2025 මැයි 03 වන සෙනසුරාදා

කල්ලි ගැහිලා සමහරු චිත්‍රපටවලට ගහන්නේ ඒ චිත්‍රපටය බලලවත් නෙවෙයි

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 87

රසවතාණෙනි... එලෙසින් ඔහු ආමන්ත්‍රණය කරන්නට මට සිත් වෙයි. ඒ නොසංසිඳෙන සිනමාමය පිපාසයකින් සහ කලාත්මක සබැඳියාවකින් කලාවටත් සිනමාවටත් හිතෛෂී ඒ හදවත හැමදාමත් සංවේදී මානුෂිකත්වයක කැඩපතක් සෙයින් මා හඳුනාගත් හෙයිනි. ඒ හිත හොඳ දොස්තර මහත්තයා ලොවක් දිනූ, ලොවක් දැන හඳුනන, ලොවටම ප්‍රාණජීවයක් වූ ප්‍රාණජීව ඖෂධය නිෂ්පාදනය කරමින් දේව වරමක් බඳු වූ ඒ ශාස්ත්‍රය තමන්ට තිළිණ කළ තමන්ගේ ගුරු හාමුදුරුවන් ගැන භක්ත්‍යාදරයෙන් සෙත්සුව ආයුර්වේද රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස සදන සුවසෙත වදනින් විවරණය කරන්නට නොහැකි තරමට අනන්තයක්ම වන හෙයිනි.
සෙත්සුව ආයුර්වේද රෝහලේ නිර්මාතෘ ආයුර්වේද වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ මේ මොහොතේ හදසරට මාතෘකාවක් වන්නේ අයිස්ක්‍රීම් නිසාමය.

අයිස්ක්‍රීම්?
අයිස්ක්‍රීම්... අයිස්ක්‍රීම්... අයිස්ක්‍රීම්...
ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ අයිස්ක්‍රීම් සැබැවින්ම ලාංකික සිනමාවට තිළිණ වන්නේ වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ එහි සිනමාමය බරපැන දායකත්වය දෙවුර දරාගත් හෙයින්මය. සැබැවින්ම චිත්‍රපට නිෂ්පාදකවරයකු වශයෙන් දරන වගකීම වත්මන වනවිට වඩාත් සංකීර්ණ සහ බොහෝ විට ව්‍යාකූල සහගත වගකීමක් බවට පත්වන්නේ බොහෝ විට චිත්‍රපටය නිර්මාණය කර වසර ගණනාවක් ගතවන තෙක්ම එම චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා ගෙන ඒමට නොහැකි වාතාවරණය තුළ චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දරන ලද පිරිවැය හේතු කරගෙන පත්වන මූල්‍යමය අර්බුද හා අපහසුතා වඩාත් තීව්ර වන හෙයිනි. එක් චිත්‍රපට නිෂ්පාදන කාර්යයකින් පසු යළිත් චිත්‍රපට නිෂ්පාදනයට යොමු නොවීමට තරම් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා නිසි විධිමත් විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් නොමැතිවීමේ හේතුව කරණ කොටගෙන ඇතැම් චිත්‍රපට නිෂ්පාදකවරුන් සිනමා නිෂ්පාදනයෙන් ඈත් වන්නේ සැබැවින්ම සිනමා නිෂ්පාදකවරයකු රැක ගැනීමේ ක්‍රමවේදයක් නොමැති පසුබිම තුළය. සැබැවින්ම සිනමාව තවමත් කර්මාන්තයක් ලෙස ගොඩනැගී නැති වාතාවරණයක් තුළ සිනමා නිෂ්පාදනයට දායකත්වය ලබා දෙමින් තවමත් සිංහල සිනමාවට පෙම් බඳින සිනමා නිෂ්පාදකවරුන්ට ගෞරවාදරයේ මල් මිටක් පිදිය යුතුමය.
එවන් පසුබිමක සෙත්සුව ආයුර්වේද රෝහලේ නිෂ්පාදන සන්නාමයේ අභිමානවත් මුද්‍රාව තුළ නිෂ්පාදනය වූ අයිස්ක්‍රීම් චිත්‍රපටය පිළිබඳවත්, ලාංකික සිනමාවේ කඩතොළු ඇති තැන් පිළිබඳවත් සෙත්සුව ආයුර්වේද රෝහලේ නිර්මාතෘ ආයුර්වේද වෛද්‍ය සුජීව ප්‍රසන්න විතානගේ සමඟ කළ කතාබහේ සටහනයි මේ.

