2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

ඉම්රාන් ඛාන් නිල නිවස කුලියට දීමට යයි!

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

පාකිස්ථානය මේ වන විට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඉන් ගොඩ ඒමට සහාය වීමක් ලෙස ඉස්ලාමාබාද්හි රතු කලාපයේ පිහිටි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස කුලියට දීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. අගමැතිවරයාගේ නිල නිවස  ඒ අනුව ඉදිරියේදී සංස්කෘතික, විලාසිතා, අධ්‍යාපනික සහ වෙනත් උත්සව සඳහා කුලියට දීමට නියමිතය. පාකිස්ථානයේ ෆෙඩරල් කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව තීරණය කර තිබේ. 

ඒ අනුව අගමැති නිවසේ පිහිටි ශ්‍රවණාගාරය, තට්ටු දෙකක පිහිටි ගොඩනැගිල්ලක් සහ තණකොළ සහිත පිට්ටනිය මෙලෙස කුලියට දීමට සැරසේ. උත්සව අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය නිල නිවසේ “විනය සහ සැරසිලි” උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීම සඳහා කමිටු දෙකක් පිහිටුවීමට නියමිත බවද පැවසේ.

පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් වැඩ භාරගැනීමෙන් පසු ඔහුගේ පාලක පක්ෂය වන පී.ටී.අයි. පක්ෂය විසින් පසුගිය 2019 වසරේදී නිවේදනය කර සිටියේ අගමැතිවරයාගේ නිල නිවෙස උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත් කරනු ලබන බවයි. පසුගිය 2019 අගෝස්තු සිට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම නිල නිවෙසින් බැහැරව පෞද්ගලික නිවෙසක වාසය කරනු ලබන අතර එරට වියදම් කප්පාදු කිරීම සඳහා ඔහු විසින් ඉතාමත් දැඩි තීන්දු තීරණ රුසක් ගනු ලැබීය.