2017 මැයි 27 වන සෙනසුරාදා

ලස්සන මුහුණකට මෙන්න බෙහෙත්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27167

කෙනකු දෙස බැලූ බැල්මට අපට මූලිකවම දිස්වන්නේ එම පුද්ගලයාගේ මුහුණයි. යම් පුද්ගලයකුගේ අභිමානය කෙරෙහි මුහුණෙන්ද විශාල බලපෑමක් එල්ල කෙරෙන අතර හදවත දකින කැඩපත මුහුණ ලෙසින්ද හැඳින්වේ. ලස්සන මුහුණක් තිබීමට නම් ලස්සන හදවතක් තිබිය යුතුමය. ප්‍රශ්න හා ගැටලුවලින් පීඩිත වූවන්ගේත්, කර ගති පැවතුම් ඇත්තවුන්ගේත් මුහුණෙහි ප්‍රසන්නභාවයක් දක්නට නොමැත්තේ හදවත ලස්සන නැති නිසාය. හදවත ලස්සන වීමට නම් මානසික සෞඛ්‍යයද යහපත් තත්ත්වයක පැවතිය යුතුය. එවිට මුහුණ ලස්සන වන්නේ නිරායාසයෙන්මය. ලස්සන පැහැපත් මුහුණක් යනු කෙනකුට ආභරණයකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී රෑපලාවන්‍යයටද ප්‍රධාන ස්ථානයක් ලබාදී ඇති අතර පුරාතනයේ පටන්ම කාන්තාවන් සිය රුව සම්පත රැක ගැනීම සඳහා භාවිත කළේ ආයුර්වේද ක්‍රමවේදයන්ය. වර්තමානයේදී මුහුණ පැහැපත්ව තබා ගැනීම සඳහා විවිධ ආලේපන වර්ග භාවිත කිරීමට වැඩි දෙනෙක් හුරුවී සිටියද දැන් දැන් ඔවුන් ඒවායින් මිදෙන්නට උත්සාහ කරන්නේ එමගින් පසුකාලීනව ඇතිකෙරෙන අහිතකර බලපෑම් නිසාය. ආයුර්වේද ඖෂධවල එවන් අහිතකර වූ ද්‍රව්‍යයන් අඩංගු නොවන අතර එවැනි ප්‍රතිකාරවලින් මුහුණ පැහැපත් කරනවාට අමතරව මුහුණට හොඳ පෝෂණයක්ද ලබාදේ. අද අපේ වෙදකමෙන් අප කතා කරන්නේ මුහුණ පැහැපත්ව තබා ගැනීම සඳහා සිදුකෙරෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම පිළිබඳවය. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ රාජගිරිය සත්මිණ ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය ගල්කැටියා ජී. ලුෂාන්ති මහත්මියයි.

මුහුණේ සම ආරක්ෂා කිරීමට

මුහුණේ පැහැපත් බව පවත්වා ගැනීම සඳහා මූලිකවම සිදුකළ යුත්තේ මුහුණේ සම ආරක්ෂා කර ගැනීමයි. ආයුර්වේදීය ක්‍රමයට අනුව මුහුණේ සම ආරක්ෂා කර ගැනීම සඳහා යොදනු ලබන ප්‍රතිකාර පහත ආකාරයට පියවර කිහිපයකින් හඳුනාගත හැකිය. ඒවා නම් පිරිසුදු කිරීම (Cleaning) සම්බාහනය (Massage) ඖෂධ මගින් ස්වේද කිරීම (දුම් ඇල්ලීම - Herbal Steam) සමට කරන සත්කාරය (Neutrisying Pack) රසායන (Toring) තෙත් ගතිය ඇතිකිරීම ආදියයි.