වෛද්‍යතුමනි.. සිනමාව සහ කලාව ගැන ඔබට තියෙන්නේ කවරාකාර විග්‍රහයක්ද?
ඇත්තටම කලාව කියන ක්ෂේත්‍රයේ එක් ශානරයක් වූ සිනමාව මම දකින්නේ අතිශය ප්‍රබල සහ අතිශය සංවේදී කලාත්මක ශානරයක් විදිහටයි. ඇත්තටම එය විශ්වීයයි. කලාව කියන්නේ මිනිසාගේ මනස සුවපත් කරන ආධ්‍යාත්මික ඖෂධයක් ලෙසයි මම දකින්නෙ. නිදුක් නිරෝගී මානසික සුවදායී බව සමස්ත මානව සංහතියේම ප්‍රාර්ථනයක් බව මම විශ්වාස කරනවා. ඒ ප්‍රාර්ථනය සඵල කරගැනීමට දායකත්වය සපයන ප්‍රබලම මාධ්‍යයක් තමයි ඇත්තටම කලාව කියන්නෙ. ඇත්තටම අයිස්ක්‍රීම් චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ මගේ මූලිකම පරමාර්ථය තමයි නවමු සිනමාමය අත්දැකීමක් සිනමාලෝලී ප්‍රේක්ෂකාගාරයන්ට තිළිණ කිරීම.

කලාවට මිනිසුන් සුවපත් කළ හැකිනම් දවසකට චිත්‍රපට දහස් ගණනක් නිර්මාණය වන කලාවේ සෙසු ශානරයන් ඔස්සේ ගීත, සාහිත්‍ය, කවි දහස් ගණනක් නිර්මාණය වන ලෝකයක ලෝකය බොහෝ විට කටුක අසුන්දර නවාතැන්පොළක් බවට පරිවර්තනය වෙන්නෙ කලාව තුළින් කලාවේ මෙහෙවර ඉටු නොවීම නිසාද? මිනිසුන් ඇත්තටම කලාවට ආදරය නොකිරීම නිසාද? නොඑසේනම් ඒ වෙන හේතුවක් නිසාද?
කලාව තුළින් කලාවට අයිති ඕනෑම ශානරයක් තුළින් චිත්‍රපටයක්, කවියක්, ගීතයක් තුළින් ගුණාත්මක, රසාත්මක, භාවාත්මක වටිනාකම ගිලිහී යනවනම්, එකම අරමුණ මුදල සහ වෙළෙඳපොළ බවට පමණක් පත්වෙනවනම්, ඒ කලා නිමැවුමේ යළි යළිත් පිළිසකර කළ යුතු බොහෝ තැන් ශේෂ වී තිබෙන්නට පුළුවන්. ඇත්තටම ආදරයෙන් නිර්මාණය කරනු ලබන ඕනෑම කලා කෘතියක් මම නිර්වචනය කරන්නේ පාරිශුද්ධ ආධ්‍යාත්මික භාවනාවක් හැටියට. ඉතින් භාවනාවක් තුළින් උපදින සුවය නිර්වචනය කරන්න බැරි තරම් සුවිශාලයි. ඉතින් නිර්මාණාත්මක සහ ගුණාත්මක කලා කෘති බිහි නොවීම තුළ උපදින හිස්තැන් වගේම මුදල කියන ඒකකය මත පමණක් සියල්ල තීරණය කරන බහුතර මානව සමාජ තුළින් කලාවට ඇති අවකාශය සහ ඉල්ලුම ගිලිහී යාමත්, මෝස්තරයක් ලෙසින් මිස සැබෑ ආදරයකින් මිනිසුන් කලාවට ප්‍රේම නොකිරීමත්, ඔබ ඔය කියන දෙයට හේතු වන වග මමත් විශ්වාස කරනවා.

