ජංගම බේකරියක් ලෙස නවීකරණය කොට බේකරි කෑම වර්ග අලෙවිකරන චූන් පාන් වශයෙන් පොදුවේ හඳුන්වන ත්‍රීරෝද රථ ඇතැමුන්ට නම් දොරකඩටම පාන්, සීනි සම්බල් බනිස්, කිඹුලා බනිස් ආදිය රැගෙන එන සහායකයකු වුවත් තමත් සමහරුන්ට එය මහත් කන්දොස්කිරියාවකී. උදේ පාන්දර පවතින නිහඬ නිස්කලංක බව වනසා දමන කන් බිහිරිවන නළා හඬ තමන්ගේ නිදහසට බාධාවක් බව ඔවුන්ගේ පැමිණිල්ල වේ. නමුත් මෙම චූන් පාන් නළා හඬ ඇසුණ වහාම ඇතැම්හු දොරවල් ගේට්ටු ඇරගෙන ජංගම බේකරිය වෙත දුවගෙන එති. නමුත් සමහරැන් ඒ දෙස බලනුයේ අමනාපයෙනි.
නගර සහ නගරාසන්න පළාත්වල විශේෂයෙන් අතුරු මාවත්වල පදිංචිකරුවෝ සතියේ දිනවල මෙම අත්දැකීමට වැඩිවශයෙන් මුහුණ පාති. මෙය කරදරයක් ලෙස දකින්නන්ගේ අදහස වනුයේ එය නතරකළ යුතු හිරිහැරයක් බවය.
කන් කීරි ගස්සන නළා හඬ නවතා දැමිය හැකි විශේෂ නීතියක් නැත. නමුත් එම හඬවල් ඔවුන්ගේ අලෙවිකරණයේ ජිංගල් එකකි. එය රූපවාහිනි නාළිකාවලින් විකාශනය වනු ලබන දැන්වීමක පසුතලයේ වාදනය වන සංගීත ඛණ්ඩයක් මෙනි.
මේ සම්බන්ධව පොලිසිය සඳහන් කරනුයේ ජංගම බේකරි පවත්වාගෙන යන පිරිස් එමගින් තම ජීවිතය ගෙනයන බවය. එය ඔවුන්ගේ රැකියාව බවය. කෙසේ වුවද ශබ්ද දූෂණයේ ප්‍රමාණය මැන බැලීමට පොලිසිය සතු උපකරණ අකර්මන්‍යව පවතින බවද සඳහන්ය. එමෙන්ම ශබ්දය කොතරම් ප්‍රමාණයක් සම්මත මට්ටම ඉක්මවා යනවාද යන්න කෙනකුගෙන් තවත් කෙනකුට වෙනස්වන දෙයකි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රකාශ කරනුයේ ඔවුන්ට මේ සම්බන්ධව පැමිණිලි ලැබෙන බවය. වෛද්‍යවරුන්ටද මේ සම්බන්ධව පැමිණිලි ලැබෙමින් තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ යෝජනා කරනුයේ එම නළා හඬෙහි ඩෙසිබල් (ශබ්ද තරංග මනිනු ලබන ඒකකය) සංඛ්‍යාව අඩු මට්ටමින් යොදාගත හැකි ශබ්ද උපකරණයක් භාවිතයට ගැනීම මෙයට පිළියම බවය.
පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන අදහස් කරනුයේ වාහනයකට සවිකර ඇති ඕනෑම වර්ගයේ ඇම්ප්ලි ෆයර් හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසියේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවය.
රථ වාහන දෙපාර්තමේන්තුව මෙසේ වාහනවලට සවිකර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ඇතිකරනු ලබන හිරිහැරය සම්බන්ධයෙන් රෙගුලාසි හඳුන්වාදීම අවශ්‍ය වෙනවා ඔහු සඳහන් කරයි. මෙවැනි නළා හඬ ශබ්ද කිරීම් විශේෂ වේලාවකට පමණක් සීමා කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කෙරේ.
වසර ගණනාවක පටන් ජනතාව මෙම හිරිහැරය සම්බන්ධයෙන් පොලිසිය, මධ්‍යම පාරිසරික අධිකාරියට, පළාත් පාලන ආයතනවලට සහ රථවාහන දෙපාර්තමේන්තුවට පැමිණිලි කළද ඔවුන් ඒ සම්බන්ධව කිසිදු කටයුත්තක් කර නොමැත. ඇතැම් පළාත්වල මාර්ග ආසන්නයේ පදිංචිකරැවන් උදෑසන අවදිවන්නේද මෙම චූන් පාන් සංගීත නළා හඬෙනි. ඇතැම්විට මෙම ජංගම බේකරි අලුයම පහට පෙර සිටම මාර්ගවලට අවතීර්ණව ශබ්දය නංවන බවද ඔවුහු කියති.
අපි අවදි වෙන්නේ ත්‍රිවිල් සහ මෝටර් සයිකල් වලින් පාන් ඇතුළු වෙනත් බේකරි ආහාර විකුණන සද්දෙත් එක්කයි. සමහර වෙලාවට එක වාහනයක් යනකොට තව වාහනයක් එනවා කොටහේන පදිංචිකරැවකු වූ මංගල ප්‍රියශාන්ත පවසයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගම් සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනුයේ බොහොමයක් ජංගම බේකරි තම සංගමයට අයත් නොවන ඒවා බවය. ඒවා පෞද්ගලිකව ක්‍රියාත්මක වන ඒවා බවත්, තම සාමාජිකයන් අතරින් කීප දෙනෙක් පමණක් මෙම ජංගම බේකරි පවත්වාගෙන යනු ලබන බවත් ඔහු කියයි. වෛද්‍යවරුන්ද ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධව තමන්ටද පැමිණිලි ලැබෙන බවය.
ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
ුජංගම බේකරිවලින් නැගෙන ශබ්දය ඇසෙන විදිය එක් කෙනකුගෙන් තව කෙනකුට වෙනස් වෙනවා. මෙයින් වඩාත් පීඩාවට පත්වෙන්නේ ලොකු ශබ්දවලට නිරාවරණය වීමට අකැමැති පුද්ගලයන් සහ ජංගම බේකරිවලින් කිසිවක් මිලදී නොගන්නා පුද්ගලයින්. කෙසේ වුවද ශබ්ද දූෂණය හේතුවෙන් මානසික ගැටලු සහ මිග්රේන් ඇතිවීමට හැකියාවද තිබෙනවා.
ඇය සඳහන් කරනුයේ කෙසේ වුවත් ජංගම බේකරි එක තැනක නොරුදී ධාවනය වන බැවින් එයින් ලොකු හානියක් සිදු නොවන බවය. එමෙන්ම මෙම ශබ්දවලින් සෞඛ්‍ය ගැටලු ගණනාවක් ඇතිවීමට හේතුවිය හැකි බවත් මිග්රේන් වලට අමතරව ටින්නිටස් (Tinnitus) වශයෙන් හඳුන්වන කන ඇතුළෙන් හඬක් නැගනු සේ දැනීම වැනි ආබාධද ඇතිවිය හැකි බවත් සිදුවිය හැකි හානිය රඳාපවතිනුයේ එම ශබ්දය නිරාවරණය වන කාල සීමාව, නිරාවරණය වීම සහ ශබ්දයේ තීව්‍රතාව අනුව බවත් ඇය සඳහන් කරයි.
ත්‍රිරෝද රථ නියාමනය කිරීම සම්බන්ධයෙන් මෑතක නිකුත් වූ ගැසට් නිවේදනයේද මේ කාරණාවට අදාළ කිසිවක් සඳහන්ව නැත. රථ වාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ නළා හඬ නංවන ජංගම බේකරිවලට එරෙහිව නිශ්චිත නීතියක් පනවා නොමැති බවයි.
රථවාහන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු සඳහන් කරනුයේ වාහනයකින් නිකුත්වන අධික ශබ්ද නීතිවිරෝධි ලෙස සැලකුවත් ජංගම බේකරිවලින් නිකුත්වන නළා හඬට ඉඩ දී තිබෙන්නේ එය ඔවුන්ගේ ජීවනෝපාය වීම නිසා බවය. එයින් අදහස් කරන්නේ ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට අපිට නොහැකි බව නොවේ යනුවෙන්ද ඔහු කියයි. එම නළා හඬ හේතුවෙන් අවට සිටින ජනතාවට ජංගම බේකරිය පිළිබඳව කිසියම් දැනුම්දීමක් සිදුවන බවද ඔහු පවසයි.
රථවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (තාක්ෂණික) ජී.ඒ.එස්. ජයවීර ප්‍රකාශ කරන්නේද ජංගම බේකරිවලින් සංගීත ඛණ්ඩයක් නිකුත් කරනුයේ මහජනතාවට තමුන්ගේ පැමිණීම දැනුම්දීමට සංඥාවක් හැටියට බවය. මෙම බේකරිකරුවන් තමන්ගේ ජීවිතය සරි කරගැනීමේ ක්‍රමයක් ලෙසින් එය යොදාගන්නා බවද තමන් විසින් එය වළක්වන්නේ නැති බවද ඔහු පවසයි.
රථවාහන පොලිසිය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කරනුයේ මහජනතාවට හිරිහැරයක් සිදුවන සේ විශාල සංගීතය නිකුත් කරන්නට එරෙහිව නීති පනවා තිබුණද ජංගම බේකරිවලට එරෙහිව නීති නැතිබවය. බේකරි නිෂ්පාදන අලෙවි කරන රථ පමණක් නොව ඇතැම්විට කුණු එකතු කරන ට්‍රැක්ටර්ද අවට මහජනතාව දැනුම්වත් කරන්න විවිධ ශබ්ද උපයෝගි කරගන්නා බවද අමසිරි සේනාරත්න වැඩිදුරටත් පැවසීය.
(Sunday Times පුවත්පත් පළවූ ලිපියක් ඇසුරෙනි)
♦ දිශානි ජයමාලි කරුණාරත්න