නාගරීකරණය, ජනගහනය අධික වීම, මිනිස් සමාජයේ අවශ්‍යතා වැවිඩීම හා ඉඩකඩ සීග්‍රයෙන් ඇහිරී යාම වැනි කරුණු මත අද වන විට කුණු කසළ පිළිබඳ ගැටලුව අර්බුදයක් බවටම පත්ව ඇත. වර්තමාන සමාජයේ ප්ලාස්ටික් හා පොලිතින් භාවිත වන ප්‍රමාණයද බහුල වී ඇති අතර දිනකට එක් නිවෙසක් තුළ එකතු වන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණයද විශාල වී ඇත. ලෝකයේ දියුණු රටවල් සාමාන්‍යයෙන් කරන්නේ නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමයි. එහෙත් අපේ රට තුළ එවැනි ක්‍රියාවන් සාර්ථකව ඉටුවන බවක් තවමත් පෙනෙන්නට නැත. එක අතකින් කුණු හා කසළ වර්ගීකරණයට ලක්කොට ඒවා අදාළ ආයතන වෙත බාරදීමක් සිදු නොකරති. අනෙක් අතට ප්‍රතිචක්‍රීයකරණ ස්ථානද කාර්යක්ෂමව නැත.
මේ අතර නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් තිරසාර ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට පසුගියදා කැලණිය සමාජ විද්‍යා පීඨයේ පර්යේෂණ කණ්ඩායමේ ආචාර්ය එම්.ජී. කුලරත්න මහතා සහ ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න මහතා ඇතුළු විද්වත් මණ්ඩලය කටයුතු කරනු ලැබූයේ වර්තමානයේ මතු වී ඇති කුණු ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි.
ජපානය වැනි රටක උසස් තාක්ෂණයෙන් පෝෂිත වූ පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ පද්ධතිය මගින් ස්වභාවික අපද්‍රව්‍ය දිරාපත් වීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුවන අතර, එවැනි ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක කිරීම හරහා යහපත් ප්‍රතිඵල අත්කරගත හැකි බව ඔවුහු එහිදී පෙන්වා දුනි. ජපානයේ ක්‍රියාත්මක වන ජීව තාක්ෂණ ක්‍රමවේදය හරහා ස්වභාවික අපද්‍රව්‍ය එක දිනකින් කාබනික පොහොර බවට පත් කිරීමේ හැකියාව පවතී. පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ කොළඹ නාගරික අපද්‍රව්‍ය මුතුරාජවෙලට බැහැර කිරීමෙන් සිදුවන පාරිසරික විනාශය තුළින් සිදුවන අහිටු ප්‍රතිඵල වළක්වා ගැනීමට හැකි මෙය වඩාත්ම ඵලදායී විසඳුමක් බවයි. එසේම ඉතාමත් සාර්ථක මෙම ක්‍රමය තුළින් සියලුම භූමි සම්පත් රැකගෙන කුණු කඳු සම්පතක් කරගැනීමට හැකි බව ඔවුහු පෙන්වා දෙති. මෙම ක්‍රමවේදය හරහා උසස් තත්ත්වයේ ප්‍රමිතියකින් යුත් කාබනික පොහොර නිෂ්පාදනය තුළින් බෝග වගාවන්, සත්ව ආහාර හා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කළ හැකි බවත් පරිසරය දූෂණය වන විෂබීජ පැතිරී යාම, මැසි මදුරු උවදුරු, ජල මූලාශ්‍ර හා භූගත ජලය දූෂණය වීම හා නායයාම් ආදී සියලු ගැටලු සඳහා මෙය වඩාත් ඵලදායී විසඳුම බවද මෙහිදී කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම සඳහන් කර ඇත.
සාර්ථක කසළ කළමනාකරණයක් සඳහා ගෙන යා යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්.ජී. කුලරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.