අයිස්ක්‍රීම් ගැන ඔබ ඇත්තටම තෘප්තිමත්ද?
සෙත්සුව ආයුර්වේද රෝහලේ සිනමාමය සත්කාරයක් ලෙස මගේ බිරිඳ කෝකිලා විතානගේ නමින් සිනමාවට දායාද කළ අයිස්ක්‍රීම් චිත්‍රපටය මම දකින්නේ නිදහස් ආකෘතියක් මත නිර්මාණය වූ වෙනස් චිත්‍රපටයක් විදිහට. දුර්වල තැන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒත් එහි ගීත නිර්මාණයන් සහ පසුතල සඳහා සැලකිය යුතු පිරිවැයක් මම දැරුවා. ඇත්තටම එය ලාභ විදිහට කරපු අඩු පිරිවැයකින් නිර්මාණය කළ චිත්‍රපටයක් නෙවෙයි. මේ වනවිට අයිස්ක්‍රීම් ඉතාලි ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත ඉතාලියට රැගෙන යාමට අපට පුළුවන් වුණා.
ලාභ – අලාභ චිත්‍රපට නිෂ්පාදනයේදී සිදුවන දෙයක්. අලාභ සිදු නොවෙනවනම්, ලාභ ඉපයිය හැකිනම් මම හිතන්නේ ඒ තමා මේ ලෝකයේ හැම චිත්‍රපට නිෂ්පාදකවරයකුගේම ප්‍රාර්ථනාව. එහෙත් ලාභ ඉපයීම කෙසේ වෙතත් වියදම් කළ මුදල හෝ ඉපයීම හැම නිෂ්පාදකවරයකුටම ලැබිය හැකි දෙයක් නෙවෙයි. ලාභ – අලාභ හෝ එහි මැද මාවත තුළ මම අවසානයේ කොතැනකට කේන්ද්‍රගත වෙයිද කියලා දැන්ම කියන්න මම දන්නෙ නෑ. ඒත් මම තෘප්තිමත්.

ඒ තෘප්තිමත්භාවය නැවත ඔබව චිත්‍රපට නිෂ්පාදක යන භූමිකාව තුළට රැගෙන ඒමට තරම් ප්‍රබල තෘප්තිමත්භාවයක්ද?
ඔව්...

ඔව් කියන උත්තරය මට දෙන්න හේතු කියන්න පුළුවන්ද?
මේ ලෝකයටම පොදු ප්‍රස්තුතයක් සහ වර්තමානයේ මිනිසුන් හඹා යන එක්තරා සිහිනයක් ප්‍රස්තුත කරමින් ලියැවෙන පිටපතක් නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු යටතේ චිත්‍රපටයක් බවට පත්කිරීමේ බලාපොරොත්තුව මට තියෙනවා. මම දන්න විදිහට සහ විශ්වාස කරන විදිහට ඒ ප්‍රස්තුතය කේන්ද්‍රීයව ලංකාවේ තවම චිත්‍රපටයක් නිර්මාණය වෙලා නෑ. ලෝකයේ නිර්මාණය වෙලත් නෑ. ඒ නිසා ඒ සිනමාමය ප්‍රස්තුතය ගැන මම මේ මොහොතේ මීට වඩා කතා නොකර ඉන්නම්. ඒත් ඒ චිත්‍රපටය මගේ බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව මා යළිත් සිනමාව වෙත කැඳවාගෙන යයි. මට එහෙම හිතෙනවා.

