝගයත් ජය ගත්තා.
මේ වෙනුවෙන් නාරදට උදවු වුණ පිරිස බොහෝයි. අපි ටිකක් ඔවුන් ගැනත් කතා කරමු?
ඔව්... විශේෂයෙන් හරූන් ෂෙඩින් මතක් කරන්න ඕනේ. හරූන් තමයි මේ නිර්මාණයේ කොණ්ඩ සැකසුම් ශිල්පියා විදිහට කටයුතු කළේ. හරූන්ට මම මේ නිර්මාණයට කතා කරද්දිත් ඔහු බොහෝ කාර්යබහුල වැඩ කිහිපයක්ම බාර අරගත්තු වේෂ නිරූපණ ශිල්පියෙක් වුණා. නමුත් මම කතා කළ ගමන්ම ඔහු දින වකවානු හදාගෙන සමහර වෙළෙඳ දැන්වීම් අතහැරලා මේකට දායක වුණා. ඒ වගේම විජේවීරගේ කොණ්ඩයේ විග් එක හදලා දුන්නේ ප්‍රේමලාල් ලියනගේ. ඊට අමතරව මගේ මිත්‍ර වජිර, මනරුවන් රූපසිංහ, තරිඳු, රජිත මට උදව් කළා. ඒ වගේම මගේ ආදරණීය බිරිඳ සහ මගේ පුතත් මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා.
ගින්නෙන් උපන් සීතල රූගත කරද්දී අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද?
අපි කමල් අයියව විජේවීර විදිහට මේක් අප් කරගෙන රූගත කිරීම් කරන තැනට ගියාම මිනිසුන්ට ඒ දර්ශනය දැනුණු විදිහ මට අමතක වෙන්නේ නෑ. එතන තවත් අන්කල් කෙනෙක් මම ළඟට ඇවිත් කමල් අයියා දිහා බලාගෙන ඇස්වල කඳුළු පුරෝගෙන ඇඬුවා. කතා කරන්නටත් බැරි තරමට ඒ මනුස්සයට ඇඬුණා. ඒ වෙලාවේ තමයි මට තේරුණේ මේ මනුස්සයාට කොච්චර ආදරය කරන මිනිස්සු පිරිසක් මේ ලංකාවේ ඉන්නවද කියලා. ඒක පුදුමාකාර හැඟීමක්.
ඒ නාරද තොටගමුවගේ අදහසයි. ගින්නෙන් උපන් සීතල නිර්මාණයේ කොණ්ඩ සැකසුම් ශිල්පියා ලෙසින් කටයුතු කළේ හරූන් ෂෙඩීන්. අපි හරූන් එක්කත් සිනමා නිර්මාණය ගැන කතා කළා.
හරූන් ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණයට කොණ්ඩ සැකසුම් ශිල්පියා විදිහට වැඩ කරන්න නාරද කතා කරද්දි මොකද හිතුණේ?
නාරද තොටගමුව මහතා මට දවසක් කතා කළා. පොඩ්ඩක් එන්න කියලා. මට කියලා රෝහණ විජේවීරව හදන්න තියෙනවා කියලා මට කිව්වා. ඒ වෙලාවේ එතනට කමල් අද්දරආරච්චි මහතාත් ආවා. ඒ වෙද්දි සම්පූර්ණ විග් එක තිබුණා. නමුත් කමල් අයියා මට ෆොටෝ වගයක් පෙන්නලා මේක මේ විදිහටම මට හදලා දෙන්න කියලා කිව්වා. කොණ්ඩය කන ගාවින් වැටෙන ඒ රැල්ල, මුදු මුදු කෙස්, මේ හැමදෙයක්ම ඕනෙ වුණා. අවසානයේදී ඒ අවශ්‍ය කරන දේ යම් ප්‍රමාණයකට හෝ මම ලබාදෙන්න ඇති කියලා මම හිතනවා.
මේක අභියෝගයක් නේද?