“වර්තමානයේදී කැළි කසළ කියන්නේ සමාජය මුහුණදෙන ප්‍රබලම ගැටලුවක්. මෙය විශේෂයෙන්ම බලපාන්නේ නාගරික ප්‍රදේශවලටයි. නගර සභාව තමයි, මේ වෙද්දි කුණු බැහැර කිරීමේ කටයුතු සිදුකරගෙන යන්නේ. 2008 දී මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණෙන් පිළිසරු කසළ කළමනාකරණ වැඩසටහන ආරම්භ කළා. මෙහිදී සිදුවූයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පමණයි. මෙම වැඩසටහන හරහා කුණු සම්පතක් කරගැනීමට උත්සාහ කළද කසළ කළමනාකරණය කිරීමේ වැඩසටහනක සිදුකළ යුතු මූලිකම කාර්යභාරය වන්නේ කොම්පෝස්ට් පොහොර සෑදීම නොවේ. කොම්පෝස්ට් පොහොර සෑදීම එහි අතුරු වැඩපිළිවෙළක් පමණයි. මෙම වැඩපිළිවෙළ පළාත් පාලන මට්ටමින් ක්‍රියාත්මක වූ අතර මෙම කටයුත්ත සම්බන්ධයෙන් සමාලෝචනයක් කරන්නට අපට බාර වුණා. මෙහිදී අපි හඳුනාගත්තා සමහර ප්‍රදේශවල මෙය හොඳින් ක්‍රියාත්මක වන බවත් තවත් ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක වීම දුර්වල බවත්. ඇත්තෙන්ම නිකසළ රටක් සෑදීම තමයි මෙහි අපේක්ෂාව වුණේ. තාක්ෂණය භාවිත කරමින් මේ හැමදෙයක්ම කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයත් තියෙනවා. නමුත් ලෝකයේ හැම තැනකම තාක්ෂණය තිබුණත් එම තාක්ෂණය එකපාරටම අපිට ගන්න බෑ. ගලපාගන්න තාක්ෂණයක් හොයන්න ඉස්සරලා අපි අපේ රටේ ප්‍රශ්නය සොයාගන්න ඕනෙ. තෝරාගත්ත ප්‍රශ්නයට ගැලපෙන තාක්ෂණය මොකක්ද කියලා හොයාගෙන ඒක අපේ රටට ගැලපෙන ආකාරයට පරිවර්තනය කරගන්නට ඕනෙ. ඒ විදිහට තමයි පාරිසරික ප්‍රතිචක්‍රීයකරණය කියන වාර්තාව පරිසර අමාත්‍යංශයට දෙන්නේ. මේක තමයි මේ රටට ගැලපෙන්නේ. මූලික වශයෙන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ ප්‍රශ්නවලට සුදුසු විසඳුම් තියෙනවා.
අපි ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගන්න ඕනෙ මුළු කුණු ගැන නොවෙයි, ප්‍රශ්නය නිර්මාණය කරන තැනට විසඳුම් සොයාගැනීමට. ඒක තමයි අපේ අය දැන් පටලවාගෙන තියෙන්නේ. මේ ටික මුලින්ම ඉවත් කරන්නට ඕනෙ. මේ අයින් කරන එකට වැයවන මුදල කොපමණ වූවත් අපිට ඒ මඟින් විසඳෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට කඳු ගොඩගැහෙන්නේ නෑ. ඩෙංගු ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑ. අද මතුවෙලා තියෙන තවත් ගැටලුවක් තමයි මීතොටමුල්ලේ කුණු කන්ද ආවරණය කරලා තියෙන ඉටිකොළවලට වතුර එකතු වීම නිසා මදුරුවන් බෝවීම. මේකෙන් කියන්නේ මෙම විසඳුම් සාර්ථක නෑ කියන එකයි.
අපේ රටේ කුණු කළමනාකරණයේදී මතුවන ගැටලුවක් තමයි අපි මේකෙන් හදන්නේ මොනවාද කියන එක. ඒ හදන එකනම් ප්‍රශ්නෙ අපිට තියෙන්න ඕනෙ මේ රටේ කොම්පෝස්ට් හිඟයක්. කොම්පෝස්ට් හිඟයක් තියෙනවා නම් කොම්පෝස්ට් සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ හැකියි. නමුත් ඒක නෙමෙයි දැන් අපිට තියෙන්නේ. අද විශේෂම ගැටලුව බවට පත්වෙලා තියෙන්නේ දිරාපත් වන අපද්‍රව්‍ය. ඒකට විසඳුමක් ලෙස තමයි හොඳම ක්‍රමය විදිහට අපි පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ කියන ක්‍රමවේදය වන ජපානයේ තිබෙන තාක්ෂණ ක්‍රමවේදය ගැන කතා කරන්නේ. පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය හරහා ඔය කියන එක ප්‍රශ්නයක්වත් අපිට ඉතිරි වන්නේ නෑ. එකම ප්‍රශ්නය විදිහට අද මෙහි දකින්නේ පිරිවැය පිළිබඳ ප්‍රශ්නය. මේක ගණන් හදන්නට ඕනෙ තියෙන හානියක් එක්කයි.