මුහුණෙහි පිරිසිදු බව ඉතා වැදගත්

එදිනෙදා රාජකාරි කටයුතුවලදී නිතරම එළිපහළියට යන්නට සිදුවන බැවින් දුම්, දූවිලි වැනි අපද්‍රව්‍යයන් නිරතුරුවම මුහුණේ සම මත තැන්පත් විය හැකිය. මෙම අපද්‍රව්‍ය මත බැක්ටීරියා වැනි විෂබීජ වර්ධනය වීමටද හැකියාව ඇත. සම පවිත්‍ර කිරීම හරහා එම අපවිත්‍ර ද්‍රව්‍ය මෙන්ම සම මතුපිටින් ඇති මැරුණු සෛලද ඉවත් කිරීමත් සිදුකෙරෙන අතර එමගින් සමට නැවුම් බවක් ඇතිවේ.

මුහුණට සබන් අහිතකරයි

මුහුණ පිරිසුදු කිරීම සඳහා සබන් වර්ග යොදාගැනීම එතරම් යෝග්‍ය වන්නේ නැත. එබැවින් මුහුණු පිරිසුදු කර ගැනීම සිදුකරගත යුත්තේ ඖෂධීය සංයෝගයක් මාර්ගයෙනි. ආයුර්වේදයේදී මේ සඳහා චූර්ණයන් භාවිත කරන අතර මෙම චූර්ණය ජලයෙන් හෝ ඖෂධීය ද්‍රව්‍ය තම්බාගත් ජලය භාවිත කිරීමෙන් තලපයක් සේ සකස් කර (Scrub) මුහුණේ ආලේප කළ හැකිය. මේ සඳහා ක්ලෝරින් සහිත ජලයට වඩා සුදුසු වන්නේ ගලාගෙන යන පිරිසුදු ජලයයි.
ආලේපය තවරා විනාඩි 10ක් පමණ එය කවාකාරව ඇතිල්ලිය යුතුය. ඉන්පසු ශීත ජලයෙන් සෝදාහැරිය හැකිය. මුහුණට කරන මෙම ප්‍රතිකාර බෙල්ල ප්‍රදේශයට සිදුකළ යුත්තේ මුහුණට සමාන වර්ණයක් එම ප්‍රදේශයේදී තිබිය යුතු වන බැවිනි. එසේ නොවුණහොත් මුහුණත් ගෙලත් අතර ඇති වෙනස කැපී පෙනෙනු ඇත. මෙම ඖෂධ සංයෝග භාවිත කිරීමේදී මුහුණේ සමට රුධිර සංසරණය හොඳින් සිදුවේ. මේ හේතුවෙන් මුහුණේ සෞම්‍ය බව වැඩිවීමත්, කැළැල් ලප ආදිය ඉවත්වීමත්, සම පැහැපත් වීමත් සිදුවේ. මෙය දිනපතා වුවද සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එමගින් මුහුණේ බැඳෙන දුම්, දූවිලි ආදිය ඉවත්වී පිරිසිදු හා නැවුම් ගතියක් ලබාදෙයි.

මුහුණට මසාජ් එකක්

ශරීර වර්ධනයට ආහාර අවශ්‍ය වන්නා සේම සම්භාහනයද ශරීර වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. ඒ අනුව මුහුණේ සමටද සම්භාහනයක් අවශ්‍ය වේ. මුහුණ සම්භාහනය කිරීමේදී අනවශ්‍ය හා වැරදි ආකාරයට සම්භාහනය කිරීම වඩාත් නුසුදුසු වන අතර මෙහිදී පාවිච්චි කළ යුතු වන්නේ ඇඟිලි තුඩුය. සාමාන්‍යයෙන් සම්භාහනයේදී මඳ උණුසුම් තෙල් වර්ගයක් භාවිත කළ හැකිය. තල තෙල්, ඔලිව් තෙල් ආදිය මේ සඳහා සුදුසු වන අතර ඒවා තෝරාගත යුත්තේ සමේ ස්වභාවය අනුවය.