ඔව්.... ඇත්තටම ඒක අභියෝගයක්. පළවෙනි දවසේ ඒ ගැන කියද්දි මම පොඩ්ඩක් බය වුණා. කමල් අයියා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ අග්‍රගණ්‍ය කලාකරුවෙක්. ඔහුව ලංකාවේ හිටපු චර්තයකට වෙනස් කිරීමත් එක්තරා අභියෝගයක්. නමුත් මම ඒ අභියෝගය බාරගත්තා. දවස් දෙක තුනක් ඒ චරිතය ගැන හිතන්න මට home work ටිකක් තිබුණා. මම ඒ හැම දෙයක්ම තනියම අධ්‍යයනය කළා. කොණ්ඩය විග් එකට මට අවශ්‍ය අනෙකුත් දේවල් එකතු කළා. මේ වෙනුවෙන් මම ක්‍රීම් වර්ග, ජෙල් වර්ග කිසි දෙයක් භාවිතා කළේ නැහැ. අපිට මේ චිත්‍රපටය රූගත කිරීම් කරන්න තිබුණේ රන්මිහි තැන්නෙයි. ඒක ගොඩක් උෂ්ණ කලාපීය පැත්තක්. ඒ නිසා කෙස් ගහක් එක්ක වැඩ කරද්දී කෘත්‍රිම ආලේපන යොදාගෙන වැඩ කරන්න අමාරුයි. ඒ නිසා ඒ දේශගුණයත් එක්ක වැඩ කරන්න අපි හුරුවෙන්න ඕනේ. ඒ නිසා කලින් දවසේ විජේවීරගේ කොණ්ඩය සකස් කරලා තමයි අපි කමල් අයියට ඒක දැම්මේ.
මතකද ෂූටිං කරපු පළවෙනි දවස? අත්දැකීම් කොහොමද?
ඔව්.. ෂූටිං පළවෙනි දවස් අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ෂූටිං පටන්ගන්න කලින් අපි මේක් අප් ටෙස්ට් කරලා අවශ්‍ය රූපය හදාගෙනයි තිබුණේ. ඒකට කමල් අද්දරආරච්චි මහත්තයා ගොඩක් සතුටු වුණා. ඒ නිසා තමයි අපි ෂූටිං පටන් ගත්තේ.
මේ නිර්මාණයේදී චරිත බොහොමයකට කොණ්ඩ සැකසුම් කරන්න සිද්ධ වුණා නේද?
ඔව්.... මුළු චිත්‍රපටය පුරාවට හිටපු සියලු චරිතවලට මම තමයි කොණ්ඩ සැකසුම් කළේ. ඒ වෙනුවෙන් මට හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මට චරිත පිළිබඳ අධ්‍යයනයක් කරන්න ලොකු කාලයක් තිබුණේ නැහැ. ඉතින් කමල් අද්දරආරච්චි වගේම ජගත් මනුවර්ණ, දිල්හානි අසෝකමාලා, සුලෝචනා වීරසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා ඇතුළු බොහෝ ප්‍රවීණයන්ට කොණ්ඩ සැකසුම් කරන්න අවස්ථාව ලැබුණා. ඒ හැමෝම මට ගොඩක් උදවු කළා. ඒ අය මට චරිතය ගැන කියලා දුන්නා.
හරූන්ට අමතක නොවන සිදුවීමක් වෙලා නැද්ද?
ඇත්තටම මේ නිර්මාණයම මට අමතක වෙන්නේ නෑ. මම මෙතෙක් කරපු වැඩවලින් ලොකුම අභියෝගය ලැබුණේ මේ නිර්මාණයෙන්. මගේ ජීවිතේ එක්තරා විදිහක සංධිස්ථානයක් තමයි මේ. ඒක මම ලබපු භාග්‍යයක්. ඒ වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහට, නාරද තොටගමුවට, සිනේ ප්‍රෝ ආයතනය ඇතුළු හැමෝටම ස්තූති කරනවා. මේ නිර්මාණය පුරාවටම ඒ සිදුවීම් හැමදෙයක්ම මට අමතක කරන්න බැහැ. ඒ හැම දවසක්ම හරිම අභියෝගාත්මක දවසක් වුණා. මට මතකයි එක දවසක් අපි මහ වැස්සේ තිස්සමහාරාමය ඇතුළට වන්නට රූගත කිරීමකට යද්දි මුළු පාර පුරාවටම සර්පයන් හිටියා. මගේ ජීවිතේ ඒ තරම් සර්පයන් ගොඩක් මම දැකලා තිබුණේ නැහැ. ඒ හැමදෙයක්ම මට සුවිශේෂී.
► Text - Dishani / Pic- Internet