70-80 දශකයන්හි සිරි ලංකා ගුවන්විදුලියේ පැවති එක් වැඩසටහනකි, “යෞවන සමාජය.” ධර්මසිරි ගමගේ මූලිකත්වය ගත් ‘යොවුන් පහන් වැට’ මෙන්ම, ‘යෞවන සමාජය’ ද නිර්මාණ කුසලතාවන් ඔප්නංවාගනු රිසි වූ තරුණ පෙළෙහි ආකර්ශනයට ලක් විය.
දිවයිනේ විවිධ පළාත්වලින් තරුණ තරුණියෝ යෞවන සමාජය පටිගත කිරීම්වලට පැමිණියහ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝද ඒ අතර වූහ. විවිධ දේශපාලන මතිමතාන්තර තිබූ අය ඒ අතර සිටියහ. එහෙත් කිසිදු ගැටුමක් ඇතිවුණේ නැත. පහන් වැටෙහි මෙන්ම, යෞවන සමාජය තුළ ද ඇතිවූ මිත්‍රත්වයන් නොබිඳි පැවතුණි.
පහන් වැටෙන් මුල් පියවර ලැබුවෝ කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගිය අතර, යෞවන සමාජයෙන් බිහිවූවෝ මෑතකදී “නොනිමි කවි සිත්” (2024) නමින් කව් එකතුවක්ද පළ කළෝය.
මට මේ පූර්විකාව කියන්නට සිතුණේ ඊයේ පෙරේදා අසන්නට දකින්නට ලැබුණු යෞවන සමාජ ‘ගෝරි’ නිසාය.
දේශපාලනය යනු ඇතුවත් බැරි, නැතුවත් බැරි සමාජයීය අවශ්‍යතාවකි. එහෙත්, ඒ නිසා කුළල් කාගැනීම් ඇතිවන්නේ නම්, ඒ දේශපාලනය නිසා නොව, දේශපාලනය බදාගත්තවුන්ගේ නොමනා හැසිරීම් හේතුවෙනි.
ගිය තැන ‘හා’ ගන්නේ, අඳ බාලයන්ය. දේශපාලනය නිසා ‘ගා’ ගන්නේද, එබඳු ඔලමොට්ටලයන් බව අමුතුවෙන් කිවයුතු නැතුවා සේම, එය යෞවනයන්ට නොව, ඔවුන්ගේ අප්පලා බාප්පලා සහ මහප්පලාටත් පොදුය.
මෙකී සමාජවල අරමුණ, ඉලක්කය යහපත්ය. එහෙත් ප්‍රශ්න මතුවන්නේ ක්‍රියාකාරීත්වය තුළිනි.
“සමගිය බලය වේ” වැනි ආදර්ශ පාඨයක් මේ සියලු සමාජ සඳහා සුදුසුය. එහෙත්, එය සමගි ජනබලවේගයට වාසිදායක යැයි තව පිරිසක් විරුද්ධ වනු ඇත. “එක් මිටට අත්වැල් බැඳ පෙරටම යමු” හෝ “නිවැරදි දිශාවට එක්ව පා තබමු” වැනි පාඨයකට මාලිමා විරෝධීන් එකඟ නොවනු ඇත. ‘මාලිමාව’ යනු, නිවැරදි දිශාව පෙන්වන යන්ත්‍රයකි.
ඕනෑම සංගමයක් පවතින්නේ සාමූහිකව වැඩ කිරීමේ ගුණය මතය. එකමුතු වටු කුරුල්ලෝ දැල ඔසවාගෙන ගිය අයුරු නොදන්නා ළමයෙක්, ගැටවරයෙක් නැත. දර මිටිය නොබිඳිය හැකි බවද, තනි තනි කෝටුව පහසුවෙන් බිඳෙන බවද, බාලාංශයේ සිටම කියා දෙති. එහෙත්, බල තණ්හාවේදී මේ සියලු ‘පාඩම්’ කැලේ යයි. කිරි කළේට දේශපාලන බිංදුවක් දැමූ සැණින් සියල්ල ‘වහ’ වෙයි.
සමගි පෙරමුණු (ශ්‍රී.ල.නි.ප. - සමසමාජ – කොමියුනිස්ට් ප්‍රධාන පක්ෂ) රජය බිහිවූ කාලයේ ගමක් ගමක් පාසා “ජනතා කොමිටි” නමින්, කුඩා සමිති විශේෂයක් ක්‍රියාත්මක වුණි. නමින් ජනතා වුණද, ඒ කොමිටිවල සිටියේ ආණ්ඩුවට සපෝට් කළ ජනයාම පමණි. එසේම, ඒ කමිටුවල ජනයා තම තමන්ටම වැඩ කරගත්තා මිස, ජනයාට කළ දෙයක් නම් නැත.
ඒ කාලේ ආහාර ද්‍රව්‍ය හැම දෙයක්ම ලබාගත හැකි වුණේ සමූපකාරයෙනි. එහෙත්, බොහෝ වෙලාවට සමූපේ හිස්ය. ඒවා පස්ස දොරෙන් ජනතා කමිටු කට්ටියගේ ගෙවල්වලය.
එක් ගමක ජනතා කමිටුකාරයෙක්ව, එකල තිබූ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (නම මගේ මතකයේ හැටියටය) වතු පාලක තනතුරකටද පත් කෙරුණි. දියට දැමූ ඉබ්බා මෙන් ඔහුද “ඇන්නෑවේ”යි කියමින් එය බාර ගත්තේය. වතු පාලනය තබා ගෙවතු පාලනය ගැනවත් මෙලෝ සම්මයක් නොදත් ඔහු, ගිය දා සිට කළේ වත්තේ ඇති සියලු දෑ ගෙදරට ඇදීමය.
වතු බංගලාවේ පරණ ශීතකරණයක් තිබුණි. ඒ කාලයේ ඒවා අති සුඛෝපභෝගී, දුලබ භාණ්ඩය. ජනතා කොමිටිකාරයා, ඒ ශීතකරණයද වත්තේ ලොරියක දමාගෙන ගෙදර ගෙන ආවේය. එහෙත්, ඔහුගේ නිවෙසේ විදුලි බලය නැත. ඒ නිසා ශීතකරණය තුළට පරණ එක්සයිස් පොත්, පත්තර හා හිස් බෝතල් වැනි දෑ පැටවුණි.
පවුලේ උදවිය ඡායාරූප ගන්නා විට, ශීතකරණය පසුබිමේ දිස්වන අයුරින් පෙනී සිටීමට අමතක කළේ නැත. පසු කලෙක ඔවුන්ම ඒ ශීතකරණය නම්කළේ “ෆොටෝ ෆ්‍රිජ්” යනුවෙනි.
ජනතා කොමිටි ජනතාවගේ බලවත් අප්‍රසාදයට ලක් විය. යෞවන සමාජ ඒ තැනට පත්විය යුතු නැත. ඔවුන් වැඩේ නොකළොත් මෙසේ අසන්නට වනු ඇත.
“යෞවන සමාජවලට පත් කළ යුත්තේ අත්දැකීම් ඇති උදවියය. අත්දැකීම් ඇත්තේ හැට පැනපු අයටය.”
කපිල කුමාර කාලිංග