2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

මයික් පොම්පියෝ විස්කි සොරකමේ

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 238

ඩොලර් 5800ක් වටිනා විස්කි බෝතලයක් සොරකම් කළ බවට අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ නම මාධ්‍ය අතරට පැමිණ තිබේ. 2019 ජූනි 24 වැනිදා ජපාන දූත පිරිසක් විසින් ත්‍යාගයක් ලෙස ලබා දුන් මෙම විස්කි බෝතලය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වීම පිළිබඳව එරට විදේශ අමාත්‍යංශය විමර්ශනයක් ආරම්හ කර ඇත.

ට්‍රම්ප් පාලන සමයේ ශ්‍රී ලංකාවටද පැමිණ චණ්ඩි ප්‍රකාශ රාශියක් කරනු ලැබූ මයික් පොම්පියෝගේ නීතිඥයා ප්‍රකාශ කර සිටිනුයේ මෙවැනි විස්කි බෝතලයක් ත්‍යාගයක් ලෙස ලැබුණු බව හෝ එයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව එවකට CIA ඔත්තු සේවයේ අධ්‍යක්ෂකවරයාද වූ තම සේවාදායකයා කිසිවක් නොදන්නා බව හා ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්හ කර ඇති බව හෝ ඔහු නොදන්නා බවයි.

අමෙරිකාවේ නීතිය අනුව රජයේ නියෝජිතයන්ට විදේශ හෝ ජාතික වශයෙන් කිසියම් අයකුගෙන් ලැබෙන ත්‍යාගයක් තම පෞද්ගලික පරිහරණය සඳහා තබාගත හැක්කේ ඩොලර් 390ට අඩු අගයක් ගනු ලබන භාණ්ඩ සඳහා පමණි. මෙම අගයට වැඩි කිසිදු ත්‍යාගයක් පිළිගැනීම හෝ ළඟ තබාගැනීම දූෂණ චෝදනා යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඩොලර් 390ට වැඩි වටිනාකමින් යුත් සියලුම භාණ්ඩ රජයට ලබා දිය යුතු අතර ඒවා පසුව එරට ජාතික ලේඛනාගාරයේ භාරයට පමුණුවනු ලැබේ. ඉන් පසුව අමෙරිකන් රාජ්‍ය නිලධාරීන් ලැබූ ත්‍යාගයන් සෑම වසරකදීම අගෝස්තු මාසයේදී ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කරනු ලබයි.

2019 දී මයික් පොම්පියෝ වෙත Ouzbekistan ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ඩොලර් 9000ක් වටිනා පලසක්ද, Azerbaïdjan තානාපතිවරයා ලබා දුන් 490ක් වටිනා montblanc වර්ගයේ පෑනක්ද ගැන ලේඛනාගාරයේ සඳහන් වේ. එහෙත් ඔහුට ලැබුණු ඩොලර් 5800ක් වටිනා විස්කි බෝතලය සම්බන්ධයෙන්  සඳහන් වනුයේ එය අතුරැදහන් වී ඇති බවත් විමර්ශනයක් සිදු කරන බවත්ය.

මෙලෙස විස්කි බෝතලයක් සොරකම් කිරීම වැනි බාල සොරකමක සැකයට භාජනය වීම හා තම තනතුර අවභාවිත කිරීම වැනි කාරණා හේතුවෙන් 2024 දී අමෙරිකානු ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔහුට නැවතත් සිතා බැලීමට සිදුවනු ඇත.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:05