අවුරුදු ගණන් තිස්සේ චිත්‍රපටවලට පෝලිම්වල ‘ලගින්නට’ සිදුවීම ගැන වගකිව යුතු බලධාරීන්ට ඔබ මොනවද කියන්නෙ?
නිෂ්පාදකවරු අතරමං වෙන එක් ප්‍රධානම තැනක් තමයි ඒ. ඇතැම් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ ඉඳන් යම් පාර්ශ්ව චිත්‍රපටය පටන් ගත්ත දවසේ සිට කරන්නේ වංචාව. ‘බජට්’ වල කිසිම විනිවිදභාවයක් නෑ. චිත්‍රපටය එක් එක් ආකාරවලින් සල්ලි ගරන උල්පතක් කරගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. අයියෝ චිත්‍රපටයට වියදම් කරපු සල්ලි ස්ථිර තැන්පතුවක් දාගත්ත නම් පොලිය කීයක්ද අප්පා... කියලා කියන චිත්‍රපට නිෂ්පාදකවරු මේ රටේ ඉන්නවා. චිත්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාවට නිසි ක්‍රමවේදයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. සමහර විට අවුරුදු ගණනක් පෝලිම්වල ලැගලා ලැගලා සිනමා ශාලාවල ප්‍රදර්ශනයට එද්දි චිත්‍රපටයේ ප්‍රස්තුතය පරණයි. කල් ඉකුත් වෙලා. එතකොට එය නරඹන ප්‍රේක්ෂකයාට එහි අභව්‍ය බවක් දැනෙන්න පුළුවන්. ඇත්තටම හදන්නන් වාලේ හදන චිත්‍රපට සිනමාවට මහා අගතියක්. මහා පිළිලයක්.
සිනමාව කියන්නේ විශ්වීය දෙයක්. ඒත් ඒ වටිනාකම බොහෝ බලධාරීන්ට සහ වගකිවයුත්තන්ට නොවැටහීමේ ඛේදවාචකය මේ මොහොතේත් අපි විඳිමින් ඉන්නවා. ඇත්තටම එය හරිම අපරාධයක්. නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයකට සල්ලි යොදවන්නේ ඒ චිත්‍රපටය පුස් කකා පෝලිම්වල ලග්ගවන්න නෙවෙයි. සමහර විට චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දි ඒ චිත්‍රපටයේ රඟපෑ ඇතැම් නළු නිළියන් ජීවතුන් අතරත් නෑ. ඒක මහා ඛේදවාචකයක්. ඒ චිත්‍රපටවල රඟපෑ ළමයි තරුණ තරුණියන් වෙලා. ඉතින් මෙලෝ රහක් නෑ, මෙලෝ වැඩක් නෑ කියන ලේබලය චිත්‍රපටයකට ගහන්න ඉස්සර ඒ චිත්‍රපටයට වෙන ඇබැද්දි තේරුම් ගන්න එකයි වැදගත්.

වෛරී සහගතව චිත්‍රපටවලට ප්‍රතිචාර දක්වන යම් පාර්ශ්ව, ඉන්න බව යම් සමාජ මාධ්‍ය ධාරා තියෙන බව ඇතැමුන් කියනවා. ඔබට තියෙනවද දෙන්න උත්තරයක්?
ඔව්. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සහ සිනමාව ගැන ලියන ඇතැම් මුහුණුපොතේ පිටු (Fb pages) සමහර චිත්‍රපට ඉහළින්ම තියලා පුම්බනවා ලෝකයේ හැදුණු හොඳම චිත්‍රපටය ඒ චිත්‍රපටය විදිහට. සමහර චිත්‍රපට අන්තිම පහත් තැනට දාලා ඒ චිත්‍රපටයට ගරහනවා. සමහර විට එහෙම පුම්බන්නෙත්, එහෙම ගරහන්නෙත් ඒ චිත්‍රපට බලන්නෙවත් නැතුව. සමහර විට ඒ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත්, ඒ විදිහට චිත්‍රපටය නැත්තටම නැති කිරීමේ අභිප්‍රායෙන් දියත් කරන ඇතැම් වැඩපිළිවෙළවල්වලට හේතු විය හැකියි. ඇත්තටම එය ඉතා පහත් දෙයක්. අසාධාරණ විදිහට සහ වෛරී සහගත විදිහට නිර්මාණයකට, නිර්මාණවේදියකුට, එහි රඟපාන නළු නිළියන්ට සහ නිෂ්පාදකවරුන්ට ගැරහීම හෝ විවේචනය කිරීම ප්‍රබලම සහ සමාව දිය නොහැකි වරදක්. ඒ බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ කල්ලි ස්වරූපයකින්. සමහරු සමහර චිත්‍රපට ගැන කතා කරන්නේ විචාර ලියන්න, දෙන්නම් බැටේ න්‍යායෙන්.
ඉතින් එහෙම රටක කොහොමද සිනමාව කර්මාන්තයක් විදිහටම ගොඩනැගෙන්නෙ, ගොඩනගන්නෙ, සිනමාවට අනාගතයක් උදා වේවි කියලා හිතන්නෙ. ඉතින් මේ සියලු පීඩා දුෂ්කරතා මැද පුදුම ඉවසීමකින් සහ දරා ගැනීමකින් තමයි චිත්‍රපටයකට අතගහන්න මේ රටේ බොහෝ සිනමා නිෂ්පාදකවරුන්ට සිදුවෙලා තියෙන්නෙ.

• සංජීවිකා සමරතුංග