නිවැරදි සම්භාහනය

මුහුණ සම්භාහනය කිරීමේදී පළමුව නිකට මැද ප්‍රදේශයෙන් ආරම්භ කළ යුතුය. මෙහිදී අත් දෙකෙහිම ඇඟිලි භාවිත කළ යුතුය. මුහුණ සම්භාහනයේදී නිකට යට ප්‍රදේශය උද්දීපනය කිරීම වැදගත් වන අතර බාහිරින් අතේ මුල ප්‍රදේශය හා සෙම්ගෙඩි තිබෙන ප්‍රදේශය උද්දීපනය කිරීම හරහා එම ප්‍රදේශවල බැඳී ඇති සෙම් පදාර්ත බුරුල්වීමත්, එම ප්‍රදේශවල තද ගතිය අඩුවීමත් සිදුවේ. ඉන්පසුව ක්‍රමයෙන් මුහුණේ ඉහළ ප්‍රදේශය සම්භාහනය කළ යුතුයි. සම්භාහනයේදී ඇඟිලි තුඩු දක්ෂිණවර්තව රවුමට චලනය කළ යුතුය. මෙම සම්භාහනයේදී ආයුර්වේදයේ දක්වා ඇති නිල උත්තේජනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.

දුම් ඇල්ලීමත් හොඳ ප්‍රතිකාරයක්

දුම් ඇල්ලීම මුහුණ පැහැපත් කර ගැනීම සඳහා ඇති තවත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය මිටක් හෝ දෙකක් ගෙන වතුර පයින්ට් 1කට මිශ්‍රකර තම්බා ගැනීමෙන් පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීම සිදුකළ හැකිය. මෙහිදී වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ මූඩියකින් වසන ලද මුට්ටියක මෙම ද්‍රව්‍ය තම්බා යෝග්‍ය ස්ථානයක තැබීමෙන් අනතුරුව මූඩිය ඉවත්කළ විට පිටවන වාෂ්පයට මුහුණ ඇල්ලීමය.

දුම් ඇල්ලීමේදී එය ආවරණය කිරීම සඳහා තුවායක් වැනි රෙද්දක් භාවිත කළ හැකිය. එමෙන්ම විනාඩි පහක් පමණ දුම් ඇල්ලීම ප්‍රමාණවත්ය. මෙම ක්‍රියාවේදී මුට්ටියේ සිට අඩියක, අඩි එකහමාරක පමණ දුරකින් මුහුණ බේරාගත යුතු වන අතර මෙහිදී ඖෂධ වශයෙන් සුදු හඳුන්, වැල් මී, දොඩම් ලෙලි, දශමූලවලට අයත් ඖෂධ ද්‍රව්‍ය භාවිත කළ හැකිය.
දුම් ඇල්ලීමෙන් සමේ පවතින අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත්වීමෙන් එයට හොඳ රුධිර සම්පාදනයක්ද මෙහිදී සමේ සිදුරු හොඳින් විවෘත වන නිසා පසුව යොදන ඖෂධ සමට උරාගැනීමට හොඳින් ඉඩකඩ ලැබේ. මෙම ප්‍රතිකාරය දිනපතා සිදුකිරීම නුසුදුසු වන්නේ මෙමගින් සම වියළීම සිදුවන නිසාය. වඩාත් යෝග්‍ය වන්නේ දුම් ඇල්ලීම සතියකට වරක් හෝ මසකට දෙවරක් පමණ කිරීම යෝග්‍යය.