අපි දැන් මේ ප්‍රශ්නය මේ රටේ ගෙනියන්න පුළුවන් ඉහළම තැනටත් අරගෙන ගිහිල්ලයි තියෙන්නේ. ඇත්තටම අපි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ රටේ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමේ අරමුණෙන් මිස දේශපාලනික වශයෙන් නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට අපි ඉගෙන ගත් දෙයින් රටට සේවයක් කිරීමට අපිට අවශ්‍යයි. කුණු කියන්නේ අද වෙද්දි මාෆියාවක් කියලා අපි දන්නවා. හැබැයි ඒ මාෆියාවේ ඉන්න අයටත් අද ඒ අවශ්‍ය මැෂින් ගෙනල්ලා මෙම කළමනාකරණ ක්‍රියාව සිදුකරන්න පුළුවන්. එහෙම වුණාම අපේ රටේ කුණු ප්‍රශ්නය විසඳෙනවා.”
පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන මගින් කසළ කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“ලොව කුණු කසළ ගැටලුව අවම රටවල, විශේෂයෙන්ම ජපානය වැනි රටව කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා භාවිත කරන්නේ ඊ.ආර්.එස් (ERS –Environment Recycling System) ක්‍රමවේදයයි. මෙය අපේ රටේ පරිසර ගැටලුවටත් හොඳම විසඳුමක්.
අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානවල සිදුවන්නේ තාක්ෂණය හා මුසු වූ ක්‍රියාවලියක්. නිවස හෝ යම් තැනක එකතු වන කුණු වර්ගීකරණය කිරීම මෙහිදී සිදුවිය යුතු මූලිකම කාර්යභාරයයි. ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවලත් ක්‍රියාත්මක වෙන්නේ කුණු කසළ වර්ගීකරණය හරහා බැහැර කිරීමේ වැඩපිළිවෙළක්.
ඊ.ආර්.එස්. ක්‍රමවේදය හරහා කුණු සම්පතක් බවට පත්කරගැනීමෙන් රටේ ආදායමට සම දායකත්වයක් සැපයීමටද හැකියාව ලැබෙනවා. මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ සිචිලි සිමෝසේ කියන ජපන් ජාතකයා. සාමාන්‍යයෙන් අපි මුළුතැන්ගෙයි කුණු බැහැර කළ විට ඒවා දිරාපත් වන්නට සති දෙක තුනක කාලයක් ගතවෙනවා. නමුත් මෙම ක්‍රමවේදය යටතේ කුණු දිරාපත්වීම නිසා සිදුවන බැක්ටීරියා හටගැනීමේ ක්‍රියාවන් වේගවත් වෙනවා. මෙම කසළ කළමනාකරණ ක්‍රියාවලිය සකස් කොට තිබෙන්නේ කුණු දිරාපත් කරන බැක්ටීරියා වර්ග තුනක් පිළිබඳව පරීක්ෂණයක් කරමිනුයි. මේ යටතේ අදාළ බැක්ටීරියාව හරහා පැයක් වැනි කාලසීමාවක් ඇතුළත ඉතා ඉක්මනින්ම කරගත හැකි වෙනවා. එසේම මේ සඳහා විශාල පිරිවැයක් වැයවෙන්නෙත් නෑ. එසේම දිරාපත් වූ කුණු කොම්පෝස්ට් පොහොර, සත්ව ආහාර, ජීව වායු ආදී විවිධ දේ නිෂ්පාදනය සඳහාත් යොදාගන්න පුළුවන්.
ඇත්තටම මා මෙහිදී පවසන්නේ පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථාන මගින් සිදුවන මෙම ක්‍රියාවලිය අපේ රටට වඩාත් උචිත බවයි. එය අපේ කැළිකසළ ගැටලුවට සාර්ථක විසඳුමක්. නියමිත වෙළෙඳපොළක් හා සක්‍රිය නිෂ්පාදන ක්‍රියාවලියක් මගින් මෙය ආරම්භ කළ යුතුයි. එලෙසම මේ සඳහා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ දායකත්වය ලබාගැනීම මගින් වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇතිකර ගැනීමටත් හැකියාව ලැබෙනවා.”
කුණුකසළ ප්‍රශ්නය ඍජුවම බලපාන්නේ මහජන සෞඛ්‍යය හා පරිසර හානිය කෙරෙහිය. පැවති රජයන් හා පවතින රජය මගිනුත් මේ සඳහා යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළද තවම එහි සාර්ථකභාවයක් බාහිරට නොපෙනේ. කැළිකසළ බැහැර කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ උචිතම කාලයයි. ඒ සඳහා සැබැවින්ම නියමිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වගකිවයුත්තන්ගේ වගකීමකි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා