තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ භූමියේ බලය අත්පත් කර ගැනීමත් සමඟ රටින් පලා ගොස් අරාබි එමීර් රාජ්‍යයේ රැකවරණය ලබාගත් ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෝෆ් ගානී පළමුවරට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ රුධිරය වැගිරීමක් සිදුනොවීම සඳහා තමන් මෙසේ පලා ආ බවය.
නමුත් තමන් යළි ඇෆ්ගනිස්තානය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බවට ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ. රටින් පලා යාමේදී විශාල ධනස්කන්ධයක් රැගෙන ආ බවට සිදුකරන චෝදනා ද අදාළ විඩියෝ පටය මගින් ජනාධිපති අෂ්රෝෆ් ගානී ප්‍රතික්ෂේප කර තිබුණි.
72 හැවිරිදි ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අෂ්රෆ් ගානී රට හැර යාම සෙසු ඇෆ්ගනිස්ථාන දේශපාලනඥයන් දැඩි විවේචනයට ලක් කර ඇති අතර ඔහු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 169ක පමණ මුදලක් රුගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇත. ඒ අතර අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සමඟ එරටින් නෙරපූ තලෙයිබාන් සංවිධානයේ සම නිර්මාතෘ මුල්ලා අබ්දුල් ගානි බරාදර් යළි මව් රටට පැමිණියේය. තලෙයිබාන් සංවිධානයේ වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයා වන මුල්ලා අබ්දුල්, මීළඟ ඇෆ්ගන් ජනාධිපතිවරයා බවට පත්වීමේ වැඩි ඉඩක් පවතී.
තලෙයිබාන් සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු නිල ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කීවේ ඇෆ්ගනිස්ථාන භූමිය මින් ඉදිරියට කිසිවකුට හෝ වෙනත් රටකට එරෙහි ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බවය. සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් තම සංවිධානයට අභ්‍යන්තර හෝ බාහිර සතුරන් අවශ්‍ය නොවන බව කියා තිබුණි. ඔහුගේ කැපීපෙනෙන ප්‍රධාන ප්‍රකාශයක් වූයේ ඉස්ලාම් රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවයි. නමුත් සාමකාමී රටක් හා කාන්තා අයිතීන් රැකගැනීම සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබා දී පැය කිහිපයක් යන්නට මත්තෙන් තලෙයිබාන් වෙඩි පහරට ලක්ව මිය ගිය කාන්තාවකගේ ඡායාරූපයක් එළියට ආවේය. ඇය බුර්කාව වෙනුවට බටහිර ඇඳුමකින් සැරසී සිටීම හේතුවෙන් එලෙස වෙඩි තබා තිබූ බව වාර්තා විය. මේ අතර, තලෙයිබාන් ධජය ඉවත් කර ඒ වෙනුවට ඇෆ්ගන් ධජය එසවූ තිදෙනකු තලෙයිබාන් සංවිධානය විසින් ඝාතනය කිරීමේ පුවතක් ගැන වාර්තා විය.
මේ අතර තමන් කිසි විටක තලෙයිබාන් සංවිධානය හමුවේ දණ නොනමන බව ඇෆ්ගනිස්ථානයේ පළමු උප ජනාධිපති අමුරුල්ලා සලේ පවසා ඇත. ඔහු සදහන් කරන්නේ, තමන් කිසිදු තත්ත්වයක් යටතේ තලෙයිබාන් ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක් වහළක් යට කටයුතු නොකරන බවයි.
අමුරැල්ලා සලේ, 90 දශකයේදී තලෙයිබාන් සංවිධානයට එරෙහිව සටන් වැදුණු උතුරුදිග සන්ධානයේ නායක අහමඩ් ෂා මසූඩ්ගේ ප්‍රබල අනුගාමිකයෙකි. මෙම උතුරුදිග සන්ධානය පසුව අමෙරිකාව ප්‍රමුඛ සන්ධානය සමඟ ද එක්ව තලෙයිබාන් සංවිධානයට එරෙහිව සටන් වැදුණේය.
අමුරැල්ලා සලේ සමඟ ෂා මෂුඩ්ගේ පුතු වන අහමඩ් මෂුඩ් ද සම්බන්ධ වී සිටින අතර, ඔවුන් මේ වන විට තලෙයිබාන් විරෝධී සියලු සටන්කාමීන් සහ සංවිධාන යළි සන්ධානගත කිරීමේ නිරතව සිටින බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් තලෙයිබාන් සංවිධානයට එරෙහිව දීර්ඝකාලීන ගරිල්ලා යුද්ධයකට අවතීර්ණ වනු ඇති බවට විශ්වාසය පැතිර තිබේ. තලෙයිබාන්වරුන් භුමිය අල්ලා ගත්තේ වුවද රටේ ජනතාවගේ හිත අල්ලාගෙන නැති බව මෙයින් පැහැදිලිය. ඉතා නොබෝ දිනකින්ම තලිබාන් විරෝධී සටන් අලුතෙන් දළු දමනු ඇතැයි විචාරකයෝ කියති. මේ අනුව ඇෆ්ගනයේ තාවකාලිකව නිවී ගිය යුද ගින්න නැවත ඇවිල යන්නට නියමිතය.