මුහුණට සත්කාරය

සාමාන්‍ය හා වියළි සම, තෙල් සහිත සම හා මේරූ සම ආදී වශයෙන් ඒ ඒ සමෙහි ස්වභාවය අනුව මුහුණට ඖෂධීය සත්කාරයන් සිදුකළ හැකිය. මෙම සත්කාරය හරහා ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් ඉටුකරගත හැකි වන අතර ඉන් එකක් වන්නේ බාහිර වශයෙන් සමෙහි මාංශ පේශීන්ගේ කැලැල් ඇතිවීම වැළැක්වීම හා සෞඛ්‍යමත් බව ඇති කිරීමයි. අනෙක සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම හා අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ වර්ග ලබාදීමෙන් සම පෝෂණය කිරීමයි.
මෙහිදී සමේ ස්වභාවය අනුව පැක් එකක් සාදා ගැනීම තෛල පදාර්ථ පාෂාණ ඖෂධ තෝරාගත යුතුවේ. සාමාන්‍යයෙන් පැක් ආලේපනයක් විනාඩි 20ක පමණ උපරිම කාලයක් මුහුණේ ආලේප කරගෙන සිටිය යුතු අතර පසුව සිසිල් ජලයෙන් සෝදා හැරේ. සාමාන්‍ය හා වියළි සමට මැටි, කෝමාරිකා යුෂ, බිත්තර සුදුමදය, මී පැණි එක්කර සාදාගත් තලපයක්ද, තෙල් සහිත සමට මැටි, මී පැණි, කෝමාරිකා යුෂ, දෙහි යුෂ එක්කර සාදාගත් තලපයක්ද හා මේරූ සමට මැටි, මී පැණි කෝමාරිකා යුෂ, විටමින් ඊ ස්වල්පයක් එකතු කරමින් සාදාගත් තලපයක්ද ආලේපය සඳහා සුදුසුය. මෙහිදී මැටි ලෙස හඳුන්වන්නේ පැක් එක සඳහා යොදාගනු ලබන සංයෝජන වැඩිපුරම ඇති ද්‍රව්‍යයයි. මැටිවල බහුලවම ඛනිජ ද්‍රව්‍ය අඩංගු වීමත් අපවිත්‍ර ද්‍රව්‍ය හා විෂ සහිත ද්‍රව්‍ය සමග බැඳීමට ඇති හැකියාව නිසාත් මෙහිදී මැටි වර්ග භාවිතය වඩාත් යෝග්‍ය වේ. ඛනිජ ලවණ වශයෙන් යකඩ, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, කැල්සියම් ආදිය මෙහි අඩංගුය. මේ ආකාරයට සකස්කරගත් මැටිවර්ග වෙළෙඳ පොළේද දක්නට ඇත.

පළතුරුවලින් පැක් එකක්

ඉහත ආලේපයට වඩා මෘදු ලෙස සාදාගත හැකි Face Packs වර්ගද ඇත. මේවා පළතුරු හෝ එළවළු යොදාගෙන සාදාගත හැකිය. සමට හොඳ රුධිර සැපයුමත්, සම පිරිසුදු කිරීමත් හා විටමින් හා ඛනිජ ලවණ සැපයීමත් මෙමගින්ද සිදුවේ. මේ සඳහා කෙසෙල්, ඇපල්, මුද්දරප්පලම්, ඉදුණු ගස්ලබු, අලිගැටපේර, ස්ට්‍රෝබෙරි ආදී පළතුරැත් දෙහි, කැරට්, පිපිඤ්ඤා වැනි එළවළුත් බහුලවම භාවිත කෙරේ.

රෝස වතුරෙන් ටෝනර් එකක්

රූපලාවන්‍ය කටයුතුවලදී ටෝනර් භාවිත කෙරෙන අතර මේ සඳහා භාවිත කරන ද්‍රව්‍ය මද්‍යසාරවලින් තොරවීම වඩා වැදගත්ය. වර්තමානයේදී බොහෝවිට භාවිත කිරීමට ඇත්තේ මද්‍යසාර සහිත ටෝනර් වර්ගයි.

ටෝනර් වර්ග නිවසේදීම සාදාගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පිරිසිදු රෝස වතුරය. මේ සඳහා අලුත පිපුණ රෝස මල් දෙකක් පමණ ගෙන වතුර අඬු කෝප්පයකට දමා පැය 24ක් පමණ තබා පෙරා එයට ග්ලිසරින් තේහැඳි 1ක් සීනි හැඳි 1ක් දමා නිවසේදීම පිළියෙළ කරගත හැකිය. මෙම රෝස වතුර සති දෙකක් පමණ තබාගැනීමට පුළුවන.

මුහුණට වින කරන කුරුලෑ

මුහුණේ පැහැපත් බව නැති කරන කුරුළෑ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටද මුහුණ දෙන විශාල ගැටලුවකි. ආයුර්වේදයට අනුව කුරුළෑ හඳුන්වන්නේ තාරුණ්‍ය පීඩිකා යනුවෙනි.

කුරුළෑ හටගැනීම තාරුණ්‍යයේ ලක්ෂණයක් වන නිසා කුරුළෑ එකක් දෙකක් ආ පමණින්ම කලබල විය යුතුද නැත. එහෙත් කුරුළෑ විශාල වශයෙන් හටගන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එසේ නොමැති වුවහොත් කුරුළෑ පිපිරී යාමෙන් හා මිරිකා දැමීමෙන් මුහුණෙහි කැළැල් ඇතිවිය හැකි අතර එමගින් මුහුණ අවලස්සන වේ. එසේම කුරුළෑ වියළී ගොස් කළු හිසක් සහිත කොටස් ඉතිරි වේ. මෙයද මුහුණේ අලංකාරයට බාධාවකි.

කුරුලෑ හටගන්නේ

අධික තෙල් සහිත ආහාර ගැනීම, රාත්‍රී නිදිමැරීම වැනි හේතු නිසාය. හිස්හොරි පවතින විද හිසකෙස් ආශ්‍රිත නළල වැනි ප්‍රදේශවල බහුල ලෙස කුරුළෑ වැනි බිබිලි ඇතිවේ.

තවත් සමහර විටෙක මවුපියන්ට කුරුළෑ තිබුණා නම් දරුවන්ටද කුරුළෑ ඇතිවේ. මෙයට හේතුවන්නේ ආහාර රටාවයි. මවුපියන් ගන්නා ආහාර දරුවන් කුඩා කළ සිට ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

පිරිසිදුකම අත්‍යාවශ්‍යයි

කුරුළෑවලින් වැළකීමට නම් පිරිසිදුකම අත්‍යාවශ්‍ය වේ. එසේම කුරුළෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිකාර ද්‍රව්‍ය මෙන්ම මුහුණද හොඳින් පිරිසිදු කරගත යුතුය. නැතහොත් ඒ හරහා විෂබීජ ඇතුළු වීමෙන් තවදුරටත් ඒවා සැරව සහිත ගෙඩි බවට පත්විය හැකිය. එබැවින් ප්‍රතිකාර කරනවිට දෑත්ද හොඳින් පිරිසිදු කළ යුතුය.

මෙහිදී මුහුණ පිරිසිදු කිරීම සඳහා ඖෂධීය ස්ක්‍රබ් එකක් සකස් කරගත හැකිය. කුරුළෑ අඩුවෙන් තිබෙන මුහුණේ නම් ඇඟිලි තුඩුවලින් එම ස්ක්‍රබ් කවාකාරව අතුල්ලමින් එය ඉවත්කළ යුතුය. එහෙත් කුරුළෑ බිබිලි මත පිරිමැදීම සිදුනොකළ යුතුයි. මෙහිදී ඖෂධීය දුම් ඇල්ලීමෙන්ද සිදුකළ හැකිය.

ඖෂධීය පැක් එකක්

මුහුණේ කුරුළෑ පැවතීමේදී කුරුළෑ ඇති පුද්ගලයාගේ සමට ගැලපෙන ලෙස හා කුරුළෑවල ස්වභාවය අනුව ඖෂද තෝරාගත යුතුයි. මෙම ඖෂධවලින් සාදාගන්නා ලද පැක් එක මුහුණේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හැරීම කළ යුතුය. කදුරු අල ඇල්දියෙන් අඹරා මෙවැනි ආලේප සකස්කර ගතහැක. අමුකහ, කොහොඹ දළු, මී පැණියේ අඹරා ගැනීම මගින්ද ආලේපය සකස්කරගත හැකියි. 

හේමමාලා කුමාරි රාජකරුණා